
මැකී ගිය රන්බීර් නම යළි මතුවෙයි
සුරූපී ළඳකගේ ගෙල පෙදෙස ලස්සන වන්නේ රන් මාලයකින්. නමුත්, දීපිකා පදුකෝන් තම ගෙල පිටුපස ලස්සන කරගන්න හිතාගත්තේ වෙනත් ක්‍රමයකින්. හදවතට සමීප වුණු පෙම්වතාගේ නම සිතුවම් කරගෙන තමයි මේ සුපිරි නිළිය එලෙස ආකර්ෂණය දිනාගන්න වෑයම් කළේ.
දීපිකාගේ පෙම්වතා ජනප්‍රිය නළු රන්බීර් කපූර් බව රහසක් නොවෙයි. මේ පෙම්වතුන් දෙදෙනා ගැන විවිධාකාර පුවත් පසුගිය මාස ගණනාව තිස්සේ ඉන්දීය මාධ්‍යවල පළ වුණා. ඒ අතරින් කැපී පෙනුණේ රන්බීර්ගේ නම දීපිකාගේ ගෙල පිටුපස පච්චයක් ලෙසින් සිතුවම් කළ පුවතයි.
ඒත්, මෑතකදී එක්තරා සබන් වර්ගයක් වෙනුවෙන් නිර්මිත වෙළෙඳ දැන්වීමක පෙනී සිටි දීපිකාගේ සිරුර දිස් වූයේ ‘රන්බීර් පච්චය’ නොමැතිවයි. බංග්ලාදේශයේ රූපවාහිනී නාළිකාවක විකාශය වූ මේ සබන් දැන්වීම දුටු බොහෝ දෙනකු ප්‍රකාශ කළේ දීපිකා එය මකා දමා ඇති බවයි. සමහර අය කීවේ වෙළෙඳ දැන්වීම රූගත කරද්දී එම පච්චය නොපෙනෙන ලෙස කිසියම් දෙයක් ආලේප කර ඇති බවයි. තවත් සමහරු කීවේ එය පරිගණක තාක්ෂණික උපක්‍රමයකින් ඉවත් කර ඇති බවයි.
කොහොම වෙතත් මෙහි ඇත්ත නැත්ත දැනගන්නට උනන්දු වූ මාධ්‍යවේදීන් පිරිසක් දීපිකාගෙන් ප්‍රශ්න කළ විට ඇය තරමක නුරුස්සනා ගතියකින් පෙරළා ප්‍රශ්න කළේ, ‘ඒ ගැන දැනගන්න ඕනෙම ද?’ කියලයි. රන්බීර්ගෙන් මේ ගැන විමසූ විට ඔහු කීවේ...
‘ඒක තියාගන්නවද නැද්ද කියන එක දීපිකාගෙ වැඩක්. එයා දන්නව මොනවද කරන්න ඕනෙ කියලා.’ මීට පෙර 2014 දීත් ඇය මේ පච්චය ඉවත් කර සිසිල් බීම දැන්වීමකට පෙනී සිටි බවයි බොලිවුඩ් මාධ්‍ය පවසන්නේ.
මේ අයුරින් කතන්දර විසිරෙද්දී පසුගියදා පැවැති එක්තරා සාදයකට දීපිකා පැමිණ සිටියා. කවුරුත් ඈ දෙසට නෙත් යොමු කළා. විශේෂයෙන්ම, ඇගේ ගෙල පිටුපසට. කාටත් දැකගත හැකිවුණේ නොපෙනී ගිය රන්බීර් නාමය යළිත් එහි සටහන් වී ඇති අපූරුවයි. ඇය රන්බීර්ගේ නම මකා දමා නැහැ. වෙළෙඳ දැන්වීමට වෙස් ගන්වද්දී එය නොපෙනෙන ලෙස වසන් කර තිබුණු බවයි පසුව හෙළි වුණේ.
රාහුල් රෝයි නැවතත්
අනූව දශකයේදී ජනප්‍රියත්වයට පත්ව සිටි රාහුල් රෝයි ඔබට මතක ද? 1990 දී තිරගත වූ ‘ආෂික්වි’ චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඔහු, පසුගිය කාලයේ සිනමා රංගනයට එක්ව සිටියේ නැහැ. නළුවකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද ඉදිරියට ගමන් කළ රාහුල්, නැවතත් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නටයි සූදානම් වෙමින් සිටින්නේ.
