විචාරය ප්‍රචාරයට බලපානවා | සිළුමිණ

විචාරය ප්‍රචාරයට බලපානවා

දිනුක මධුෂාන්

කෙටිකතා පරිවර්තකයකු, කවියකු, මනෝවිද්‍යා උපදේශන කෘති නිර්මාණකරුවකු, මනෝවිද්‍යා උප‍දේශකවරයකු, වෘත්තීය මාර්ගෝපදේශවරයකු සහ මානව සම්පත් කළමනාකරුවකු වන දිනුක මධුෂාන්ගේ 'දුම්රිය සංඥාව' කෘතිය 2016 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලළේ අවසන් කෘති අතරට පැමිණියේය. 'මහමායා' සහ 'සිහිසුනකට තරග වැද' යනු ඔහුගේ නවතම කෘති දෙකයි. විචාරකයන් කෙටිකතාවේ ස්වභාවය පිළිබඳ විවිධ සිද්ධාන්ත ඉදිරිපත්කර ඇතත් විශ්ව සාහිත්‍යය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ ලොව කීර්තියට පත් ලේඛකයන්ගේ කෙටිකතා පෙර කී සිද්ධාන්තවලට සීමා වී නැති බව යි. කෙටිකතාව පූර්ව නිශ්චිත ආකෘතියකට කොටු වී නැති බවත් නීතිරීතීවලට යටත් නොවූ නිදහස් එකක් බවත් දිනුක මධුෂාන්ගේ අදහසයි.

• ඔබ විවිධ රටවල සමාජ සංස්කෘතික දේශපාලන සහ සමාජීය කරුණු පිළිබඳ විවරණය කෙරෙන විවිධ සාහිත්‍ය කෘති පරිවර්තනයට පෙ‍ලඹීමට හේතුව?

මා කුඩා කල පටන් පරිවර්තන කෘති කියවීමටත් විවිධ රටවල සංස්කෘතික කාරණා පිළිබඳ සොයා බැලීමටත් දැඩි උනන්දුවක් දැක්වූවා. එය මෙවැනි නිර්මාණ කිරීමේ මුලාරම්භය යැ යි කිව හැකි යි. පරිවර්තන සාහිත්‍යය පිළිබඳ කථා කිරීමේ දී මෑතක් වන තුරු මෙරට පරිවර්තන සිදු වූයේ රුසියානු සහ ඉන්දීය සාහිත්‍ය පාදක කරගෙන යි. විසිවන සිය වස අගභාගය වන විටත් මේ තත්ත්වය පැවැතියත් ඇතැම් පරිවර්තකයන් කලාතුරකින් වෙනත් රටවල සාහිත්‍ය කෘති පරිවර්තනද කර තිබෙනවා. විසිඑක්වන සියවස මුල්භාගයේදී මේ තත්ත්වය වෙනස් වුණා. සාම්ප්‍රදායික රුසියානු පරිවර්තනයෙන් ඔබ්බට ගොස් ගොස් ඕස්ට්‍රේලියානු, ජපන්, ප්‍රංස, දකුණු අප්‍රිකානු සහ කොරියානු වැනි පරිවර්තන සිදු කිරීම ආරම්භ වුණා. මේ නව ප්‍රවණතාව සමඟ නව ලේඛකයන් මෙන්ම නව පාඨක පිරිසක් ද පරිවර්තන සාහිත්‍යය වෙත යොමු වුණා. එම රටවල දේශපාලන, සමාජීය සහ සංස්කෘතික වටපිටාව පිළිබඳ සෙවීමේ උනන්දුවෙන් විවිධත්වයෙන් යුතු කෘති පරිවර්තනය සිදු වුණා. රසවින්දකයන්ට මෙන්ම සාහිත්‍ය පරිවර්තකයන්ට මේ නව ප්‍රවණතාව තමන්ගේ නිර්මාණ එළිදැක්වීමට හොඳ තෝතැන්නක් වුණා. රසවින්දනයේ විවිධත්වයන්ට පාඨකයා එතැන් පටන් හුරු වූවා යැ යි මා සිතනවා.

