තරු තොරතුරු | Page 2 | සිළුමිණ

තරු තොරතුරු

'පොප් සංගීතයේ ආසියාතිකයන් සිව්දෙනකුගේ'

අපි කිව්වම මෙහෙම

හිතට ගන්න හැමෝම

මනින්නෙපා ඇඳුමෙන්

කිසි කෙනෙකුගෙ තරම

කෙනෙක් ඇන්දට සරම

කවුරු හිතුවත් කොහොම

සරම අදින කෙනානෙ දන්නේ

සරමෙ පහසුවෙ තරම ....

සරම ගැන කියැවෙන මේ අලුත්ම ගීතය රසිකයන් අතරට පත්වෙන්න තව දවස් කිහිපයයි තිබෙන්නේ. මෙරට පොප් සංගීත කලාවේ පුරාවෘත්තයන් බදු ප්‍රවීණතම ගායකයක් සිව් දෙනෙකුගේ එකතුවෙන් එනම් ඩෙස්මන් ද සිල්වා, ඇනෙස්ලි මාලේවන, සුනිල් පෙරේරා, රජිව් සෙබෙස්තියන් ගේ ගායනයෙන් රසවත් වී හැඩගැන්වෙන 'සරම ' ගීතය එළිදැක්වෙන්නේ ඔවුන් ගීතවත් වන දැවැන්ත සංගීත ප්‍රසංගයකින් අනතුරුව. මේ ගැන හරියටම විස්තර දැන ගන්න ප්‍රවීණ ගායක රජිව් සෙබස්තියන්ට අපි කතා කළා.' අපි සිව් දෙනාම එක් වී හැත්තෑව දශකයේ ගීතවලට නැවුම් මුහුණුවරක් ලබා දෙන්නට තමයි සූදානම් වන්නේ. මොකද අදටත් අපි ගායනා කළ හැත්තෑව දශකයේ ගීතවලට රසිකයන් පුදුමාකාර ආදරයක් කැමැත්තක් දක්වනවා. වර්තමානයේ මොන ආකාරයේ ගීත නිර්මාණය වුණත් තවමත් හැත්තෑව දශකයේ ගීත ගැයූ අපට අලුත් දේ නිර්මාණය කරන්න පුළුවන්. හැත්තෑව දශකයේ එළියට ආ ඒ ගීත කලාව ඔස්සේ තවදුරටත් අපිට නව නිර්මාණ කරන්න පුළුවන්. ඒ වගේම නව පරපුරට අපෙන් යමක් ලබා ගන්නත් පුළුවන්. ඒ වෙනුවෙනුත් පොප් සංගීතයට කැමැත්තක් දක්වන රසිකයන් වෙනුවෙන් 'සරම' සංගීත ඇල්බමය එළිදක්වන්නට අපි මේ මාසෙ 7 වැනිදා සවස 7.00ට BMICH හි දී කටයුතු කරනවා.මේ ප්‍රසංගය නම් කර තිබෙන්නේ 'පොප් සංගීතයේ ආසියාතිකයන් සිව්දෙනා' යන අරුත දනවන 'Four Aces Of Sinhala Pop' ලෙසයි. මෙහි දී අපි හතර දෙනාගේම ජනප්‍රිය ගීත වෙනවෙනමත් ගායනා කරනවා. ඉහත මම පැවැසූ ආකාරයට සරම ගැන මම ලියූ ගීතය අපි ගායනා කරනවා. මේ ප්‍රසංගය 'සරම ' ලෙස නම් කරන්නත් විශේෂ හේතුවක් තිබෙනවා.

සරම කියන්නේ කවුරුත් අදින ඇඳුමක්. හැමදෙනාම අතර ජනප්‍රිය ඇඳුමක්. සරමට ජාතියක්, ආගමක්, කුලයක් නැහැ. මේ ඇඳුමට ඒ කිසිවක් අදාළ නැහැ. හැමදෙනාම අඳිනවා. අනෙක තමයි කිසිම විටෙක ඇඳුමෙන් මනුෂ්‍යත්වය හෝ වෘත්තිය මනින්න බැහැ. දියුණු, නොදියුණු, දුප්පත්, පොහොසත්,හැමදෙනාටම සරම පොදුයි. එනිසා මේ ගීතය ඔස්සේ සමාජයට යම් පණිවිඩයක් ලබා දී රසිකයා සංගීතයෙන් පිනවන්නයි අපේ උත්සාහය වුණේ.


