
රන්මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඬක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ
මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි
රෑ පුරා දැල්වී තියේ
සැබැවින් ම රණවිරුවන් යනු රටක ශක්තියයි.රට රකිනා මුර දේවතාවුන් ඔවුන්ය.රට වට කොට බැඳි ආරක්ෂක රන්වැට ඔවුන්ය.
යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදා මේ රට රකිනා විරු පරපුරය.
දශක තුනකට අධික කාලයක් අපේ රට වෙලාගෙන තිබුණු කුරිරු ත්‍රස්තවාදය නිමා කර, රට බේරාගන්නට, රට නිදහස් කර ගන්නට සිය ඇස්, ඉස්, මස්, ලේ මෙන්ම ප්‍රාණ පරිත්‍යාගයෙන් කටයුතු කළේ මේ රණවිරවන්ය.
මානුෂීය මෙහෙයුමක් දියත් කොට උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදයෙන් බේරාගත් ඒ ඓතිහාසික යුද ජයග්‍රහණ සැමරුම පසුගියදා අති උත්කර්ෂවත් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දශක තුනකට අධික කාලයක සිට පැවැති ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා දියත් කළ මානුෂීය මෙහෙයුමේදී නාවික හමුදාව සයුරේ සිටත් ගුවන් හමුදාව ගුවනේ සිටත් සිය දායකත්වය දක්වද්දී ගොඩබිම මෙහෙයුම් කරමින් එල්ටීටීඊ ත්‍රස්තවාදය නිමාකිරීම සඳහා ඍජු දායකත්වයක් දරනු ලැබුවේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවයි.
මව්බිමට නිදහස උදාකරදෙනු පිණිස කළ එම සටන් වලදී පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරීන් 141 ක් සහ සෙසු නිලයන් 3144 ක පිරිසක් ජීවිත පරිත්‍යාග කළ අතර තවත් නිලධාරීන් 19 ක් හා සෙසු නිලයන් 456 ක් අතුරුදන්ව ඇත. එසේම තවත් සැලකිව යුතු නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් කාය දානය කර තිබේ.ඔවුන් සිය ජීවිත පුජාවෙන් පාබල හමුදා ඉතිහාසය වර්ණවත් කර තිබේ.ඒ අභිමානනීය යසෝගුණය විසින් දේශය සිය ආයු බල, ඔද තෙද වඩවා ගත්තේය.සිය දහස් ගණන් සතුරු උණ්ඩ රණබිම පුරා නැගෙද්දීත් සිය අභීත භාවයම පතුරවමින් වීරයන් පෙළගැසී ඉදිරියටම ඇදුනේය. පාබල බල මුළු රණ දෙරණේ තබන පා සටහන, ඉදිරියේ අඩි සලකුණු මිස එහි පසුපස පියවරක් නොතිබුණි.මානුෂික මෙහෙයුම පුරාම සිය වීරත්වයේ සලකුණු නොමැකෙන්නට සිතියම්ගත කළ ඒ පාබල බලමුළු වල වීර ගුණෝපිතයට ජාතියේ සදාකාලික උත්තමාචාරය පුදකරනු සඳහා පනාගොනඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පරිශ්‍රයේ ‘අභිමන් මුදුනත‘ නම් රණවිරු ස්මාරකයක් ඉදිකර තිබේ.
අප අද මේ ඔබ සමඟ පියමන් කරන්නේ එම අභිමන් මුදුනත පිළිබඳ තොරතුරු ඔබට කියන්නටය. මේ සඳහා අපට අවස්ථාව සලසාදුන්නේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේනා විධායක බ්‍රිගේඩියර් එම්.එම්. කිත්සිරි මහතා විසිනි. අපට අවශ්‍ය තොරතුරු සපයමින් අප එහි කැඳවා ගෙනගොස් සම්බන්ධීකරණ කටයුතු කළේ මේජර් එන්.එම්.ජී.කේ.සී. නෙත්තිකුමාර රණවිරුවා විසිනි.
පනාගොඩ යුද්ධ හමුදා පරිශ්‍රෙය් පිහිටා තිබෙන නිල් අහස් කුස අරා නැගී සිටින මෙම අභිමන් මුදුනත පිළිබඳ අදහස ඉදිරිපත් කර ඇත්තේ හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා විසිනි. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ. ඩබ්ලිව් ජේ.සී.ද සිල්වා මහතා එය මෙලෙස යථාර්ථයක් බවට පත්කරන්නට අවශ්‍ය මඟපෙන්වීම සිදුකළ අතර වරලත් වාස්තු විද්‍යාඥ ජයම්පති හේරත් මහතාගේ සැලසුමකට අනුව පාබල රෙජිමේන්තු අධිපති මෙජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා විසින් මෙම අභිමන් මුදුනත ඉදිකිරීම ක්‍රියාන්විතයක්සේ ගෙන සිය මෙහෙවර ඉටු කළේය.
