
අබ්දුල් කලාම් යන නාමය නොහඳුනන කෙනෙක් නැති තරම්. මිසයිල මිනිසා ලෙසින් ඉන්දියානුවන් හඳුනන ආචාර්ය A. P. J. අබ්දුල් කලාම් යනු ඉන්දියාවේ සිටි හොඳම ජනපතිවරුන් අතරින් එක් පුද්ගලයෙකි. ඉන්දියාවේ මිසයිල හා අභ්‍යවකාශ තාක්ෂණයේ පුරෝගාමියා වූ මොහුගේ නම නැවත වරක් පසුගිය සතියේ අන්තර්ජාලය මඟින් ලොව පුරා කතාබහට ලක් වුණා. ඒ ‘කලාම් සැට්’ (Kalam SAT)’ එනම් කලාම් චන්ද්‍රිකාව නිසා. තව නොබෝ දිනකින් අභ්‍යවකාශ ගතවීමට නියමිත කලාම් සැට් ගැන තමයි අද මෙම පිටුවෙන් ඔබ වෙත කරුණු රැගෙන එන්නේ.
18 හැවිරිදි රිෆාත් ෂාරුක් විසින් නිර්මාණය කර තිබෙන මෙම චන්ද්‍රිකාව ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව විය හැකි බව සියලු දෙනාම පවසනවා. සෙන්ටිමීටර 4ක දිගින් යුතු ඝනකයක් වන මෙම චන්ද්‍රිකාවේ බර ග්‍රෑම් 64 ක් වන අතර එය ඔබගේ සාක්කුවේ තිබෙන ජංගම දුරකතනයටත් වඩා බරින් අඩු වීම මෙහි තිබෙන විශේෂත්වයයි.
මෙම චන්ද්‍රිකාව රිෆාත් හා ඔහුගේ කණ්ඩායම නිපදවා තිබෙන්නේ ඇමෙරිකාවේ NASA ආයතනය හා අධ්‍යාපන සංවිධානයක් වන I Doodle Learning සංවිධානය එක්ව පැවත් වූ “Cubes in Space” නම් පාසල් දරුවන් සඳහා ඝනක හැඩැති චන්ද්‍රිකා නිර්මාණය කිරීමේ තරගයක් සඳහායි. රටවල් 57 ක නිපදවූ චන්ද්‍රිකා 86000 ක් අතරින් තෝරාගන්නා ලද චන්ද්‍රිකා 80 අතරට මෙම කුඩා චන්ද්‍රිකාව තේරීපත්ව තිබෙන්නේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රිෆාත්ගේ සියලු සිහින සැබෑ කරමිනි.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව ප්‍රාන්තයේ ‘පල්ලපාටි’ නම් නගරයේ ජීවත් වන රිෆාත් ෂාරුක් Space Kidz India නම් චෙන්නායි හි පිහිටි අධ්‍යාපන හා නව නිපැයුම් සංවිධානයක ප්‍රධාන විද්‍යාඥයා ලෙසින් කටයුතු කරනු ලබයි. මෙම තරගයට ඔවුන් සහභාගි වී මෙසේ ජයග්‍රහණය කර තිබෙන්නේ රිෆාත් හා කණ්ඩායමේ සාර්ථකත්වය ලොවටම විදහා පාමිනි.
“Cubes in Space” වැඩසටහනේ නිර්මාතෘ වන ඇම්බර් ඇගී-ඩිහාට් මෙම කුඩා චන්ද්‍රිකාව ලබන මස ( ජූනි) 22 වැනි දින NASA ආයතනය සතු වර්ජිනියා ප්‍රාන්තයේ වැලොප් දූපතෙහි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් SR-4 නම් පර්යේෂණ රොකොට්ටුවෙන් අභ්‍යවකාශ ගත කරන බවයි.
3D මුද්‍රණ තාක්ෂණය භාවිතා කරමින් කාබන් තන්තු (Carbon Fibre) නම් අමුද්‍රව්‍යයෙන් නිර්මාණය කර තිබෙන මෙම කුඩා චන්ද්‍රිකාව තුළ කුඩා පරිගණකයක් හා ත්වරණය, භ්‍රමණය, විකිරණශීලිතාවය වැනි දත්ත ලබාගත හැකි සංවේදකයන් 8 ක් සවි කර තිබේ. කෙසේ වුවත් මෙම චන්ද්‍රිකාව පූර්ණ කක්ෂගත කිරීමකට ලක් නොවන අතර උප කක්ෂයක මිනිත්තු 12 ක් ඌන ගුරුත්වය යටතේ දත්ත ලබා ගැනීම සිදු කරනු ලබයි.
NASA ආයතනය මෙම මෙහෙයුමෙන් බලාපොරොත්තු වන්නේ රොකට්ටුවක් කක්ෂගත කිරීමේදී හා ඌන ගුරුත්ව තත්ව යටතේ 3D මුද්‍රණ තාක්ෂණයෙන් නිපදවූ චන්ද්‍රිකාවක හැසිරීම හා තත්වය නිරීක්ෂණය කිරීමයි. රිෆාත් හට මෙම චන්ද්‍රිකාව නිපදවීමට ඉන්දීය රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලක් වැයවීම මඟින් පෙනී යන්නේ මෙම ක්‍රමය සාර්ථක වුවහොත් එය අඩු වියදම් අභ්‍යවකාශ පෙරළියක ඇරැඹුම සනිටුහන් කරනු බවයි.