අප්ප­ච්චිගෙ නිහ­ත­මානී ගති­ගුණ හැම­දා­මත් මත­කයේ තිබෙ­නවා | Page 5 | සිළුමිණ

අප්ප­ච්චිගෙ නිහ­ත­මානී ගති­ගුණ හැම­දා­මත් මත­කයේ තිබෙ­නවා

අපේ රටේ ගායනයට,රංගනයට එකලෙස දස්කම් දක්වන රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් සිටින්නේ අතළොස්සකි.ඒ අතරිනුත් ගායනය,රංගනය හොඳින් ප්‍රගුණ කළ කලාකරුවන් සිටින්නේද සීමිත පිරිසකි.මේ අංශ දෙකටම එකලෙස දස්කම් දක්වන ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස කුමාරි මුණසිංහ රසික ආදරය දිනාගෙන සිටි. ගෘහණියක,මවක,රංගන ශිල්පිනියක ලෙස ජීවිතයේ අමතක නොවන සිදුවීම් බොහෝ ඇති ඇය ඒ මතකයන් කිහිපයක් මෙවර රසඳුන අමතක නොවන මතක විශේෂාංගයට පැවසූයේ මෙසේය.

• පවුලේ වගකීම් දැරූ කාලයක්

සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් යුත් පවුලක පළමු දරුවා මමයි.පිරිමි සහෝදරයන් හතර දෙනකු හා ගැහැනු සහෝදරියන් හතරක් අපේ පවුලේ සාමාජිකයන්.පියා විදුහල්පතිවරයෙක්. මවත් ගුරුවරියක්. වැඩිමහල් දරුවා වු නිසාම පොඩිකාලෙ සිටම පවුලේ සියලුම වගකීම් මට පැවරුණා. ළමයි කී දෙනෙක් හිටියත් අම්මට, තාත්තට අපි අට දෙනාම මහමෙර වගේ වටිනවා. මට මතකයි අම්මා නිතරම කියනවා මට මාස අටේදි කක්කල් කැස්ස හැදුණා කියලා. අද වගේ ඒ කාලෙ ප්‍රතිකාර තිබුණෙත් නැති නිසා අපේ පළාත්වල හරියට කුඩා ළමයි මිය ගියා. කක්කල්කැස්ස හැදුණු මාව බේරගන්න ඕනනම් වෙදකමට වඩා හෙදකම අවශ්‍යයි කියලා. කැස්සත් සමග සෙම හිරවෙලා මියයන නිසා අම්මයි ,අප්පච්චියි රෑට පැය දෙක ගණනේ බෙදාගෙන එළිවෙනකම් නිදිවරණවලු. .අම්මගෙ පැය 2ත් තාත්ත නිදිවරාගෙන එළිවෙනකම්ම ඉඳලා. ඔය විදිහට දවස් ගණනක්ම සිටි නිසා අප්පච්චි කලන්තෙ දාල වැටෙන තරමටම දුර්වල වුණා කියල අම්මා හැමදාමත් කියනවා.ඒ තරමටම තාත්තා මට ආදරය කළා.

• අලි පහරින් අප්පච්චි මියගියා

තාත්තා විශ්‍රාම යනතුරුම ඉගැන්වුයේ සීගිරිය මහ විදුහලේ. එහි විදුහල්පතිවරයා ඔහුයි. විශ්‍රාම යෑමෙන් පසු කොළඹ එන්න කියා අඬගැසුවත් එයා කවදාවත් කොළඹට එන්න කැමැති වුණේ නෑ. 2009 ජූලි 01දා මගේ උපන්දිනයදා ශ්‍රී මහා බෝධියට ගිහින් පිරිකර පූජාකර ඥාතිවන සහෝදරියක් සමග ගියා සීගිරියට තාත්තව බලන්න. එතකොට රාත්‍රි 10ට විතර ඇති. තාත්තට හරිම පුදුමයි මගේ පැමිණීම ගැන. තනි අලියා ඉන්නවා,මේ වෙලාවෙ ඇයි ආවෙ කියල තමයි ගිය ගමන්ම ඇසුවේ. මම කීවා අලියා ඉන්න බවක් ආරංචි වුණේ නෑ. ඒකයි ආවෙ කියා. එකපාරටම ආ..අද උපන්දිනය නේද ඒකද ආවේ කියමින් මූණ හෝදගෙන එන්ඩකො කිව්වා. මට අද වගේ මතකයි ලෙමන් පෆ් බිස්කට් පෙට්ටියකුයි ඔරේන්ජ් බාර්ලි බෝතලයකුයි මේසය උඩ තියල බොන්න කිව්වා. රෑ 11ට විතර අකැමැත්තෙන් වුණත් අප්පච්චි සතුටු කරන්න ඔරේන්ජ් බාර්ලි බිව්වා.

