බොහෝ­දු­රක් යා යුතුව තිබි­යදී සමු­ගත් මිතුර | Page 2 | සිළුමිණ

බොහෝ­දු­රක් යා යුතුව තිබි­යදී සමු­ගත් මිතුර

සුනිල් මිහිඳුකුල පිළිබඳ මා මතකය අවදිවන්නේ 1978 අගබාගයේ සිට ය. මා ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ ප්‍රකාශනයක් වූ ‘සුරතුර’ බාරව කටයුතු කළ කාලයයි. ඔහු එකල ‘දෙසතිය’ සඟරාවට ද සම්බන්ධවීමට මඟ පාදාගෙන තිබිණි.

පාසල් දිවියෙන් සමුගත් අලුත ම වාගේ ඔහු පෑන අතට අරන් පාරට බැස්සා විය හැකිය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව (දෙසතිය පළ කළ) පැත්තේ රවුමක් ගසා ඔහු කෙළින් ම ආවේ ‘සුරතුර’ වෙත ය.

ලියූ ලිපි ගණනාවක් ම පෙන්වමින් ලිවීමේ ‘දොළදුක’ පිළිබඳව ඔහු අපට ඇඟවීමක් කළේ ය.

අප කවුරුත් ලියන්නට මුල පුරන කාලේ තිබූ ‘මෝස්තරය’ ඔහු තුළ ද විය. ඒ බරසාර වචන ලිපියට ඇතුළු කිරීමයි. මාටින් වික්‍රමසිංහයන්ගේ පොත්වල තිබූ ‘අත්තුක්කංසනය’, ‘ප්‍රාවෛයක’ වැනි වඳන් යෙදීමෙන් අප ලැබූ ආස්වාදය ඔහුට ද ආගන්තුක නොවී ය.

නාට්‍ය පිළිබඳව ඔහු වැඩි උනන්දුවක් දැක්වූ බැවින් එකල ප්‍රවීණ නාට්‍යකරුවන් කීපදෙනකු සමඟ කතාබස් කර ලිපි සැපයීමට අවස්ථාව පාදා දුනිමි.

සුනිල් මෑතකදී කීපවිටක් ම මාධ්‍ය සාකච්ඡාවලදී පවසා තිබුණේ ඔහු ලියූ ලිපියකට රු. 15 ක් වූ මුල් ම ගෙවීම ලැබුණේ ‘සුරතුරෙන්’ බවයි.‍

‘‍මේ අපේ මුල් ම ගුරුවරු’ මා ඉඳහිට හමුවෙන මොහොතකදී ඔහු අනෙකුත් සගයන්ට කියයි. එහිදී මා තුළ අනුපමේය සෙනෙහසක් ඇතිවන්නේ ඔහු තුළවූ කෘතවේදීත්වය නිසයි. අප මුලින් දුටු අංකුර ලේඛකයා පසුකලෙක දැනුමෙන් - වදනින් පොහොසත්ව වැඩි පාඨක පිරිසකට ආමන්ත්‍රණය කරන ප්‍රවීණයකු වනු දැක සතුටු වීමි.

‍ඔහු එක් කාලයක ලාංකේය සිනමාව පිළිබඳව තොරතුරු සෙවීමේ නිරන්තර උත්සාහයක යෙදුණේ ය. ‘දිවයින’ පත්‍රයේ ප්‍රවෘත්ති උප කර්තෘවරයකු ලෙස මා කටයුතු කළ කාලයේ (1985 පමණ) ඔහු වරක් මා සොයාගෙන අපේ ගෙදරටම ආවේ ය.‍ ඒ වෙනකකට නොව මා ළඟ තිබෙන සිනමා ලිපි ලේඛන අවුස්සා බැලීමට ය. ඒ දවස්වල සිනමාව ගැන මා තුළ තිබූ උනන්දුව ද ‘ඇල්මැරී’ තිබුණු බැවින් ඔහු ඉල්ලා සිටි සියලු පත්තර ලිපි නොපැකිළව ලබා දුනිමි.‍

තිස්ස අබේසේකරයන් එකල ‘විසිතුර’ ට ලියූ ‘වලන වින්තා’ ලිපි පෙළ ද ඒ අතර තිබූ බව මට මතකය. සුනිල් සෑම මූලාශ්‍රයකින් ම ලබාගත් තොරතුරු මතක ගබඩාවේ තැන්පත් කැරගෙන නිසි කල නිසි තැන ප්‍රයෝජනයට ගත්තේ ය.‍

තිරගත වූ චිත්‍රපටයක් ගැන, ගීතයක් ගැන හෝ අධ්‍යක්ෂවරයකු ගැන ඇසූ සැණින් කීමට ඔහුට හැකි ව‍ූයේ ද ඒ මහිමයෙනි.‍ තරමක් හෝ සැකයක් වී නම් මොහොතකින් සැක හැර නිවැරැදිම තොරතුරු කීමට තරම් දත්ත ඔහු වටා විය. ‘අතැඹුලක්’ සේ ලාංකේය සිනමාව පිළිබඳව තොරතුරු දැන සිටි කීපදෙනා අතර ඔහු ද කැපී පෙනෙයි.

