
දවුල්දෙන මිණිපහන
බණ පද වදාරා කෙලෙසුන් උගුල්ලන
සැනසුම සතුට සැදු සිත්වල සියල් දන
දෙවියොද ළසෝ ගිනි බිඳ බිඳ හවුල් වින
මරකත මැණික අපවත් විණ දවුල්දෙන
ගිහි ගෙය අතැර සසුනට වන් දිනයෙ සිට
බණ පද එකින් එක ගෙන පරිහරණ යට
සම්බුදු මගෙහි පියවර මැන ඉදිරි යට
ඉතිහාසය කියයි නැඟු හැටි සිහළ රට
අනුනගෙ දියුණ පිළිබඳ විසිහතර පැයේ
හිමි වෙහෙසුණ අයුරු ඉතිහාසයෙහි තියේ
නැත කිසි විටෙක පසු වූයේ සසර බියේ
වැඩියහ පෝය ගෙට බිය සැක නැතිව ළයේ
වදනට අනුව බුදු හිමිගේ තිලොව අග
වැඩ සිටි සේක පිං මහිමය ඉහළ නැඟ
ඇවතක් - පචිතියක් ගුණයට නොවුණ වග
දෙස් දෙති සඟ රුවන වැඩමෙව් එකම මඟ
නාගර්ජුන අශ්වඝෝෂ විදු සක්විති මිණි වැලේ
බැබලුන මරකත මැණිකකි දිනු ලක් මෑණිගෙ ගෙලේ
නාහිමි වැඩි මග යන කාටත් ජය කිංකිණි සැලේ
වඳිමි පාද පංකජ යුග සුපිපි දවුල්දෙන විලේ
ධම්මධාරිත, විනයධාරිත, ධම්මචාරිත, ධම්ම සේවිත
ඤාණවුද, ගුණවුද, තපෝවුද, සංඝ සෝභන ගුණ විභූසිත
අපේ සඟරජ පදවි රංජිත - අමරපුරවංසාව තංසිත
ලෝක පූජිත මහානායක සමින්දාණෙනි විශ්ව ලංකිත
ලොවැසි ලොකු පොඩි හැම දෙනාගෙම දියුණ හැම විටෙකම පැතූ
දුන්හ ඒ හැම දෙනට උවදෙස් පුතේ ඉහළට යා යුතූ
හිතේ ඇති දුක දරණු නොහැකිය නුවන් යුග වී ඇත රතූ
නෙතේ කඳුළින් පුදමි නාහිමි නිවන් සැප ලැබ ගත යුතූ
නෙළුම්දණ්ඩේ විමලසාර හිමි
නැති වුණු රන් ගිගිර
උණ හැදුණු මා වඩා ගෙන ගොසින් නගරයට
බේත් ගෙන එන ගමන් අරන් දුන් ගිගිරි වැළ
“හනික උණ බහින්නට මේ තිත්ත බේත් බී
නටන්නට හැකි පුතුනි ගිගිරි වැළ පයේ බැඳ”
සිනාසුණු හැටි මතක් වෙයි දුකින් මගෙ අම්මේ
සුජාතා වළල්ලක් මගේ වම් අතේ දා
රත්තරන් බඩු අරන් දෙන්න වත්කමක් නැති
දිළිඳු වූ අම්මා කුමරියක වී ඉපිදී
මිහි මවගෙ තුරුල්ලේ අනේ අම්මා මගේ
“ලොකු දුවේ” කියන්නම් කිසි දිනක නැත එන්නෙ
පරපුරේ පුංචි දැරියක පයේ නාද දෙන
ගිගිරි වැළ ගැන කියන්නට අම්මේ වදන් කොහි
ජිවිතේ ගීතවත් රන් ගිගිර නිහඬ වී
කඳුළු, තනිකම ඇවිත් ළඟ හිඳී නෙත් මානයේ
කෑ ගසා අණ දෙමින් රැජනක්ව සිටි බිමේ
සිරකාරියයි බයක් හිතේ එහෙ මෙහෙ දුවයි
චන්ද්‍රානි වික්‍රමසිංහ
වෙනසක මිහිර
සිනා දෝතත් ඔබය
කඳුළු බිඳුවත් ඔබය
ඔය දෙකම සුන්දරය
ඔබ සේම....