පසුවදා අප්පච්චිගෙන් සමුගෙන එනවිට මම කිව්වා හවස 6න් පස්සෙ අප්පච්චි එළියටනම් යන්න එපා අලියා එනවා කියල. ඒකටත් ඔහු හිනාවෙලා කිව්වෙ මගේ කේන්දරේ හැටියටනම් තව සතියයි ජීවත්වෙන්නෙ කියා හිනාවුණා. හරියටම ඊට දවස් 10කට පස්සෙ ජූලි 10දා රාත්‍රි 10.30ට ඇමතුමක් ආව අප්පච්චිට තනි අලියා ගහල කියල. රෝහලේදි තමයි අප්පච්චිගෙ අවසන් හුස්ම ගිහින් තියෙන්නේ. සිරුර කැපු වෛද්‍යවරු කීවේ අවුරුදු 83ක් වුවත් අවුරුදු 25ක වයසක පුද්ගලයකුට තිබෙන හදවතක් ඇති බව.

• අම්මත් අප හැර ගියා

අපේ පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම රාජ්‍ය සේවයේ නිරතව සිටිනවා. ඒ මගේ මවත් අප්පච්චිත් දෙදෙනාම ගුරුවරු නිසා වෙන්න ඇති. විශේෂයෙන් මගේ මවට ගායනය, නර්තනය, අධ්‍යක්ෂණය වැනි විශේෂ හැකියාවල් රැසක් තිබුණා. මම හිතන්නේ අම්මගේ ඒ හැකියාවල් වෙන්න ඇති මට පිහිටලා තිබෙන්නේ. මට මතකයි අම්මගේ දණහිස් ඔපරේෂන් කරල කලක් ජාතික රෝහලේ නැවතී ප්‍රතිකාර ගත්තා. මමත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියාව කරන ගමන්ම සෑම දිනකම දවල්ට බලන්න යනවා. දවසක් අම්මා බලන්න ගිහින් ඇද ළඟ ඉන්නකොට මට කලන්තෙ වගේ හැදෙන්න ආවා. ඒක අම්මට කිව්වා විතරයි ඇඳෙන් බහින්න බෑ කිමින් සිටි අම්මා එකවරම බිමට පැන හැමෝටම කතාකර මේ බලන්න මගේ දුවට කලන්තේ හැදිලා කියමින් රෝහලේ කෑ ගහන්න ගත්තා. අම්මගෙ සද්දෙට දුවගෙන ආපු පිරිස මගේ අසනීපය ගැන අහන්නේ නැතුව ඇඳෙන් බහින්න බෑ කියපු අම්මා එහෙට මෙහෙට දුවන හැටි දැකලා පුදුමයෙන් වගේ බලන් ඉඳලා පස්සෙ හිනාවෙන්න ගත්තා දුව කලන්තෙ දානකම් හිටියද ඇවිදින්න කියලා. අද ඇයත් ජීවතුන් අතර නෑ.

• ජැක්සන් මාරක අනතුරකට

කලක් කටුනායක ගුවන්තොටුපළේ තිබෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයේ සේවය කළා. ඒ කාලෙ අද වගේ වාහන තිබුණේ නෑ. රාත්‍රි වැඩමුරය කරමින් සිටියදී ඇමතුමක් ආවා ජැක්සන් අනතුරකට ලක්වෙලා කියා. එළිවනතුරු බලන්න යන්න විදිහක් නෑ. වාහනයක් එන්නේ පාන්දර 5.30ට. ඒකෙ නැගල රෝහලට යද්දි මරදානෙ පොලීසියෙ තියෙනවා හැපිච්ච කැබ් එක. ඒක දැක්කම හිතාගන්න බෑ .හිතුණෙම එයාට ලොකු අනතුරක් වෙලා ඇති කියලා. එතන ඉඳන් ඉස්සිරිපිරිතාලෙට ගියේ කොහොමද කියල මට අදත් මතකයක් නෑ.

