රස සොයන රස විඳින අයට රස FM | සිළුමිණ

රස සොයන රස විඳින අයට රස FM

ගුවන් විදුලිය යනු මීට දශක කීපයකට පෙර අපේ රටේ ජනතාවට ප්‍රවෘත්ති මෙන්ම රස වින්දනය ලබාදුන් එකම මාධ්‍යය වුවත්, අද වනවිට ගුවන් විදුලි නාළිකා ගණනාවක්ම බිහිවී තිබේ. ලාංකේය ගුවන් විදුලි ශ්‍රාවකයන්ට නව රසයක් ගෙන එන්නට ළඟදීම ගුවනට මුසුවන නාළිකාව ලෙස ‘රස FM‘ හැඳින්විය හැකිය. නවීන ජාත්‍යන්තර ප්‍රමිතිගත තාක්ෂණය මුසුකොට ගනිමින් ප්‍රවීණයන් පිරිසකගේ එකමුතුවෙන් නිර්මාණය වූ ‘රස FM‘ Sky Media Network ආයතනයේ නවතම සාමාජිකයා වේ. රේඩියෝ කලාවේ විප්ලවයක් සමඟින් ආරම්භ වූ රස FM පිළිබඳ සොයා යන ගමනේ එහි වැඩසටහන් කළමනාකරු චතුරංග තේනුවර සමඟ කළ පිළිසඳරයි මේ.

මොකක්ද චතුරංග මේ රස කියන්නේ?

රස සොයන රස විඳින්නට කැමැත්තෙන් ආශාවෙන් සිටින පිරිස වෙනුවෙන් ම ඇති කරන ලද රේඩියෝවක් තමයි රස.

රසත් තවත් එක් FM නාළිකාවක් පමණක් වෙයිද?

නැහැ කොහෙත්ම නැහැ. රේඩියෝ කලාවේ වෙනසක් ඇති කළ යුතු නිසාවෙන්මයි අපි රස FM පටන් ගන්න හිතුවේ. අපි කොහෙත්ම රැල්ලටයන්න වුවමනාවකින් ආරම්භ කළ ගමනක් නෙමෙයි මේ.

කවුද ඔබේ ඉලක්කගත ග්‍රාහකයා?

ඉලක්ක කරන්නේ රස සොයන රස විඳින පිරිසගේ අවශ්‍යතාවන් වෙනුවෙන් කටයුතු කිරීමයි. එහිදී ප්‍රධාන වශයෙන්ම අවුරුදු 18ත් 40ත්අතර ප්‍රජාවයි ඉලක්ක කර ගන්නේ.

ඔබ ඇති කරන්න බලාපොරොත්තු වන්නේකොහොම වෙනසක්ද ?

ඇත්තටම පවතින ක්‍රමය බිඳගෙන ඉදිරියට යන්න ඕන කියලා අදහසක් අපේ කණ්ඩායම තුළ නැහැ. සාම්ප්‍රදායික ක්‍රමය රකින්න ඕන කියන එකඟතාවයකුත් නැහැ. ඒ වගේමයි ඉක්මනටම ප්‍රසිද්ධ වෙන්නත් ඕන නෑ. නමුත් අපට ඕන අපේම කියන අනන්‍යතාව සමඟ ශ්‍රාවක හදවත් තුළ නොමැකී පවතින යමක් කරන්නයි.එය ඉක්මන් වෙන්න ඕන නෑ. නමුත් සාර්ථක වෙන්නයි ඕන.

මොනවද ඔබ ඒ වෙනුවෙන් අරගෙන තියෙන ක්‍රියා මාර්ග?

අපි රස FM පටන් ගත්තේ කාලයක පටන් පවත්වන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ වගේමයි අපි ඉදිරියටත් නිතර නිතර විවිධ පර්යේෂණ පවත්වනවා. මොකද අපේ මූලිකම පරමාර්ථය ප්‍රේක්ෂකයා. ඔවුන්ට ඕනෙ මොනවද ඒ දේ හොයලා බලලා ලබා දෙන්න අපි නිරන්තර කැපවීමෙනුයි ඉන්නේ. ඒ වගේමයි වෙනස්වන ලෝකයේ වෙනස්වන තාක්ෂණයත් සමඟ රසිකයන්ගේ රසිකත්වය වෙනුවෙන් උපරිමය ලබා ‍දෙන්නයි අපිට ඕනෙ.

රස FM හරහා මොනවද කරන්න ඉලාපොරොත්තු වෙන්නේ?

දැන් බොහොමයක් ගුවන් විදුලි තුළින් වෙන්නේ Rigin Tons ගීත සංස්කෘතියක් බිහි කිරීමත්, ගීත විකුණා මුදල් ඉපයීමත් කියන දෙක තමයි ප්‍රධාන වශයෙන්ම. නමුත් අපේ අවශ්‍යතාවය ඇත්තෙන්ම මුදල් ඉපයීමම නෙමෙයි. බොහොමයක් අපිව අසන අසන්නන් දැටමත් අපිව පැසසුමට ලක් කරනවා. ඒ වගේමයි අපිට ඕන වෙන්නෙත් ජනතාවගේ හොඳ හිත දිනාගෙන ඔවුන්ගේ රස වින්දනය වෙනුවෙන් වැඩදායී දෙයක් කරන්නයි. මොකද රස නිරන්තරයෙන් රසවත්ව පැවතිය යුතුයි. ඒ සඳහා අපි නිරන්තර කැපවීමෙනුයි ඉන්නේ.

කවුද මේ කියන අපි?

රංග හෙට්ටිආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් සවිබලගැන්වුණු Sky Media Network හි ප්‍රධාන විධායක නිළධාරියා ලෙස චමින්ද වික්‍රමසිංහ ද වෙළෙඳ සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස අසංක අලහකෝන් කටයුතු කරනු ලබනවා. මේ තමයි රස හි ශක්තිය.

නිවේදක නිවේදිකාවන් පිළබඳ සඳහන් කරමු

මේ වන විටත් රස අසන බොහොමයක් පිරිස අපේ ආදරණීය හඬ හඳුනාගෙන ඇති. කාලයක් පුරාවට ගුවන් විදුලි ක්ෂේත්‍රයේ කටයුතු කරමින් රසික හදවත් දිනාගත් නියමම හඬකාමීන් පිරිසක් තමයි අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ. වෙනත් නාලිකාවන් වලින් දිනකට සතියට වරක් ඔබ හමුවට එන ඔවුහු රස FM හරහා දවස පුරා ඔබේ හදවත් වලට ආමන්ත්‍රණය කරනවා. නුවන් ප්‍රේමතිලක (akaash)ගයනි අබේවර්ධන, දිනිති ලියනගේ, රුවනි හේවගේ සහ නිමංක කරුණාරත්න (nick)රස හැඩකරන පිරිවරයි.

ඔබේ ආදරණීය රසිකයන්ට රසට සවන් දියහැකි තරංගමාලාව ගැන සඳහන් කළොත්?

එෆ්.එම් 99.5 සහ 99.7 තරංගමාලා ඔස්සේ රස FM ජුනි 01 දාසිට ගුවනට මුසුවේ.

ලාංකේය රසික හදවත් රසයෙන් රසවත් කරන්නට Sky Media Network ආයතනය තැබූ නව පියවර සාර්ථක කර ගන්නට රස FM කණ්ඩායමට රසඳුන අපේ උණුසුම් සුබ පැතුම්.

Comments