හඬට පෙම්බැඳි තරුණියන් ගෙදරටම සොයාගෙන ආවා | Page 3 | සිළුමිණ

හඬට පෙම්බැඳි තරුණියන් ගෙදරටම සොයාගෙන ආවා

දශක ගණනාවකට පෙර අපේ රටේ නිවේදක නිවේදිකාවන් පිළිබඳව ආවර්ජනය කිරීමේදී පළමුව මතකයට නැගෙන නමක් වෙයි. ඒ දශක ගණනාවක් තිස්සේ සුවහසක් ශ්‍රාවක සිත් සතන් සනහාලන ගැඹුරු කටහඬක් හිමි ධර්ම ශ්‍රී වික්‍රමසිංහය. වසර 38ක් ගුවන්විදුලියේ සේවය කර ගතකළ ජීවිතය හා බැඳුණු සිදුවීම් බොහෝ ඇති ධර්ම ශ්‍රී අමතක නොවන මතක පිළිබඳව ආවර්ජනයක යෙදුණේ මෙසේයි.

• කරුගේ හඬට පෙම් බැන්දා

අපේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කලා තුන් දෙනයි. ඒ කාලෙ අද වගේ ගෙවල්වල රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නෑ. අපේ ගෙදර තිබුණා පොඩි රේඩියෝ යන්ත්‍රයක්. කරුණාරත්න අබේසේකර මහතාගේ කටහඬ අහන්න ආස නිසාම වැඩිපුරම ගුවන්විදුලියට සවන් දෙනවා. ඔහුගේ හඬට පෙම් බැන්දා කිව්වොත් නිවැරැදියි. මම පාසල් ගියේ කොළඹ නාලන්දා මහා විදුහලට. මට මතකයි වයස අවුරුදු 12-15 වගේ කාලයේ සිට නිවේදන වෘත්තියට පිවිසෙන්න කොතරම් නම් ආස කළාද..? තාත්තා දුම් බොන්න ගේන දුම් වැටි අරගෙන ඒවා මයික්එක ලෙස අතේ තබාගෙන නිවේදනය කරනවා. මේ පුරුද්දට සමහරදාට තාත්තගෙන් බැනුම් අහන අවස්ථාවල් පවා නොතිබුණා නෙමෙයි. ටික කලක් යනකොට නිවේදක සිහිනය පසෙකට වී අද්වකාත් වරයකු වීමේ ලොකු ආසාවක් ඇතිවුණා. ඒකට හොඳට ඉගෙනගන්න ඕන කියල ටික දවසක් යනකොට තේරුණා. ඒ ආසාවත් යටපත් වී නැවතත් නිවේදක සිහිනය සැබෑකරගැනීමේ ආසාව ඉස්මතු වුණා.ඒ කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත්‍රිපාල, ආරියදාස පීරිස් වැනි නිවේදකයන්ගේ හඬට දැක්වු ආසාව නිසාමයි. වයස අවුරුදු 16දි විතර නිවේදක පාඨමාලාවක් හැදෑරුවා.

• ගුවන් විදුලියේ සහන නිවේදනයට

මගේ පොඩි අක්කා සේවය කළා සිලෝන් තියටර්ස් හි පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස. කරුණාරත්න අබේසේකර මහතාව අක්කාට එහිදී හමුවෙලා. මගේ නිවේදකයකු වීමේ ආසාව ගැන කියා තිබෙනවා. ඔය අතරෙදි අපේ පාසලේ තිබුණා ක්‍රිකට් තරගයක්. එය නරඹන්න ගිය අවස්ථාවක කරුණාරත්න අබේසේකර මහතා හමුවුණා. ඒ අවස්ථාවෙයි දැනගත්තෙ ඔහුත් මගේම පාසලේ ආදි සිසුවෙක් බව. අක්කාගේ නම කීවාම ඔහු මා හඳුනා ගත්තා. මම කීවා සරස්වතී මණ්ඩපයට මාවත් සහභාගි කරගන්න කියා. මට මතකයි ඉරිදා දවසක සවස 5.15 ට විකාශය කෙරෙන සරස්වතී මණ්ඩපයේ පළමු දවසේම පැමිණ සිටි නංගිලා මල්ලිලාගේ නම් ටික කියවන්න අවස්ථාව ලැබුණා. එහෙම ගුවන්විදුලියට සම්බන්ධ වී පසුව සහන නිවේදක තනතුර ලබාගන්න හැකිවුණා. කරුණාරත්න අබේසේකර කියන්නේ මගේ නිවේදන දිවියේ ගුරුවරයා. ඔහු නොසිටින්න ධර්ම ශ්‍රී වික්‍රමසිංහ කියන නිවේද‍කයා බිහි නොවෙන්න තිබුණා. මට මතකයි ඔහු මට නිතරම කීවේ ගුවන්විදුලියේ කතාකරන විට තමන්ගේ පෙම්වතියට කතාකරනවා කියා සිතාගෙන නිතරම කතාකරන්න කියන එක. එතුමාගේ ඒ උපදෙස ඒ විදිහටම පිළිපැද්ද නිසාම වෙන්න ඇති කාන්තා පිරිස වැඩිපුරම මා වටා සම්බන්ධ වී සිටින්නේ. ඇතැම් කාන්තාවන් මගේ හඬට පෙම්බැන්ද අවස්ථා පවා තිබුණා.