මව්භූමියේ මුර දේවතාවන්වූ රණ විරුවෝ සිය කය මේ පොළොවට පස් කළේ අභිමානය මිට මොලවාගෙනය. ඔවුහු සිය සුසුම් අවකාශයට මුදා හැරියේ මව්බිමට අනාගතයේදී නිදහසේ හුස්ම ගැනීමටය.පොළොවේ මිහිදන් වූ වීර සිරුරක සහ අවකාශයේ සැරිසරනා ධීර සුසුම එක්තැන් කිරීම සංකේතවත් කරමින් පොළොවතුළින් මතුව අහස දක්වා අභිමන් මුදුනත සිය වපසරිය දිගහැර තිබේ.මිහිකත සිපගත් වීර දේහයන්ගේ ගුණය පාදමෙන් මතුව, තඹ තහඩුවෙන් නිමැවූ ඝනකයක් ඔස්සේ මතුපිටට පැමිණෙයි.මහ පොළොවේ සිපගත් වීරයන්ගේ සිරුර සහ ගගනතේ පාවෙන ඔවුන්ගේ සුසුම එක්කිරීමේ සජීවී යාන්ත්‍රණයක් ලෙස,අජීවී ද්‍රව්‍යයන් එක්වී ඉදිවන අභිමන් මුදුනත ක්‍රියාකරනු ලබයි.
අහස් කුස අරා හිඳිනා මෙම ස්මාරකයේ සිව් දෙසින් ඇති ත්‍රිකෝණාකාර කුලුන සතර අර්ථවත් කරනුයේ සිව් දෙසින් නැගී ආ වීර පරපුරය.කුලුන වෙත පිය නඟන මගෙහි පියගැටපෙළ මට්ටම් හතරකින් යුක්තව ඉදිකොට ඇත්තේ සෙබළකු සතු සතර බ්‍රහ්ම විහරණ පෙන්නුම් කිරීමටය.මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සෙබළා විසින් කිසිවිට අත් නොහරින ගුණාංග ඒකරාශිවීම සෙබළ වීරත්වයේ පදනමය. ඒ ගුණාංග ඇසුරෙන් වීරත්වය උපදිනා අයුරු,අදියර හතරකින් කුලුන වෙත ගමන් කරන පියගැටපෙළ කියාපායි.සිංහ මුරගල් විසින් රකිනා අභිමානය මුලින්ම සටහන් වී ඇත්තේ වීර පියසකට මග විවර වන බව එයට ඇතුළු වන සැමට කියාපාමිනි.
මුදුනතෙහි නෙත් නොහෙලා බලා සිටින සිංහ රූප සතර දිශා සතර දෙස නෙත් යොමා සිටින්නේ සූදානමිනි.ඈත දිසා දෙස බැලුම් හෙලනා සිංහ රූ අට දේශයට නිරතුරුව රැකවල්ලා සිටින අභීත සෙබළා සේය.මේ උපහාරය ඒ සූදානම වෙනුවෙනි.
මෙහි බිත්තිය හැඩකර ඇත්තේ කාලතුවක්කු උණ්ඩ කොපු සෙබළ දෑතින් තලා සකස් කළ තඹ තහඩු වලිනි.
ස්මාරකයට අභ්‍යන්තරයට පිවිසීමට ඇති උමං මාර්ගයේ දෙපස බිත්තිවල ඉතිහාසයක් පුරා වීරයන් මේ දේශය වෙනුවෙන් කරන ලද යුද්ධ සහ එම ජයග්‍රහණ මූර්ති ආකාරයෙන් සටහන් කර තිබේ.රාවණ, ගැමුණු, විජයබා වැනි ඉතිහාසයේ අභිමානයෙන් ලියැවුණු වීර පරපුරේ සටන් සහ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණ හමුවේ සටන් වැදුණු වීරයන් ගේ කතාව මුල් අදියරේත්, මානුෂීය මෙහෙයුමේදී ජාතිය නිදහස් කරගත් වීර සෙබළ චරිතය දෙවැනි අදියරේත් දකිද්දී අපේ විරුවන් පිළිබඳව සිතට ගෞරවයක් කාවැදේ.