 'අලුත් සර්'

නව පරපුරේ ජනප්‍රිය, නළුවෙක් වගේම දක්ෂ නිෂ්පාදකවරයෙක් විදිහට තමයි අනූජ් රණසිංහව කවුරුත් හඳුනන්නේ. අනූජ් පසුගිය දවසක නවතම චිත්‍රපට නිෂ්පාදනයකට දායක වුණා. ඒ වගේම මේ දවස්වල ඔහු තවත් චිත්‍රපට නිර්මාණයකට දායක වෙන්න ලක ලැහැස්තිවෙන බවකුත් අපිට ආරංචි වුණා. මේ චිත්‍රපටයේ විශේෂත්වය ගැන අනූජ් අපිත් එක්ක කතාකළා.' මගේ අලුත්ම චිත්‍රපටය තමයි'අලුත් සර් ' කියන්නේ'. මෙය ආර්ට් චිත්‍රපටයක්. කැමරා, ලයිටින්, වගේ මෙහි හැමදේම වෙනස්ම මුහුණුවරකින් තමයි සිදුවෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය වන 'සර්'ගේ චරිතය රඟ දක්වන්නේ මම. කුඩා කාලයේ මුහුණපාන අමානුෂික ප්‍රශ්නයක් නිසා වැඩිහිටි වු කලෙක එයට පිළිතුරු ලබා දෙන අන්දම මෙහි නිරූපණය වෙනවා. එවැනි පීඩනයකට මහුණ පාලා සමාජයට අනුගත වෙන කොට සමාජය දෙස බලන්නෙත් අමානුෂින විදිහට බව මේ චරිතයෙන් විදහා දැක්වෙනවා. මේච්චර කාලෙකට ප්‍රේක්ෂකයන් හමුවට පෙම්වතාගේ චරිතයෙන් ආ මම කළු චරිතයක් සමඟ ප්‍රේක්ෂකයා හමුවට එනවා.

 


නදීෂා‍ගේ අමුතුම චරිතය

නදීෂා හේමමාලි ජනප්‍රිය,දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ දවස්වල අලුත්ම චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්නට සූදානම්වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන සොයා බලන්නට අපි කටයුතු කළා. 'කාලෙකට පසුව නවතම කතාතේමාවකින් යුතු චිත්‍රපටයකට දායක වෙන්නට මට අවස්ථාව ලැබුණා. ඒ 'රෙඩ්' චිත්‍රපටයේ. මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ 'විලන් ' කැරැක්ටර් එකක්. ඒ චරිතතෙමයි 'සෙනාලි' සෙනාලි ගැන කතා කළොත් සෙනාලිව කාටවත් තේරුම් ගන්න බැහැ. ඇය කපටි වැඩ කරන , දුෂ්ඨ චරිතයක්. සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන චරිතයක්. කාලෙකට පස්සේ රඟපාන්න ලැබුණු අමාරු චරිතයක්. කොහොම වුණත් ප්‍රේක්ෂකයන් මගේ මේ අලුත්ම චරිතය ගැන කතාබහ කරාවි.


නාලකගේ 'පොත් ගු ල්ලී'

නාලක ස්වර්ණතිලක ගැන අමුතුවෙන් හඳුන්වන්න අවශ්‍ය නැහැ. පොඩි දරුවන්වෙනුවෙන් වගේම කලා ක්ෂේත්‍රයේ හැමදාමත් අලුත් දෙයක් කරන්නට වෙහෙසෙන කලාකරුවෙක්. මේ දිනවල නාලක ගැන කතාබහ කරන්නේ ඔහුගේ නවතම වේදිකා නාට්‍යය 'පොත් ගුල්ලී ' නිසයි.'පොත් ගුල්ලී ' නාට්‍යය ගැන නාලකගෙන් විමසා බලන්නට අපි කටයුතු කළා.'පොත් ගුල්ලී නාට්‍යය නිර්මාණය වෙන්නේ ළමා හා යොවුන් නවකතා රචක රෝල් ඩාල්ගේ 'මැටිල්ඩා'නවකතාව ඇසුරෙන්. මේ නාට්‍යය ළමාපරපුරට වගේම වැඩිහිටියන්ටත් හරිම අපූරු නාට්‍යයක්. පොත් කියවීමට දැඩිසේ ලොල් වූ ළමයෙන් වටා ගෙතෙන කතාවක්. මගේ තුන්වැනි වේදිකා නාට්‍යය තමයි මෙය. 2001 වසරේ දී 'දඟ මල්ල', 2011 දී 'මම වෙනම මලක්', මම මීට පෙර වේදිකාවට ගෙන ආවා. ඒ නාට්‍යවලට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතාම නුදුරු දිනෙක දී 'පොත් ගුල්ලී' වේදිකාවට ගෙනෙනවා. මේ දිනවල එහි පුහුණුවීම් කටයුතු සිදු වෙනවා. මෙහි 'කුසුම් රේණූ, අමා විජේසේකර, ප්‍රියංකර රත්නායක, සංඛාරා විජේරත්න, වැනි ප්‍රවීණ නළු නිළියන් වගේම මගේ වයිට් ලීෆ් කලායතනයේ දරුදැරියන් ද රංගනයට එක්වෙනවා.

Comments