• වරායෙන් ගුවන් විදුලියට

1967 සහන නිවේදකයකු ලෙස ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වී වැඩ කරන කාලයේම වරාය සංයුක්ත මණ්ඩලයේද අනියම් ලිපිකරුවකු හා යතුරු ලේඛකයකු ලෙස සේවය කළා. ගුවන්විදුලියේ උදේ, දහවල්, රාත්‍රි ප්‍රවෘත්ති නිවේදනයත්, වෙනත් වැඩසටහන් ඉදිරිපත් කිරීමත් කරන ගමන්ම වරායේ රැකියාව කළා. ඔය කාලයේදි වරායේ දැවැන්ත සේවක විරෝධතාවක් ක්‍රියාත්මක වුණා. සල්ලිත් ඕන නිසා වරායට යන්නත් බැරි නිසා ගුවන්විදුලියේම සේවය කරමින් සිටියා. මට මතකයි දවසක් වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂවරයා මා නිවේදනය කරමින් සිටි මැදිරියට කඩා පැන අයිසේ... තමුසෙ වරායෙ ස්ට්‍රයික් කරන ගමන්ද මෙහේ වැඩකරන්නෙ කියා හයියෙන්ම අහල, නැගිටිනව...නැගිටිනව දැන්ම මෙහෙන් යනව කියල අණ කළා. මම කල්පනාකළා දැන් මොකද කරන්නේ කියා. පස්සෙ වරායෙන් ඉවත් වෙන්න තීරණය කළා. එයට මාස තුනක පඩිය රුපියල් 1050 ක් වරායට ගෙවන්න නියම වුණා. 1050 දඩය ගෙවා වරායේ රැකියාවට සමුදී ගුවන්විදුලි සංස්ථාවේ පූර්ණකාලීනව රැකියාව කරගෙන යන්න තීරණය කළා.

• දැන්වීම් කියවීම හරිම රසවත්

ගුවන් විදුලියට පූර්ණ කාලීනව සම්බන්ධ වීමත් සමගම 1971දි සහන නිවේදක තනතුරෙන් දෙවැනි ශ්‍රේණියේ නිවේදකයකු ලෙස උසස්වීමක් ලැබුණා. මට මතකයි ඒ කාලෙ වෙ‍ළෙඳ වැඩසටහන් කරන්න රට වටේ යනවා. 1970-77 සිරිමාවෝ මැතිනියගේ පාලන කාලයේදි අතුරු මැතිවරණයක් තිබුණා. මැතිවරණ ප්‍රතිඵල කියන අතරවාරයේ සජීවීව දැන්වීම් කියන්න මටත් පැවරුණා. අපි තුන්දෙනකුට වෙළෙඳ දැන්වීම් 50ක් විතර කියන්න සිදුවුණා. අපිත් එක්ක දැන්වීම් කියවන්න අලුතෙන් පත්කර සිටි නිවේදකයාට හරියට වචන උච්චාරණය කළ නොහැකියි. ඔහු එක දැන්වීමක් නිවේදනය කළ අයුරු මතක්වෙනකොට අදත් සිනා යනවා. 'අටා පිටි ලබා ගැනීමට ලංකා පිටි සංස්ථාවෙන් විමසන්න' කියන දැන්වීම ඔහු කියන්නේ 'ආතා පිති ලබා ගැනීමට ලංකා පිති සංස්ථාවෙන් විමසන්න' කියලා . අපිට හිනාව පාලනය කරගන්න බැරි තරම්. ඒ ගමන කරන්න දෙයක් නැතිව ගීතයක් පටිගත කළා. ඔය වගේ රසවත් සිදුවීම් රැසකටම ගුවන්විදුලියේදි මුහුණ දී තිබෙනවා.

• නිවේදනයට හොඳ ප්‍රතිචාර

2002 වසරේ ලක්බිම පුවත්පතේ තිස්ස ප්‍රේමසිරි කියන මාධ්‍යවේදියා ගවේෂණාත්මකව ලිපියක් පලකර තිබුණා. එහි සඳහන් කර තිබුණේ රට පතළ කළ අසන්නෝ කියායි. එනම් ඒ කාලේ වෙළෙඳ සේවයෙන් ගීත ඉල්ලීම් කරන ශ්‍රාවක පිරිසගේ නම් කියවනවා. ඒ නම් හැමදාමත් කියනවිට ඔවුන්ද මුළු රටේම නම පතල වු පිරිසක් වනවා. එලෙස අසන්නන් අසන්නන් හා සම්බන්ධව මිත්‍රකම් පවත්වනවා. ඒ තරමටම මා ඉදිරිපත්කළ වැඩසටහන ප්‍රසිද්ධයි. එසේම ඔහු එහි සඳහන්කර තිබුණේ එච්. ආර් ජෝතිපාලගේ ගීත අසන්නම ගායනයට පෙම්බදින පිරිසක් සිටිනවා වගේම ධර්ම ශ්‍රී වික්‍රමසිංහගේ නිවේදනයේ අලංකාරයට පෙම්බැඳි ශ්‍රාවකයන් පිරිසක්ද බිහිව සිටින බවයි. එම ලිපිය පළවු දවසේ එය කියවූ විට දැනුණ සතුට වචනයෙන් කිව නොහැකියි.

