දක්ෂතා රැස­කින් අප හමු­වන නිවේ­දි­කාව ඉඳු­නිල් | Page 4 | සිළුමිණ

දක්ෂතා රැස­කින් අප හමු­වන නිවේ­දි­කාව ඉඳු­නිල්

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන කියමන බොරුවක් බවට පත් කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි තම හැකියාවන් පෙන්වන්නට සමත් කාන්තාවන් වේ නම් ඒ ඉතා අතලොස්සකි. ඒ අතලොස්ස අතර ඇය ද සිටින්නීය. නවක පරපුරේ දක්ෂ කලාකාරියක ලෙස ඔබ අප හඳුනාගත් රූපවාහිනී නිවේදිකා ඉඳුනිල් නුග­‍ෙවල ගායනයට, ගීත රචනයට, නර්තනයට මෙන් ම රංගනයට ද එකසේ දස්කම් පෙන්වන්නීය.

පසුගියදා ‘මා නෙතු දැහැන’ නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වූ ඇය එනමින් ම ගීත රචනා පොතක් සහ සංයුක්ත තැටියක් එළිදැක්වූවා. මේ ඒ පිළිබඳ රසඳුන සමඟ කළ කතාබහකි.

 

• මොකක්ද මේ ‘මා නෙතු දැහැන’ කියන්නෙ?

එය මගේ පළමු ප්‍රසංගයයි. එදින මගේ ගීත ඇල්බමයක් සහ ගීත පොත එළිදැක්වීම ද සිදුවුණා. මා නිර්මාණය කළ ‘මා නෙතු දැහැන’ කියන ගීතයේ නමින් තමයි මෙම ප්‍රසංගය නම් කළේ. ඒ වගේම ප්‍රසංගයක් විදිහට දිගටම කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

• කවදා කොහේදීද මේ කටයුත්ත සිදුවුණේ?

අප්‍රේල් 4 වැනිදා බම්බලපිටිය ‘ඕල්ගෝ’ හෝටල් පරිශ්‍රයේදී. විශේෂයෙන් කියන්නට ඕන එදින නිකුත් වුණු ‘මා නෙතු දැහැන’ සීඩී එකට ඇතුළත් කෙරුණ අලුත් ගීතයක් ද නිකුත් කළා. ‘දරා ගන්න බැරි ආලකතන්දර’ නම් වූ ඒ ගීතය රචනා කළේ ප්‍රසන්න අබේවික්‍රම, සංගීතවත් කළේ නවරත්න ගමගේ.

 

• දැනට ඔබ අතින් ගීත කොපමණ ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවද?

දැනට ගීත 3ක් පමණ මම නිර්මාණය කර තියෙනවා. ඉඳුනිල් නුගවෙල කියන නමින් you tube එකෙන් මගේ සියලු ගීත ඔබට රස විඳින්නට පුළුවන්.

 

• විෂයයක් ලෙස සංගීතය හැදෑරීම කළාද?

විෂයක් විදිහට ලොකු හැදෑරීම් කළේ නෑ. නමුත් ගීත ගායනයට නම් මම කැමැතියි. සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට වසර 4ක් විතර වෙනවා. 2013 දී මගේ පළමුවැනි නිර්මාණය ‘රෑ අහසෙ’ ගීතයෙන් තමයි මම ක්ෂේත්‍රයට පැමිණුනේ.

මගේ දක්ෂතාවය දැකලා ගොඩක් දෙනෙක් කීවා දිගටම ගීත ගායනා කරන්න කියලා. ඉතිං සංගීතය ගැන වැඩිදුර හැදෑරීම් කරන්නට මට වුවමනා වුණා. ඒ නිසා දැන් සංගීතය විශාරද කරන්නට යොමුවෙලා ඉන්නවා.

 

• ඔබ ජනප්‍රිය නිවේදිකාවක්?

2008 වසරේ තමයි මුලින් ම රූපවාහිනියට නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්නෙ. ඊට පස්සේ ස්වර්ණවාහිනි නාළිකාවේ වැඩකළා. දැනට ජාතික රූපවාහිනියේ සංවර්ධන ලොතරැයි වැඩසටහන මෙහෙය වනවා.

• මෙතෙක් කළ වැඩසටහන් මොනවාද?

රූපවාහිනී හිරි වියන, නුගසෙවණ, බටහිර අහස, අපි අපි, මාලිමා වගේ ම ස්වර්ණවාහිනි ආයුබෝවන් ශ්‍රී ලංකා. විශේෂයෙන් කියන්නට ඕනි දැනට ලංකාවේ සජීවීව පටිගත කළ මහපොළ ලොතරැයි නිවේදන කටයුතු කළේ මමයි.

 

• නිවේදිකාවක් වෙන්නට ඔබේ හීනයක් තිබුණ ද?

ඇත්තට ම A/L වලින් පස්සෙ නිවේදිකාවක් වීමට තමයි මම හීන දැක්කේ. ඉඳුනිල් නුගවෙල හඳුනාගත්තෙත් නිවේදිකාවක් ලෙසටයි. රූපවාහිනි හඬකැවීම් වගේ ම රංගනය, නිරූපිකාවක් විදිහටත් වැඩ කළා.

 

• රංගන ශිල්පිනියක් ලෙස ඔබ දායක වූ නිර්මාණ මොනවාද?

දයාරත්න රටගෙදරගේ සිතනිවන කතා, අවුරුදු නාට්‍ය කිහිපයකට ම දායක වුණා. ‘සපුමල් ලන්ද’ තමයි මගේ පළමු නිර්මාණය. ඒ වගේම ස්වර්ණවාහිනි පාරාවලලු, කළු අරලිය, කළු අරලිය - 2, මොණර කඩදාසි වගේ ම ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳව තැනූ එකම චිත්‍රපටය වන ‘සමනල පාලම’. මෙහි ප්‍රධාන චරිතයට පණ පෙවීමේ වාසනාව ද මට හිමිවුණා. 

 

Comments