නැටු­මට-රැඟු­මට හපන් චලනි තීක්ෂණා | Page 2 | සිළුමිණ

නැටු­මට-රැඟු­මට හපන් චලනි තීක්ෂණා

නැටුමට, ගැයුමට, රැඟුමට හපන්කම් දක්වන නවක පුංචි රංගන ශිල්පිනියක් වන චලනි තීක්ෂණා දැන් කා අතරත් ජනප්‍රිය තරුවක්. කිරිල්ලවල මධ්‍යමහා විද්‍යාලයේ 9වසර ඉගෙන ගන්නා චලනි උඩරට නැටුමට දක්වන්නේ විශේෂ හැකියාවක්. මේ ගැන කියන්න පසුගියදා පත්තර මහගෙදරට ගොඩවැදුණු චලනි අප සමග මෙසේ දොඩමළු වුවා.

• නර්තනයට දස්කම් දක්ව‍න්නේ පුංචි කාලෙ සිටමද..?

පොඩි කාලෙ පටන්ම මම නර්තනයට දක්ෂයි. විශේෂයෙන් උඩරට නැටුමට තමයි වැඩි දක්ෂතාවක් දක්වන්නෙ. පාසල් මට්ටමෙන් පැවැත්වු පළාත් තරගවලට සහභාගි වී ජයග්‍රහණයකර තිබෙනවා.

 

• නැටුමට හපන් ඔබ රැඟුමටත් දක්ෂයි..?

ඔව්, මේ වන විට ටෙලිනාට්‍ය තුනකට රංගනයෙන් දායක වී තිබෙනවා. රංජන් ප්‍රසන්න මහතාගේ දුටිමි හිරු රෑ, චන්ද්‍රරත්න මාපිටිගමගේ මහතාගේ සත් ගුණ වත්ලා, මේ ටෙලිනාට්‍ය දෙක ඉදිරියේදි විකාශය වීමට තියෙනවා. අරුමවන්ති ටෙලිනාට්‍යයේද පුංචි චරිතයක් නිරූපණය කළා.

 

• චිත්‍රපටවල චරිත නිරූපණය කර තිබෙනවාද..?

'මට කවුරුත් බය නෑ' කෙටි චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා.

 

• ඔබ පාසල් සිසුවියක්..කොහොමද අධ්‍යාපනයට බාධාවක් නොවී රංගනයේ නියැලෙන්නේ.?

මම රංගනයෙන් කොතරම් ඉදිරියට ගියත් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙනවා. කවදාහරි වෛද්‍යවරියක් වී රටට සේවය කිරීම තමයි මගේ ආසාව. පාසලේ ගුරුමවුපියවරු පවසන්නේත් මට හොඳට ඉගෙනුම මෙන්ම බාහිර ක්‍රියාකාරකම්ද පිහිටලා තිබෙනවා කියායි. ඒ නිසා වෙන්න ඇති පාසලේ තියෙන බාහිර වැඩවලදී මටත් අවස්ථාව ලබා දෙන්නේ.

 

• ඔබ අද පුංචි රංගන ශිල්පිනියක්.. කොහොමද දැනෙන්නෙ..?

ගොඩක්ම සතුටුයි මගේ දක්ෂතාවන් රටටම පෙන්වීමට හැකිවීම ගැන. මුලින්ම ස්තූතිකරන්න ඕන මේ හැම දේටම මගේ පස්සෙන්ම සිටින අම්මාට සහ තාත්තාට. මගේ සහෝදරයන් දෙදෙනාත් පාසලේ වැඩවලදි වගේම බාහිර වැඩවලටත් සහයෝගය ලබාදෙනවා. සකුන්තලා නැන්දා, පාසලේ ගුරුවරු, සහ අධ්‍යක්ෂ රංජන් ප්‍රසන්න මහතාටත්, අනෙකුත් සියලුම දෙනාටත් ස්තූතියි .

 

• මොනවද අනාගත බලාපොරොත්තු.?

රංගනය හොඳින් හදාරා හොඳ රංගන ශිල්පිනියක් වීමත්, එයට අමතර නිවේදනය, නිරූපණය, නර්තනය පැත්තෙන් දස්කම් දැක්වීම මගේ බලාපොරොත්තුව . මේ හැම දේකටම වඩා මගේ ලොකුම හීනය වන වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑකරගන්න වෙහෙසෙනවා. 

 

Comments