ජැක්සන්ව දැක්කම තමයි මම ප්‍රකෘති සිහියට එළඹුණේ. පසුවයි දැනගත්තෙ කැබ් එක රවුම් තුනක් කැරකිලා පෙරළිලා කියල. කට්ටිය දුවගෙන ඇවිත් තියෙන්නේ බොඩි එක ගන්න කියමින්. ඒත් ජැක්සන්ගේ එක අතක් සෙලවෙනවා දැක ඉක්මනට රෝහලට ගෙනිහින්. වාසනාවට ඔහුට කිසිම අනතුරක් වී තිබුණේ නෑ. ඔහු කැම්පස් සිටින කාලෙත් එවැනිම මාරක අනතුරකින් බේරුණා. එතකොට මම ආයුර්වේදෙ ඉගෙනගන්නවා.

ඉඩක් ලැබුණු වෙලාවට මම යනව ඔහුව බලන්න කැම්පස් එකට. දවසක් යනකොට කැම්පස් එකේ ළමයි පෙළ පාළියක් සුදානම් කරමින් සිටියා. ජැක්සන් තමයි ලීඩ් කරමින් සිටියෙ.අපේ ගෙදර යමු කියමින් මම ඔහුට අඬ අඬා ඇවටිලි කළා මට අද වගේ මතකයි. ජැක්සන් මගේ කරදරෙන් බේරෙන්න බැරිම තැන මාත් සමග අපේ ගෙදර යන්න ආවා. බස් එකේ එන ගමනුත් බැන බැන ආව යාළුවන්ගෙ මූණ බලන්නෙ කොහොමද කියල.ගෙදර ගියාට පස්සෙ අපට ආරංචි වුණා. ජැක්සන් වෙනුවෙන් පෙළපාළිය මෙහෙය වු රෝහණ විජේවීරට වෙඩි තියලා මරලා කියල. එදා ජැක්සන් එතන හිටියනම් අද ජැක්සන් ඇන්තනි කියන ප්‍රවීණ කලාකරුවා නොහිටින්න පුළුවන්.

• දරුවන් අපේ ලෝකයයි.

අප දෙදෙනාගේම බලාපොරොත්තුව වුණේ දුවෙක්. අප රඟ පෑ වේදිකා නාට්‍යයක් වත්සලා කියන්නේ.

එහි ප්‍රධාන චරිතය රඟපෑවේ මමයි. දුවෙක් ලැබුනම ඒ නම තියමු කියලා කතා වුණා. අපේ බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වුණා. දුවට නම තිබ්බේ මාධවි වත්සලා කියායි. ඇය ඉපදුනදා දැනුණ හැගීම අදත් සිහිවනවිට සිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.

එයට වසර දෙකකට පසුව ලොකු පුතා අමිල දනුද්දර ලැබුණා. මට මතකයි ඔවු ඉපදෙනවිට ඇස් දෙක තදට පියාගෙන ඇස්දෙක පේන්නවත් නෑ. මම බය වුණා ඇස් දෙකට මොකද වෙලා තියෙන්නෙ කියා. ඒ ගැන වෛද්‍යවරුන්ගෙන් විමසු විට ඔවුන්ට හිනා. තදකරගෙන සිටි ඇස් පිහාටු දෙපසට කර බලද්දි ගැඹුරු ළිඳක වතුර තියෙනව වගේ චූටි ඇස්දෙක තියෙනවා. දැනුන සතුට කියාගන්න බෑ. එතකොට තමයි හිතට සහනයක් දැනුණේ. පසුව ඉපදුණ චුටි පුතාත් (සජිත අනුත්තර) අපේ ජීවිතයට වාසනාවක්.

මට මතකයි චූටි පුතා පොඩි කාලෙ අයියත් එක්ක රණ්ඩුවෙලා ලිස්සල වැටිල අඬනවා. දුවල ඇවිත් බලනකොට මූණ වැදිලා දත් කැඩිල. ලේ ගලනවා.

එදා හරියටම මම පටාචාරා බවට පත්වුණා. මට සිහියක් නැතිව රෙදි හෝදමින් සිටියදී ඇදගෙන සිටි දිය රෙද්ද පිටින්ම රෝහලට යන්න ගිහින්.

අවට සිටි කාන්තාවක් අඬගහගෙන ගිහින් ඇඳුමක් අන්දලා රෝහලට යවපු හැටි අද වගේ මතකයි.

පසු කාලයේදි චූටි පුතා රියැලිටි වැඩසටහනකින් ජයග්‍රණය කළා. ලොකු පුතා අඛිලත් පසුගියදා රූපවාහිනි නාළිකාවකින් පැවැත්වු තරගයකින් ජයග්‍රහණය කළා. ඒ හැම සිදුවීමක්ම ජීවිතයේ සදාතනික මතකයන්. 

 

Comments