• යම් සාහිත්‍ය කෘතියක් පරිවර්තනය කිරීමේ දී කෘතියට අදාළ සමාජ සංස්කෘතික පසුබිම පිළිබඳ නිසියාකාරයෙන් විවරණයක් කිරීමට පරිවර්තකයාට හැකි වෙතැ යි ඔබ සිතනවා ද?

පරිවර්තකයා යම් පරිවර්තනයක් කරන විට අදාළ රටේ සමාජ සංස්කෘතික දේශපාලනික වටපිටාව පිළිබඳ නිසියාකාර හැදෑරීමක් කළ යුතු යි. රටකින් රටකට වෙනස් වන ඒ සමාජ සංස්කෘතික කාරණා වෙනත් සංස්කෘතියක ජීවත් වන පාඨකයකුට නියමාකාරයෙන් පැහැදිලි කර ‍දීම අසීරු කාර්යයක්. එහෙත් මුල් කෘතිය පිළිබඳ මනා වැටහීමෙන් යුතු ව ඒ සංස්කෘතික වෙනස්කම් පරිවර්තකයා හඳුනා ගත යුතු යි. මුල් පරිවර්තනයේ ඇති දේ අපට ඒ ආකාරයෙන් ම දෙන්න බැරි වුණත් යම් සාධාරණයක් කිරීමට පරිවර්තකයාට හැකි විය යුතු යි‍.

• ඔබේ නවතම කෘති වන 'මහමායා' සහ 'සිහසුනකට තරග වැද' කෙටිකතා පරිවර්තනයට පෙර ඔබ විසින් පරිවර්තනය කරන ලද 'දුම්රිය සංඥාව' නම් කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උ‍ලෙළේ අවසන් කෘති අතරට නිර්දේශ වුණා. අද බොහෝ ලේඛකයන් සම්මාන අරමුණ කරගෙන යි නිර්මාණ කාර්යයේ නිරත වන්නේ? ඔබත් සම්මාන අරමුණු කරගෙන ද නිර්මාණකරණයේ යෙදෙන්නේ?

නැහැ. මා ජනතා සම්මානයටයි වඩා ප්‍රිය වන්නේ. සම්මාන අප වැනි නවකයන්ට තවත් නිර්මාණ කිරීමට හොඳ පෙලඹවීමක්. මා විසින් නිර්මාණය කරන ලද 'දුම්රිය සංඥාව' කෙටිකතා පරිවර්තන සාහිත්‍යයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මා දකිනවා.

• 'දුම්රිය සංඥාව' පරිවර්තන සාහිත්‍යයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඔබ සඳහන් කරන්නේ කුමන හේතු කාරණා නිසා ද?

මා එසේ සදහන් කිරීමට හේතුව රුසියානු හා ඉන්දීය සාහිත්‍ය පරිවර්තනයට සීමා වෙලා තිබුණු සාහිත්‍ය කෘති නිර්මාණයන්ගෙන් එහාට ගොස්, අපේ රටේ පරිවර්තනය මගේ කෘතියෙන් ලෝකයට විවෘත වුණා කියා මා හිතනවා. ඒ වගේ ම වෙනත් රටවල කෘති පරිවර්තනයට බොහෝ ලේඛකයන් පෙලඹවීමක් මේ මඟින් සිදු වුණා. ඒ නිසා මේ කෘතියට ලැබුණ ඒ ගාමක බලය පරිවර්තන සාහිත්‍යයේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළා යැ යි මා සිතනවා.

• ඔබගේ නවතම කෘති වන 'මහමායා' සහ 'සිහසුනකට තරග වැද' නම් කෙටිකතා පරිවර්තන කෘතියේ භාෂා භාවිතයේ සුවිශේෂත්වයක් දකින්න ලැබෙනවා නේද?