විටෙක රළු - විටෙක මුදු
මලත් නටුවත් ඔබය
දහමක් ය එය සොඳුරු
ඔබ සේම....
මහ වැස්ස මල් වැස්ස
දැඩි සුළඟ මඳ පවන
හිරු කිරණ සඳ එළිය
විටෙක උහුලනු බැරිය
විටෙක හරි මනහරය
ඔබ සේම...
කළු වලාකුළු පෙළම
රන්වන්ව දිලිසේය
ජීවිතය කියා දෙන
ඔබ සේම...
රංජි අමරා
සොඳුරු පැතුම
පාට පාටැති හීන කොළ ගෙන
සරුංගලයක් හැදූයේ මම
පුතේ නුඹටයි උඩ යවන හැටි
බලා ඉන්නම් ඈත ඉඳගෙන
නූල කැඩෙතැයි බිය නොවන් නුඹ
සැඬ සුළං පහරට මුවා වී
තවත් දීපන් නූල උඩටම
සඳ තරුත් අල්ලනම ගානට
අඳුරු සේයා ඉරාගෙන ගොස්
නීල අහසේ පාවි පාවි
ගහන කරනම් ඉතා ලස්සන
බලා ඉන්නම් හදින් සැතපී
මඟ හරින්නට අකුල් බාධක
දක්ෂයෙක් නුඹ එදා ඉඳලම
තවත් දීපන් නූල උඩටම
සඳ තරුත් අල්ලනම ගානට
විසල් අහසේ ඈත දුර සිට
පාට දේදුනු මතට නැඟලා
නැළවෙනා කල සිහින් පවනේ
උජාරුවටම බලා ඉන්නම්
පොපියනා නෙත ඉවත නොගෙනම
කියා දෙන්නම් අනෙක් අයටත්
පාට තිබ්බේ මමයි කියලා
තවත් දීපන් නුල උඩටම
සඳ තරුත් අල්ලනම ගානට
හේරත් පලාපත්වල
(උස) ආදරය
සෙන්ටිමීටර්
අඟල්
අඩි
නොතිබුණා නම්
කොච්චර
ලස්සන ද?
මේ ජීවිතය
මංජුල සෙනෙවිරත්න
සිතුවම් දැක්මකදී
හරිත පැහැති වන පෙත මැදින්
ගලා බසින
නීල නදිය මනරම්
මේ වියළි සිතුවම
මා දෙනෙත රවටයි
සුදත් ගාමිණි බණ්ඩාර
ගසක වරුණ
ඒ පුංචි පැළය අද
යොවුන් විය පසු කරන
තරමක් ලොකු ගසක්
සතුටින් සිනාසෙනවා වගෙයි
මඳ සුළඟ සමඟින්
එහාට මෙහාට පැද්දෙනකොට
සාන්තයි සුන්දරයි සැම විට
මේ තරම් ඉක්මනට
ලොකු මහත් වුණු තරම්
ගස තවත්
උසට මහතට වැඩෙයි
සුරත ගෙන බඳ වටා
පිරිමදින්නට සිතෙයි
ජයසේකර මලවිආරච්චි
මිතුරිය
සීතලම හාදුවකින්
කොපුල් තලයම සනහා
හමු වුණ සැණින් නික්මුණ
නුපුරුදු දුරුතු මිතුරිය...
උණුසුම් එකම කඳුළක්
වියැළි නෙතු අග උපදා
ඈත සිට හද පිරිමැදි
සුන්දර නවම් මිතුරිය...
විමසා බලා හැඟුමන්
මුදු හඬින් මා අමතා
මිතු දමේ මල් පිබිදූ
මැදින් මස මුදු මිතුරිය...
මියුරු පල ගෙන අවුදින්
සිත සෙනෙහසින් පුරවා
දිවිය සුවඳින් නැහැවූ
බක් මස වසත් මිතුරිය...