• පිනි මුතු පලසට සම්මාන

ජයන්ත පීරිස් මහතා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවා අධ්‍යක්ෂකව සිටයදී අපිට පුදුමාකාර නිදහක් ලැබුණා වැඩසටහන් හොඳින් කරගෙන යන්න. ඒ කාලෙ 'පිනි මුතු පලස' වැඩසටහන කළේ මම සහ කුසුම්. අප දෙදෙනා ඒ වැඩසටහන හරිම තාත්විකව කළා. අසන්නන් විශාල පිරිසක් අප වටා බැදී සිටියා. ගුවන්විදුලියට අවුරුදු 70ක් පිරුණ දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගුවන් විදුලියේ ජනප්‍රියම නිවේදකයෝ (1995) තේරීමේ තරගයෙන් මමත් කුසුම් පීරිස් මහත්මියත් තේරුණා. 1997 රස සම්මාන උළෙලේදි දිවයිනේ ජනප්‍රියම නිවේදකයා වුයේ මම සහ කුසුම් පීරිස්ගේ දුව තමාලි පීරිස්. එදාත් මට හරිම සතුටක් දැනුණා මට, මව සහ දියණිය සමග නිවේදනය කර එකම සම්මානයම දිනා ගැනීමට හැකි වීම ගැන. මට ඒ අවස්ථාවෙදි හැඟුනේ පරම්පරා දෙකක ශ්‍රාවකයන් පිරිසක් මගේ නිවේදනය අගයකරන බවයි.

• කැඩුණු රේඩියෝව හදාගන්න ඇවිත්

මගේ තාත්තාගේ ගම හොරණ දඹර. තාත්තාගේ ඥාතිවන ගොවිමහතකු සිටියා ලැන්ටි සිංඥෝ කියලා. දවසක් සවස වැඩ ඇරී ගෙදර එනවිට ලැන්ටි සංඥෝ මාමා ඇවිත් ඉන්නවා මාව හමුවෙන්න. ඇයි කියලා ඇහුවම මහත්තයා මගේ රේඩියෝ එක කැඩිලා හදාගන්නයි ආවෙ කියල ගෝනි බෑග් එකක දමා තිබු රේඩියෝව එළියට ගත්තා. ඒගමන මම කිව්වා මම‍ගුවන් විදුලියේ වැඩ කළාට රේඩියෝ හදන්න දන්නෙ නෑ. මම කරන්නෙ නිවේදනය විතරයි කියල. අනේ පව් ආපහු අර රේඩියෝව මල්ලට දාගෙන ගිය හැටි මට අදත් මතක්වෙනවා.

• අසන්නියන් ‍ගෙදරටම සොයාගෙන ආවා

මගේ බිරිය චන්ද්‍ර රාජපක්ෂ. ඇයත් ගුවන්විදුලියේ යතුරු ලියන්නියක් ලෙස සේවය කළා.අප දෙදෙනා හමු වුයේ ගුවන්විදුලියේදි. ඇය මාව තේරුම්ගත් බිරියක්. කිහිප අවස්ථාවකදිම අසන්නියන් මා සොයාගෙන අපේ ගෙදරටම ඇවිත් තියෙනවා. වරක් එක්තරා කාන්තාවක් ඇවිත් ධර්ම ශ්‍රී ඉන්නවද කියා බිරිඳගෙන් අහල ඇය නෑ කී විට මම තමයි එයා ගේ පෙම්වතිය එයා ගුවන්විදුලියෙන් කතාකරන්නෙ මට කිව්වලු. චන්ද්‍රා එයාට තේරුම්කරල යවල තිබුණා. ඔය වගේ සිදුවීම් වු වාර බොහෝමයි. අප දෙදෙනා හොඳින් තේරුම්ගත් යුවළක්. පුතා නවෝද් ධනුෂ්ක ඔහු ඕස්ට්‍රේලියාවෙ රැකියාව කරනවා. දුව උරේෂා රවිහාරි විවාහව සිටින්නේ වෛද්‍යවරයෙක් සමග. ඇයට වයස හතරහමාරක පුතෙක් ඉන්නවා. පුතා හැම වෙලේම කියන්නෙ සීයා වගේ නිවේදයෙක් වෙනවා කියා. අපි දැන් සීයා, ආච්චි වෙලා. අපේ දැනුම මතු පරම්පරාවට දිය යුතු නිසා අවුරුදු 13ක් තිස්සෙ නිවේදක පාඨමාලාවක් කරගෙන යනවා. හොඳ නිවේදක පරපුරක් බිහිකිරීමයි මගේ බලාපොරොත්තුව. 

 

Comments