
සුන්දර සොබාදහම රුදුරු වීමට ගත වන්නේ නිමේෂයක් පමණයි. අධික වර්ෂාපතනය හා අයහපත් කාලගුණ තත්වය නිසා පසුගිය සතියේ අපේ රටට අහිමි වූ ජීවිත ගණන සිය ගණනක්. දහස් ගණනක් තවමත් අවතැන් වී සිටින අතර සිදුවූ දේපළ හානියද අති විශාලයි. ගංවතුර යන මාතෘකාව මුළු රටේම කතාබහට ලක්වී තිබෙන නිසා ලොව මෙතෙක් සිදුවූ විශාලතම ජල ගැලීම් ව්‍යසන කිහිපයක් ගැන තොරතුරු අද රැගෙන ඒමට සිතුවා. ලොව විශාලම ගංවතුර තත්ත්ව ලැයිස්තුවේ මුල් ස්ථාන සියල්ලම පාහේ හිමි වන්නේ චීනයට වීම පුදුමයක්. චීනයට දෙවැනි නොවන එකම රට වන්නේ නෙදර්ලන්තයයි.
වර්ෂ 1931 චීන ජල ගැල්ම
මානව ඉතිහාසයේ බිහිසුණුම ජල ගැල්ම ලෙස බොහෝ දෙනා හඳුන්වන මෙම ජල ගැල්ම එකවරම ඇති වූවක් නොවෙයි. වර්ෂ 1930 දී මුළු චීනයම නියං තත්වයකින් පීඩා විඳීමින් සිටි ඇති අතර එම වසරේම ශීත කාලයේ දරුණු හිම කුණාටු රැසකට චීනය මුහුණපා තිබෙනවා. ඒ සමඟම ධාරානිපාත වර්ෂාවක් ආරම්භ වී ඇති අතර මේ නිසා ගංගාවන් හි ජල මට්ටම ඉහළ නැඟීමට පටන්ගෙන තිබෙනවා. ඉන්පසු 1931දී දරුණු කුණාටුවකට චීනය හසුවී
තිබෙන්නේ චීන ජාතිකයන් අසරණ කරමිනි. හිම දියවීමත් සමඟ ජල මට්ටම විශාල ලෙසින් ඉහළ නැඟීමට ආරම්භ වී වසර 1931 ජූලි මස දී චීනයේ ප්‍රධාන ගංගාවන් තුනම පිටාරගලා තිබෙන්නේ චීනයෙන් සැලකිය යුතු භූමි ප්‍රමාණයක් ජලයෙන් යට කරමිනි. එක් ලක්ෂ හතළිස් පන්දහසකගේ පමණ ජීවිත නැතිවී තිබෙන බව චීන රජය පැවසුවත් තවත් ආයතන කිහිපයක් පවසන්නේ ජීවිත හානි ප්‍රමාණය මිලියන 4 ක් තරම් විශාල ප්‍රමාණයක් වන බවයි.
වර්ෂ 1887 කහ ගඟ පිටාර ගැලීම
කහ ගඟ යනු චීනයේ ප්‍රසිද්ධම ගංගාවලින් එකක්. එයට මෙම නම ලැබී තිබෙන්නෙත් සෑම විටම බොර පැහැයෙන් යුක්ත වීම නිසායි. වසර 1887 සැප්තැම්බර් මස 28 වැනිදා මෙම කහ ගඟ පිටාරගලා මහා ජල ගැල්මක් ඇතිකළේ මිලියනයකට ආසන්නචීන ජාතිකයන්ගේ ජීවිත බිලි ගනිමිනි. මිලියන 2ක් පමණ ජනතාවට ඔවුන්ගේ නිවාස අහිමි වූ අතර වර්ග කිලෝමීටර් පනස් දහසක් ජලයෙන් යටවී තිබෙන්නේ සියලු කෘෂිකාර්මික ඉඩකඩම් හා ගොඩනැගිලි විනාශ කරමිනි.