එතැනින් ඇතුළුවන්නේ මෙහි අභ්‍යන්තරය වෙතය.සුදු පැහැ වර්ණයෙන් යුත් මෙම සීමාව සියුම් දෝංකාරය රැඳි පියසකි. මෙය වීරයන්ගේ ආත්ම සැරිසරන කලාපයයි. රාවණා, ගැමුණු, විජයබා, ගජබා, කැප්පෙටිපොළ ආදී සියලු සිංහල වීර ආත්මයන් සමඟ නූතන වීර ආත්මයන් ගැවසෙන මෙම කලාපයේ පාබල බළඇණියෙන් සටන් බිමට ගොස් ජීවිත දානය කළ වීරමුලුවේ නාමයන් සියල්ල ශිලාලේඛන ගත කර පිහිටුවා තිබේ.
මෙයින් පසුව පිවිිසෙන්නේ සෙබළ ජීවිතයේ පිය සටහන් මූර්තිමත් කරන කොටස වෙතය. දරුවකු, සිසුවකු, සෙබළකු සිට ඔහුගේ විවාහය, දරු පවුල, මිත්‍ර සන්ථවය ආදි සියලු ජීවන අවස්ථා මූර්තියෙන් සහ චිත්‍ර යෙන් මෙහි නිරූපණය කර තිබෙන්නේ සාමාන්‍ය දරුවකු ලෙස බිහිවන මිනිසකු ජීවිතයේ ප්‍රාථමික අවධිය ගතකර ඉතිහාසයක් නිර්මාණය කරන වීරයකු වන ආකාරයයි.
කාය දානය කරන ලලද පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම වීරයන්ගේ කතාව සිනමාගත කරන ලද ස්ථානයක් ද මෙම අභිමන් මුදුනත අභ්‍යන්තරයේ පිහිටුවා තිබේ. එය පසුකළ පසු අපට ඇතුළු විමට ඇත්තේ තවත් සෙබළ මතක සටහන් රැසක් ඇති තැනකටය. සෙබළ බංකරය රණවිරුවාගේ ආරක්ෂාකාරී නවතැන් පොළ වූවා පමණක් නොව ඔවුන්ගේ නිර්මාණ සනිටුහන් වුණු කැටපත් පවුර ද විය. සතුරා අභිමුව විමසිලිමත් දෑසින් සිටිනා අතරේම සිය ජීවන හැඟුම් ප්‍රකාශ කළේද එහිය. කවියෙන් සිතුවමෙන් තම ජීවිතයේ අදහස කියා පෑ ඒ නිර්මාණ පිටපත් කර මෙලෙස එක්තැන් කර තිබෙන්නේ එම නිර්මාණශීලිීත්වයට උපහාරයක් පිණිසය.
මෙතැනින් අප නික්මෙනුයේ බිම් මහලේ අවසානය වෙතය. එම දොරටුව අභිමුව පෙනෙනුයේ තඹ පැහැ යෝධ නෙළුම් මලකි. ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් ජීවිත, සතා සිව්පාවා, ගහකොළ ගලවා ගනිමින් වීරයන් රණබිම් වැද සිය ජීවිතය දේශය වෙනුවෙන් පූජාකළ උදාරභාවය පතරොම් තහඩුවෙන් නිමැවූ තඹ අරවින්දයක් ලෙස යුද්ධ භූමිය නමැති කලල් දියෙන් මතුවීම මෙයින් සංකේතවත් කරයි.
මෙවැනි උදාර රණවිරුවනට ජාති, ආගම්, කුලමල භේදයකින් තොරව අප සැවොම හිස නමා ආචාර කළ යුතුවෙයි. කාල තුවක්කු උණ්ඩ තහඩුවෙන් තැනුණු හිස් එලෙස හිසනමා පුද දෙන ලෙස නිර්මාණය කොට ඇති අයුරු දකින අපගේ හිස් ද පහතට බරවී යන්නේ නිතැතින්මය.
මෙම අභිමන් මුදුනතට පිවිස රණවිරුවනට ප්‍රණාමය පුදකරන්නට ඔබටත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේනා විධායක බ්‍රිගේඩියර් එම්.එම්. කිත්සිරි මහතා පනාගොඩ හෝමාගම ලිපිනයට ලිපියක් මඟින් ඉල්ලීමක් කර හෝ 0766907385 යන දුරකතන අංකයෙන් එතුමා ඇමතීමෙන් අවස්ථාව ලබාගත හැකිය.
විශේෂ ස්තූතිය-මාධ්‍යවේදී චරිත් කිරිඇල්ල මහතාට