උපතින් කතෝලිකයකු වූ ඔහු සෑම පාස්කුවකටම මීගමුවේ පාස්කු නාට්‍ය අළලා ‘රසඳුන’ ටද නොවැරැදිම රසවත් ලිපියක් ලිවී ය.

මා ‘රසඳුන’ කරද්දී ඔහු ලියූ අපූරු ලිපි පෙළක් ද විය. ඒ හර්බට් රන්ජිත් පිරිස්, ඩබ්ලිව්. ජයසිරි වැනි අසම්මතවාදී චරිත හමුවී කරන ලද සාකච්ඡායි. එහිදී ඡායාරූප ගැනීමට ගිය ප්‍රියන්ත එම ලිපි පෙළ හැඳින්වූයේ ‘බාල්දි ප‍ූසෝ සීරිස්’ එක කියායි. ඒ තරමට ම එම ලිපිවල ආන්දෝලනාත්මක මත පළ විය. එහෙත් සුනිල් ඔවුන්ගේ රැඩිකල් මත පාඨකයාට ද දිරවන අන්දමින් සංයමයකින් ලියන්නට සමත් විය.

සිනමා ලේඛකයකු, විචාරකයකු ලෙස සිය අනන්‍යතාව තහවුරු කරගැනීමට දසක හතරකට ආසන්න ඔහුගේ ලේඛන දිවිය තුළදී ඔහුට හැකි විය. චිත්‍රපට ජූරි සභිකයකු, රූපවාහිනි සම්මුඛ ශිල්පියකු ලෙස ඔහුට පිළිගැනීමක් ලැබෙන්නේ එම දැනුමට පිංසිදු වෙන්නට ය. සිනමාව සම්බන්ධයෙන් ඔහු ලියූ පොත්පත් සංඛ්‍යාව ද 20 ක් පමණ වේ යැයි සිතමි. ඉන් වැඩි හරියක් මා සන්තකයේ ද වේ. ඔහු මා වෙත පිළිගන්වන ලද එම පොත් කීපයක් ඔහුගේ හදිසි වියෝව ගැන දැනගත් මොහොතේ පෙරළා බලන්නට වීමි.

ඉන් ‘සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ’ නමැති පොත පිළිගන්වමින් 2007.10.11 දින මෙවන් වැකියක් ලියා තිබුණි‍.

‘මා අද මෙතැන සිටින්නේ ඔබ නිසා ය. ඔබ සැපයූ අත්වැල නිසා ය. ඔබට පින්’

මා යට කී වැකිය දැක්වූයේ මා ගැන කීමට නොව ඔහුගේ නිහතමානී, සංවේදී ගති ලක්ෂණ හුවා දැක්වීමටය. ‍සුනිල් ජීවිතය ගොඩනඟාගත්තේ ස්වෝත්සාහයෙනි. ඔහුගේ බිරිය සුරංජි ද මෙහිදී අප්‍රමාණ මෙහෙයයක් ඉටු කරන ලද බව මම දනිමි.

ඔහු අසනීපව සිටි දවස්වල මා දුරකථනයෙන් කතා කළ මොහොතක වැඩි දෙයක් නොකියා හැඬූ අයුරු හද කම්පා කරවන සුළු ය.

‘රසඳුන’ කාල පරිච්ඡේදය තුළ මා සමීපව ඇසුරු කළ අතිශය සුන්දර මිනිසකු වූ ධර්මසිරි ගමගේ අප අතැර ගියේ වසර ගණනාවකට පෙර යි. මට පසුව කතුකම දැරූ සුනිල් මිහිඳුකුලයන් ද අකාලයේ ම වෙන් ව ගොසිනි.

සුනිල් සොයුර! ඔබ මෙතරම් ඉක්මනින් ම වෙන්ව ගියේ ඇයි දැයි මම තවමත් විපිළිසරව පසුවෙමි.

ඔබට මොක්සුව අත්වේවා!

Comments