නික්ම යන තුරු භවයෙන්
හමු වන පැතුම් අතුරා
පහනින් පහන දැල්වූ
පින්බර වෙසක් මිතුරිය...
සප්ත සමුදුරු අතරින්
ගෙවා බෝ දුර සපුරා
මා ළඟට විත් හිනැහෙන්
පොසොන් සඳ වී මිතුරිය...
නදීරා රෝෂිණී නල්ලපෙරුම
අද දවස හරි දිගයි
හාත්පස නිහඬයි
පන්සලක් වාගේ
සද්ද බද්ද නෑ
ඇඬිලි දෙඩිලි නෑ
සිනා හඬත් නෑ
මුළු ගෙයම පාළුයි
දුවන හඬත් නෑ
වැටෙන හඬත් නෑ
අත්තේ... අත්තම්මේ....
සුරතල් වෙන හඬත් නෑ
මුළු ගෙයම පාළුයි
මුළු ගෙයම පිළිවෙළයි
තිබූ තැනම බඩු තිබෙයි
මිදුලත් පිරිසිදුයි
වැලි මාලිගා නෑ
ඒත් හරි පාළුයි
කුරුලු කිචිබිචිය නෑ
මාළුන්ට කෑම නෑ
සමනලුන්ටත් අද
මල් පාර වැරැදිලා
මුළු වත්ත පාළුයි
ඔරලෝසුවෙත් කටු
කැරකෙන්නෙ නෑ වගේ
අද දවස හරි දිගයි
මිනිපිරියො ගම් ගොසින්
ආරියරත්න ජයසිංහ
බැඳීම්
නුගුණ නොකියත් කිසිවකුගේ
දිවි ගෙවත් අහිංසාවෙන්
මනෝ විතර්ක
මනස් කුටියෙහි සිර කරන්නේ
අවයව සඟවා ගත්
ඉබ්බෙකු මෙනි
රහත් උතුමෙකි මේ
බැඳීමක් නොමැති
(දුක්කර සූත්‍රය ඇසුරෙන්)
තිඹිරියාගම බණ්ඩාර
පුරඟන කවිය
සඳ ළඟ පුංචි තරු කැටය සේ
මවු උරේ දැවටී සිනාසෙන්නී ඈ
පුංචි දියණිය සුරඟනක් සේ
ළපැටි මොළකැටි මුහුණ
නෙතු සඟෙළ්ම දීප්තියෙන් බැබළේ
මව හාදු දෙන්නී
ඈ තුරුල් වේ තව තවත්
“මතුයම් දිනෙක ඇය...?”
සුසුම්ලන්නී මවු තොමෝ
යහගුණ සපිරි - රූ සිරි බැබළි
කුල දුව සේ ඈ
දිනන තුරු ජීවිතය...?
පුරඟනක් නොවී ඔබ
සුරඟනක් වනු මැනව
මා මෙන් අපායේ නොවැටී
දූ සිනා සෙන්නී
මව කඳුළු පිසින්නී
කමලා ධර්මලතා ජයසූරිය
මහලු විය
ජීවිත ගහේ දලු මල් නැහැ පිපෙන්නේ
ඉස්සර වගේ රහ ගුණ නැහැ දැනෙන්නේ
කල කී බොහොමයක හිස් බව දකින්නේ
තනියක් නැහැ මරු තනියට සිටින්නේ
නොයෙකුත් රිදුම් සහ රෝදුක් පෙලන්නේ
පෙරදී ලැබුණු සෙනහස නැහැ ලැබෙන්නේ
ගමන අගයි සසර බියයි දැනෙන්නේ
සසර නිමා කළ හැකිනම් අගෙයිනේ
අනුරාධ විජේරත්න
සිතිවිලි
අකල් වැස්සක
තෙමෙනු රිසියෙන්
උනා දැමුවෙමි
සළු පිළී
කුණාටුවකට
පෙර නිමිති කී
වලා තිරකට
මුවා වී
නිසොල්මන් ගිනි
හිරු රැසට
සිප ගන්න රිසි සේ
ඉඩ හැරී
පිනි බිඳක් විය
වැසි දියට
හසු වී ගලා ගිය
සිතිවිලී
අනුරාධා සංකල්පනී
එතෙර කවිය
අවන්හල
මෙතන ඉඳ ගත් අය ද
අතන ඉඳ ගත් අය ද
දුමයි
වීදුරුවයි
වචනයි...