මා විශේෂයෙන් කිව යුතු කාරණාවක් වන්නේ මේ කෘතියේ දී මම 'දුම්රිය සංඥාව' කෘතිය‍ට වඩා පියවරක් ඉදිරි‍යට ගියා. මා එසේ සඳහන් කරන්නේ 'දුම්රිය සංඥාවේදී' පරිවර්තනයට යොදාගත් රටවලවලට වඩා විවිධත්වයෙන් යුතු විශාල රටවල් ප්‍රමාණයක සමාජ සංස්කෘතික කාරණා පිළිබඳ පුළුල් විග්‍රහයක් කරන්නට මේ කෘති මඟින් හැකි වුණා. ඒ වගේ ම ඇතැම් රටවලට ආවේණික පාරිසරික කාරණා සම්බන්ධයෙන් පාඨකයාට පැහැදිලි කිරීමේ දී එයට උචිත භාෂාවන් යොදාගන්න උත්සාහ කළා. ඇතැම් විට එක ම රටේ යුග දෙකක් අතර හෝ ප්‍රාන්ත දෙකක් අතර ඇති සංස්කෘතිය පිළිබඳ ව හෝ මනා ව පැහැදිලි කිරීමට නම් එයට උචිත බසක් විශේෂයෙන් තෝරාගත යුතු යි කියා මා හිතනවා. එවැනි කරුණු නිසා භාෂාව පිළිබඳ මා වඩා සැලකිලිමත් වුණා. මුල් කෘතියේ තිබෙන සමාජ දේශපාලන ක්‍රම‍ය පිළිබඳ විග්‍රහ කිරීමට නම් එහි පසුබිම හැදෑරිය යුතු යි. එහි දී මගේ මුල් කෘතිවල ඇති අඩුපාඩු පිළිබඳ වඩා සැලකිලිමත් වෙමින් වඩා නිවැරදි බසක් ‍තෝරා ගැනීමට මා උත්සහ කළා.

• හොඳ පරිවර්තන කෘතියකට නිසි ඇගැයීමක් තිබෙනවා ද?

විශේෂයෙන් පොතේ ගුණාත්මක භාවය නිසි ඇගැයීමකට ලක් කර සම්මානයන්ට පාත්‍ර වුණත් බොහෝ වේලාවට ඒ කෘති ජනගත වන්නේ නැහැ. සම්මානයන්ට පාත්‍ර වුවත් එය ජනගත වීමට නම් අනිවාර්යයෙන්ම මාධ්‍ය මඟින් ඒ පිළිබඳ විචාරයන් ජනතාව අතරට යා යුතු යි. ඒත් පරිවර්තන සාහිත්‍ය කෘතිවලට මාධ්‍ය මඟින් ලැබෙන්නේ ඉතා අඩු ඉඩකඩක් යැ යි කිව්වොත් නිවැරදියි.

• සම්මානයන්ට පාත්‍ර වන සාහිත්‍යකෘතිවලට වඩා ඇතැම් අවස්ථාවල වෙනත් සාහිත්‍ය කෘති ජනප්‍රිය වනවා නේද?

මා කලින් සඳහන් කළා සේ ම ජනප්‍රියත්වයටත් විශාල වශයෙන් බලපාන්නේ මාධ්‍ය මඟින් ජනගත වන ආකාරය යි. පොතේ අලෙවියට සහ ජනප්‍රියත්වයට ඍජු ව ම ඒ විචාරයන් සහ ප්‍රචාරයන් බලපානවා කිව්වොත් නිවැරදියි. තරගකාරී වෙළෙඳපොළෙහි පොතට ලැබෙන ප්‍රචාරය ජනප්‍රියත්වයට වඩා බලපානවා. දැඩි පරිශ්‍රම‍යකින් යුතුව රචනා කරන ලද කෘතියකට ජනතා සම්මානයන්ට පාත්‍ර වෙනවා නම් රචකයාට එයින් ලැබෙන සංතෘප්තිය අපමණයි. සම්මානයක් මඟින් සාහිත්‍යකරුවා දිරි ගැන්වීමක් සහ ඔහුට එයින් නව නිර්මාණ කිරීමට ගාමක බලයක් ලැබෙනවා. ඒත් සම්මානය කෘතියක ජනප්‍රියත්වයට බෙහෙවින් බලපාන කරුණක් නොවෙයි. මා සිතන්නේ යම් සම්මානයකට පාත්‍ර වූ කෘතියක් වුවත් ජනගත වන ආකාරය මත යි එහි ජනප්‍රියත්වය රඳා පවතින්නේ‍.

Comments