මගේ චරි­ත­යට සමාන චරිත ලැබිලා නැහැ | Page 4 | සිළුමිණ

මගේ චරි­ත­යට සමාන චරිත ලැබිලා නැහැ

අපේ සිනමාවට දිනෙන් දින අලුත් නිර්මාණ එකතු වෙනවා. ඒ නිර්මාණ අතර මේ දිනවල වැඩිපුර කතා බහට ලක්වෙන සිනමා නිර්මාණයක් ලෙස බූඩී කියන අපුරු අධ්‍යක්ෂවරයාගේ ‘නිම්නයක හුදකලාව’ පෙන්වා දෙන්න පුළුවන්. ඒ සිනමා නිර්මාණය තුළ රංගනයෙන් දායක වෙන ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා අද රසඳුනේ පිළිසඳරට එකතු කර ගත්තේ ඇය එහි නිරූපණය කරන අපූරු චරිතය නිසා.

සමනලී නම් මේ දවස්වල ගොඩක් කාර්යබහුලයිලු නේද?

ඔව්.මේ දිනවල තිරගත වෙන ‘නිම්නයක හුදකලාව’ කියන බූඩී ගේ අලුත්ම සිනමා නිර්මාණයේ ප්‍රචාරක කටයුතුත් එක්ක තමා කාලය ගෙවෙන්නේ.

‘නිම්නයක හුදකලාව’ සිනමා නිර්මාණය මොනවගේ අත්දැකීමක්ද ඔබට ගෙනාවේ?

බූඩී ගේ මේ ෆිල්ම් එක හරිම වෙනස්ම අත්දැකීමක්. ලාංකේය සිනමාවට ගොඩක්ම වෙනස් අත්දැකීමක් වෙයි කියලා හිතනවා.

මේ සිනමා නිර්මාණය හරහා දිවෙන ඔබ ගේ රංගනය ගැන කිව්වොත්?

අවිඥානය සහ විඥානය අතර මේ කතාව යන්නේ. ඒක කියන්න ටිකක් අමාරුයි. ‘මායා’ කියන චරිතය ඔහුගේ ඇත්ත ලෝකයේදී ඉන්නවා. අවිඥානයේදී මායා ඉන්නේ වෙන තැනක. ඒ දෙක තමා එකට සමානව යන්නේ. ඇත්තටම මායා කියන චරිතය මොනවගේ ද කියලා බලන්න නම් චිත්‍රපටිය බලන්නම ඕන.

සමනලීට මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

තවම චිත්‍රපටය තිරගත වෙන්න වෙන්න පටන් අරගෙන ටික කාලයයි. ෆේස්බුක් එකෙන් සහ චිත්‍රපටය බලපු අය අතර දෙවැනි පාරටත් බලපු අය ඉන්නවා. ඒ අය කියන්නේ අයෙත් චිත්‍රපටය බලන්න හිතෙනවා කියලා. ගොඩක් අය කියන්නේ ලාංකේය සිනමාවට වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා. ඒ වගේම ඉතිහාසයට එකතු වුණ වෙනස්ම චිත්‍රපටයක් කියලාත් කියනවා. ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි.

බූඩී වගේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපෑමට ලැබීම ගැන මොනවගේ අදහසක්ද ඔබට තියෙන්නේ?

ඇත්තටම මේ පළමුවැනි අවස්ථාව බූඩීත් එක්ක වැඩ කරන. නමුත් මේ වෙද්දී බූඩීත් එක්ක වැඩ කිහිපයක්ම කළා. ඉතිං මට චුට්ටක් කල් ගියා මේ දේට අනුගත වෙන්න. හැබැයි ඒක හරිම ප්‍රයෝගික ක්‍රමයක් ඇත්තටම. රංගනය තුළදී ඔහු තව තව දේවල් එකතු කරගනිමින් චරිතය ගොඩ නඟනවා. ඔහු සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය තුළදී වැඩේ ඇතුළේම තමා වැඩේ ගොඩ නැගෙන්නේ. ඇත්තටම මම හිතන්නේ, බූඩී කියන්නේ ලංකාවේ සිනමාවට සුවිශේෂී පුද්ගලයෙක් කියලා. ඔහු ගේ නිර්මාණවල ඇත්තටම හැදෑරීමක් කරන්න ඕන.

ඔබ රංගනයෙන් දායක වු සිනමා නිර්මාණයන් එක්ක සසඳද්දී මේ රංගනය මොන වගේද?

මම කලින් දායක වූ සිනමා නිර්මාණයන් තුළ ඒ චරිත මුළු පිටපත පුරාම ලියැවිලා තිබුණා. එයට මුලක් ,මැදක්,අගක් තියෙනවා. ඒ හරහා චරිතය ගොඩනැගෙනවා. නමුත් මායා ගේ චරිතය එහෙම නැහැ. මායා කවුද කියන එක, මායා කොයි වගේ චරිතයක්ද කියන එක චිත්‍රපටිය ඇතුළේ කතාවෙන්නේ නැහැ. විශ්ව කියන චරිතය හරහා තමා මායා දකින්න පුළුවන් වෙන්නේ. චිත්‍රපටිය පුරාම තියෙන හැම චරිතයක්ම එහෙමයි කියලා මම හිතන්නේ. ඒක වෙනස්ම අත්දැකීමක්.

සමනලී ෆොන්සේකා කියන ඔබේ ප්‍රතිරූපය ගොඩ නැගෙන්නේ ෆොන්සේකා කියන නමත් එක්කද නැත්නම් ඔබේ හැකියාව තුළින්ද?

එහෙම කියන්න තේරෙන්නේ නැහැ. ඒ දෙකම ඒකට අදාළයි කියලා මම හිතන්නේ. මම රංගනයට එන්නේ පොඩි ළමයෙක් විදියට. එතකොට දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා නැන්දා හරහා තමා මම එන්නේ. වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක් විදියට ෆොන්සේකා කියන නම සහ මම ලැබුව අත්දැකීම හරහා මම ගොඩ නැගුණා.

මේ වනවිට සිනමා නිර්මාණයන් කීයකට දායක වෙලා තියෙනවද?

මම මුලින්ම එන්නේ ‘පාරාදීසය’ කියන සිනමා නිර්මාණය හරහා. ඒ අවු. 5 දී විතර. එහෙම බැලුවොත් නම් සිනමා නිර්මාණ 15 කට පමණ දායක වෙලා තියෙනවා.

ඔබට ලැබුණු චරිතත් එක්ක සැබෑ ජීවිතය ඒ නිර්මාණයන් ඔස්සේ ගොඩ නැඟිලා නැද්ද?

නැහැ. ඒ චරිත මගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරන්න බැහැ. ටානිය කියන චරිතය ‘මෝටර් සයිකල්’ චිත්‍රපටියේ, සමාධි කියන චරිතය ‘ප්‍රේමය නම්’ කියන සිනමා නිර්මාණ තුළ හිටියේ ඒ අයම තමා. මගේ චරිතය අතර කිසිදු සම්බන්ධකමක් කිසිම මොහොතකවත් තිබුණේ නැහැ. හැබැයි මගේ ජීවන අත්දැකීම්වල සාරයක් සමහර හැඟීම් තුළ මම නිෂ්පාදනය කළා. නමුත් ඒ දේ හිතලා කළේ නැහැ. මම හැම තිස්සෙම උත්සහා කරන්නේ, ඒ චරිතෙට මුහුණ දෙන්නයි. මගේ චරිතයත් එක්ක යන චරිත ලැබිලාත් නැහැ. මම එහෙමයි කියලා හිතන්නෙත් නැහැ. 

Comments