ඒත්....
පිහ දමා මේසය
පිරිසිදු කළ පසුව
ඉතිරි වනු කාගේ ද?
ඇඟිලි සලකුණු
අවන්හල හෙවත් බොජුන්හල යනු ආහාරපාන ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ස්ථානයකි. සමහර අවන්හල්වල මත්පැන් පානය කිරීමේ පහසුකම් ද තිබේ. ටියුනීසියාව වැනි රටවල ශ්‍රී ලංකාව වැනි රටකට වඩා එය කැපී පෙනෙයි. ඔවුහු බොහෝ විට යාබද මේසයක තනිවී සිටින නන්නාඳුනන අයකු දුටුව ද තමන්ගේ මේසය වෙතට ආරාධනා කර දැන හඳුනා ගනිමින් බොහෝ තොරතුරු කතාබහක කිරීමට රිසි වෙති. මත්පැන් පානයට ඉඩ ලදොත් මේ කතාබහ බොහෝ පුළුල්වට හා දුරදිගට යාම දැකිය හැකිය.
එසේ නැතත් ආහාර පාන ගන්නා අතර සතුටු සාමීචියේ යෙදීම බොහෝ විට සිදු වේ. මේ අතර දේශපාලනය ද, ආර්ථිකය ද, රටේ හැටි ද නායකයන්ගේ කෙරුවාවල් ද, තම තමන්ගේ ම පවුල්වල පෞද්ගලික ප්‍රශ්න ද තමන්ගේ දේවල් ද අනුන්ගේ දේවල් ද වල්පල් ද මේ ආදී විසිර පැතිර ගිය කතා ඇති වෙයි. ආහාරපානවල හොඳ නරක, ගුණ අගුණ, අගය කිරීම්, අනෙකා හෙළා දැකීම්, තර්ජනය කිරීම්, සමහර විට ගහ බැණ ගැනීම් දක්වා ද දුරදිග යයි. ආහාරපාන මේසය මත ද හැළෙයි. වීදුරු දපෙරළෙයි බිඳෙයි.
එසේ වුවද ඒ අවස්ථාවේ හැටියට එකතු වී මිතුරු වී ගිය හෝ සතුරු වී වෙන්ව ගිය හෝ අය ද ඔවුන් කළ කී දේ ද සියල්ල ම ඔවුන් යනවාත් සමඟ රැගෙන යනු ඇත. ඉන් පසු මේසය මත ඉතිරි වන ආහාරපාන ගැනීමේ දී හැළුණු ඉඳුල් සහ තෙත ගතිය ද පිස දමා ගත් පසුව යළිත් අලුත් අමුත්තන්ට දිය හැකි අලුත් තත්ත්වයට පත් වෙයි. එපමණක් නොව ඒ මේසය වටා සිටියේ කවුරුන් ද, ගැහැනුන් ද, පිරිමින් ද, ළමයින් ද දෙතුන් පිරිසම ද යැයි කියාවත් කාටවත් හඳුනා ගන්නට එහි කිසිදු සලකුණක් ඉතිරි නො වෙයි.
කවියා අවසන් කරන “ඇඟිලි සලකුණ” යනු පුද්ගලයකු හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැකි හොඳ ම දේ එය බැවිනි. කවියේ එන “අතන”, “මෙතන” මේසවලට ළංව සිටින අය බොමින්, දුම්වැටි උරමින් කතා කරන බවත් ඒ සියල්ල ම ඔවුන් ගිය පසු අවසන් වන සැටිත් කීමට සංක්ෂිප්තව වචන භාවිත කර ඇති සැටි පෙනේ.
කරුණාතිලක හඳුන්පතිරණ