හරි වහර | සිළුමිණ

හරි වහර

1. ග‍වේෂණ - සංස්කෘත තත්සමයෙකි. ඇතැම් විටෙක ගවේශන ආදි වශයෙන් වරදවා ලියනු දක්නා ලැබේ. (මූර්ධජ) ‘ෂ’ හා ඉක්බිති වැ (මූර්ධජ) ‘ණ’ යෙදෙන සැටි සැලැකිල්ලට ගත යුතු ය.

සංස්කෘතයෙහි ‘‍ගෝ’, ‘ඒෂණ’ යන දෙක්හි සන්ධියෙන් මෙය නිපැදේ. ‘හෝ’ යනුවෙන් ගවයෝ ගැනෙති. ‘ඒෂණ’ යනු සෙවීම යි. එ හෙයින් ගවේෂණ යන්නෙහි වදයනාර්ථය නම් ගවයන් සෙවීම යනු යි. පුරාතන භාරතයේ ගවයන් පාලනය බෙහෙවින් කැරුණු බව ද තමන් ගේ ගවයන් නැති වූ කල්හි ගෝපාලයන් ඔවුන් සොයමින් බොහෝ දුර ගෙවමින් ඇවිද ගිය බව ද එයින් මෙ වදන වහරට දුර ගෙවමින් ඇවිද ගිය බව ද එයින් මේ වදන වහරට ආ බව ද කියැවේ.

මූලාර්ථය කුමක් වුව ද පෙර පටන් ම මෙ වදන වහරෙහි යෙදුණේ ය ම්කිසි දෙයක් හෝ කරුණක් හෝ සොයා බැලීම පරීක්ෂා කිරීම හඟවනු පිණිස යි. මෙකල්හි නම් ශාස්ත්‍රීය කාරණ සොයා බැලීම, විමර්ශනය කිරීම සඳහා ගවේෂණ යනු විශේෂයෙන් යොදන අයුරු පෙනේ. ගවේෂණය, කරන්නා ගවේෂක නමින් ගැනේ.

පාලියෙහි මේ හා අනුරූප වැ යෙදෙනුයේ ‘ගවේසන’ යනු යි. එහි (දන්තජ) ‘ස’ හා ‘න’ හා යෙදේ. සාමාන්‍ය සිංහල ව්‍යවහාරයෙහි යෙදෙන්නේ සංස්කෘත තත්සමය ම ය.

2. ගම්භීර - මෙ ද සංස්කෘත තත්සමයෙකි. පාලියෙහි දු එ සේ ම යෙදේ. මෙහි (මහාප්‍රාණ) ‘භී’ යනු යෙදෙන අයුර සැලැකිල්ලට ‍ගත මනා ය. ඇතැම්හු මෙහි ලා (කෙටි) ‘භි’ සහිත වැ ‘ගම්භිර’ යනු යොදති. ඒ ව‍රදෙකි. මෙයට ‘ය’ ප්‍රත්‍යයය එක් වීමෙන් නිපැදෙන ‘ගාම්භීර්ය’ යන තද්ධතිය දු (දීර්ඝ) ‘භී’ සහිත කොට ම යෙදිය යුතු ය. ගම්භීර යන්නෙහි අරුත නම් ගැඹුර යනු යි.

3. ගංගා - සංස්කෘත - පාලි තත්සමයෙකි. අක්ෂර වින්‍යාසය ඉතා නිවැරැදි වැ යොදත් හොත් (‘’ කාරය සහිත වැ) ‘ගගා’ යනුවෙන් ලිවිය යුතු යි. එ වුව ද සියලු නාසික්‍ය අක්ෂර වෙනුයෙන් බින්දුව හෙවත් අනුස්වාරය (ං) යෙදිය හැකි හෙයින් ගංගා යනු ද නිවැරැදි ය. වරද වන්නේ ඇතැමුන් ‘ඕ’ කාරයට නොහොත් බින්දුවට පසු වැ යෙදෙන ‘ග (‘ඟ’ යැ යි) සඤ්ඤක සහිත කොට ලිවීම යි. මේ ගංගා යන්නට අනුරූප වැ සිංහලයේ යෙදෙනුයේ ‘ගඟ’ යි. එහි වන (සඤ්ඤක) ‘ඟ’ හා පටලවා ගැන්මෙන් ඇතැමුන් මෙ සේ (ගංඟා යන සාවද්‍ය රූපය) යොදනිති යි සිතිය හැකි ය. මෙහි දී කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතු යි. එකක් නම් (සිංහලයට ආවේණික වන) සඤ්ඤකය කිසි ම විටෙක සංස්කෘත පාලි වදන්හි නොයෙදන බව ය. අනෙක නම් නාසික්‍ය ශබ්දයකට පසු වැ කිසි විටෙක සඤ්ඤක ශබ්දයක් නො‍යෙදෙන බව යි. කන්ඳ, අංඟ ඈ විසින් ඇතැමුන් යොදන වදනුදු ඉඳුරා වැරැදි බව මෙ නයින් වටහාගත යුතු ය.

4. ගහකොළ - බෙහෙවින් කට වහරෙහි යෙදෙන වදනෙකි. එහෙත් නවකථා ආදියෙහි දී දෙ බස් තත්ත්වාකාරයෙන් දැක්විය යුතු තන්හී දී මෙ බඳු වදන් ලියා දැක්විය යුතු වෙයි. මෙහි අග (මූර්ධජ) ‘ළ’ යෙදේ. (දන්තජ) ‘ල’ යෙදීම වරදෙකි. බහුවචන කොට දැක්විය යුතු විට ‘ගස්කොළන්’ යැ යි අන් ප්‍රත්‍යයාත්ත කොට ද වහරෙහි යෙදේ.

5. ගහල - මෙ ද බොහෝ සෙයින් කට වහරෙහි යෙදෙන වදනක් නමුදු ඇතැම් විට ලියා දක්වන්නට ද සිදු වේ. අග යෙදෙනුයේ (මූර්ධජ) ‘ළ’ නො ව (දන්තජ) ‘ල’ යි. ‘හ’ පෙරටු කොට ‘ල’ නො යෙදෙති යි ද ‘ළ’ ම යෙදෙතියි ද යන වැරැදි හැඟුම නිසා ඇතැමුන් ‘ගහළ’ යන සාවද්‍ය රූපය යොදති. ‘ගහල’ යනු අරුත් ද දෙකෙකින් සිංහලයෙහි යෙදේ. එක් අරුතෙකින් හැඟැවෙනුයේ අල ජාතියෙකි. එහි දී ‘ගස්’, ‘අල’ යන දෙ වදන ‘ගසල’ යි සන්ධි වි නැවැත ‘ස’ සදහා ‘හ’ ආදේශ වීමෙන් ‘ගහල’ යනු නිපන් සේ සැලැකිය හැකි යි. අනෙක් අරු‍තින් ‘ගහළ’ යනු යෙදෙනුයේ වධකයන් හෙවත් නීත්‍යනුකූල වැ හිස ගසා දමා මිනිසුන් මරන්නන් හැඟැවීමට යි. මෙය දෙ වන අරුතින් යෙදෙන කල්හි අග යෙදෙනුයේ (මූර්ධජ) ‘ළ’ බව වෙසෙසින් සැලැකිය යුතු ය.

 

Comments