“මම ටික කාලයක් ඉන්දියාවෙ හිටියෙ නැහැ. අවුරුදු නවයක්ම ඔස්ට්‍රේලියාවෙ හිටියා. 2015 දී මම තීරණය කළා ආපහු මගේ රටට ඇවිත් ප්‍රයෝජනවත් දෙයක් කරන්න. මට දැන් හිතෙන්නෙ සිනමාව වෙනුවෙන් මෙතෙක් මගෙන් ලැබුණු දායකත්වයට වඩා වැඩිමනත් දෙයක් දෙන්න ඕනෙ කියලයි.” රාහුල් මාධ්‍යයන් අමතමින් කියා සිටියා. ඉතින්, රාහුල් මොනවද බොලිවුඩ් සිනමාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ? “මම දැන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් ඉන්නවා. චිත්‍රපටයේ නම තමයි, ‘ද මැසේජ්’. දැනටමත් මෙහි ගීත පටිගත කර තියෙන්නෙ. ළඟදීම ඒ ගීත එළිදැක්වේවි. මේ චිත්‍රපටය මම කාලයක් තිස්ස හිතාගෙන හිටපු දෙයක්. මේ දවස්වල ‘වෙල්කම් ටු රෂියා’ කියල චිත්‍රපටයක රූගත කිරීම් කටයුතුත් රුසියාවේදී සිදු වෙනවා.” රාහුල් දැඩි සතුටකින් කීවා.
ආදර නටබුන්වලට බයවෙලා!
අතීත ආදර සැමරුම් යළි සිතුවම් පටයකින් එළිදැක්වීම මධුරි ඩික්සිත්ගේ නොසතුටට හේතු වෙලා. මේ සිනමා නිර්මාණය ප්‍රවීණ සිනමාකරු රාජ් කුමාර් හිරානිගේ. මෙයට තවමත් නමක් යොදා නැහැ. රූගත කිරීම් ආරම්භ කරලත් නැහැ. ප්‍රධාන නළු නිළි පිරිස නම් දැනටමත් තෝරාගෙන තිබෙනවා.
මෙහි ප්‍රධාන නළුවා සන්ජේ දත්. චිත්‍රපටයේ කතා තේමාව ගොඩනැඟෙන්නේ ඔහුගේ සැබෑ ජීවිතය පදනම් කරගෙනයි. සන්ජේගේ බිරිය මන්යාටා ලෙස රඟන්නේ ඩියා මිර්සායි. සෝනම් කපූර්, තුළින් මූර්තිමත් වන්නේ සන්ජේ පෙම්බැඳි ජනප්‍රිය නිළියන්. මෙන්න මෙතැනදී මධුරි ඩික්සිත්ගේ ජීවිතයේ සිදුවීම් ද සෝනම්ගෙන් නිරූපණය වීමට නියමිතයි. ඒ නිසා මධුරි, අධ්යක්ෂ රාජ් කුමාර් හිරානිට විරෝධය දක්වමින් පවසා ඇත්තේ තම සැබෑ ජිවිතයේ සිදුවීම් මේ චිත්‍රපටයට ඇතුළත් කර නොගන්නා ලෙසයි. ඇය එලෙස විරුද්ධ වී ඇති හේතුව පැහැදිලියි. (අනූව දශකයේ අතිශ්‍ය ජනප්‍රියත්වයට පත්ව සිටි මධුරි, සන්ජේ දත් සමඟ පෙම් සබඳකමක් පැවැත්වූ බවට තොරතුරු පුවත්පත් සහ සඟරාවල පළවී තිබුණා.) මධුරිගේ ඉල්ලීමට කන් නොදී සිටින්නට රාජ් කුමාර් හිරානිට හැකි වුණේ නැහැ. ඔහු මහත්මයකු ලෙස ඇගේ ඉල්ලීම ඉටු කරන්නට තීරණය කළා.
මධුරි මේ වන විට නර්තන ඇකඩමියක් පවත්වාගෙන යනවා. ඇය පවසන්නේ සන්ජේගේ සැබෑ ජීවිතය විවරණය කෙරෙන මේ චිත්‍රපටයට තමන්ගේ ජිවිත තතු මුසු කෙරෙන්නේ කොයි ආකාරයෙන්දැයි තමන්ට වටහා ගත නොහැකි බවයි.
මේ චිත්‍රපටයේ සන්ජේගේ මව වූ නැසී ගිය ප්‍රවීණ නිළි නර්ගීස්ගේ චරිතය ද ජීවමාන වෙනවා. එය නිරූපණය කරන්නේ මනීෂා කොයිරාලයි.