වර්ෂ 1938 කහ ගඟ අවට ජල ගැල්ම
වසර 51කට පසුව නැවතත් කහ ගඟෙහි ජලයට චීන ජනයා බිලි වී තිබෙන්නේ එකල පාලකයන් ගේ තීරණයක් නිසා වීම ශෝකජනක කරුණකි. දෙවැනි චීන ජපන් යුද්ධය අතරතුර දී ජපන් හමුදාව චීනය අත්පත් කර ගැනීම වැළැක්වීමට කහ ගඟෙහි ඉවුරු කඩා දැමීමට එවකට චීන පාලකයන් තීරණය කර තිබෙන්නේ ජපන් සොල්දාදුවන් එම සීමාවෙන් බොහෝ ඈතින් සිටියදී.
මේ නිසා හෙනාන්, අනුයි හා ජිංග්සු පළාත් යට වී ගියේ ලක්ෂ 8 කට ආසන්න චීන ජාතිකයන් පිරිසක් මරණයට පත් වෙමිනි. එසේ වූවාත් ජපන් හමුදාව රට තුළට පැමිණීම වැළැක්වීමට මෙම ක්‍රියාවට නොහැකි වී තිබෙන්නේ තවත් එක් ඛේදවාචකයක් චීනයට සිදුවූ වසරක් ලෙස වර්ෂ 1938 ඉතිහාස පොත් අතරට එක් වෙමිනි.
වර්ෂ 1975 බැන්කියෝ වේල්ල පුපුරා යෑම
නීනා චණ්ඩ මාරුතය නිසා විනාශ වී ගිය වේලි අතරට වැටෙන මෙම බැන්කියෝ ජලාශයේ වේල්ල හෙනාන් පළාතෙහි පිහිටා තිබේ. දිනකට මිලි මීටර 300 ක වර්ෂා පතනයක් දරාගැනීමට හැකි ලෙසින් නිමවා තිබූ මෙය වෙත චණ්ඩ මාරුතය නිසා මිලි මීටර 600 කට වැඩි වර්ෂාපතනයක් පතිත වී තිබෙන්නේ ජලාශයේ වේල්ල පුපුරා දමමිනි. චීනයෙන් විශාල ප්‍රදේශයක්පුරා මෙහි ජලය ව්‍යාප්ත වී තිබෙන්නේ එක්ලක්ෂ හැට දහසකට අධික පිරිසක් මරුමුවට පත් වෙමිනි. ලක්ෂ ගණනක් ජනයා දින ගණනාවක්ම ජලයේ දිවි ගලවා ගැනීමට සටන් වැද තිබෙන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට වඩා විශාල දේපළ හානියක්ද මෙමඟින් සිදුවී තිබේ.
වර්ෂ 1935 යැංග්සි නදිය පිටාර ගැලීම
යැංග්සි නදිය අවට යැංග්සි මිටියාවත නිරන්තරයෙන්ම ජල ගැලීම් වලට හසුවන ප්‍රදේශයකි. සෑම වසරකම ගිම්හානයේ මෙම ප්‍රදේශය වෙත ජලය පැමිණෙන නමුත් කුණාටුවක් පැමිණීම නිසා 1935 වසරේදී විශාල ජල ගැලීමක් සිදුවී තිබේ. ජීවිත එක්ලක්ෂ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් බිලිගෙන තිබෙන්නේ යැංග්සි මිටියාවතෙහි තිබූ නිවාස, ගොඩනැගිලි ආදී සියලුම දේ සම්පූර්ණයෙන්ම විනාශ කරමිනි. ගං වතුර තත්වය නිසා මැලේරියාව, ක්ෂය රෝගය හා චර්ම රෝග රැසක් මුළු චීනය පුරාම වසංගතයක් පැතිරී ගොස් තිබෙන්නේ තත්වය තවත් නරක අතට හරවමිනි.
අපේරටේ එවැනි තත්වයක් ඇති නොවී සියලුම දෙනාට හැකි ඉක්මනින් සාමාන්‍ය ජන ජීවිතයට පැමිණීමට හැකිවේවා යි ප්‍රාර්ථනය කරන්නේ අසරණ වූ මිනිසුන් හට උදව් කිරීමට ඉදිරිපත් වුණු සියලුම පුද්ගලයින් වෙත විශේෂයෙන්ම ත්‍රිවිධහමුදාව හාපොලීසිය වෙත හදපිරි ස්තූතිය පුද කරමිනි.