
සටන් කලාව පාදක කරගෙන තැනෙන සිනමා නිර්මාණ දක්නට ලැබෙන්නේ කලාතුරකින්. සටන් කලාවත්, ප්‍රේමය, විරහව මේ හැමදේම එක්කාසු කරගෙන අලුත්ම කතා තේමාවක් යටතේ නිර්මාණය වන චිත්‍රපටයක් ලෙස ප්‍රවීණ කලාකරු සේනක විජේසිංහගේ නවතම සිනමා නිර්මාණය ‘මේඝ ‘හඳුන්වන්න පුළුවන්. කලකට පසුව සේනක සමඟ දිග හැරෙන මේ කතාබහට නිමිත්ත වනුයේද ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය “මේඝයි.”
• නවතම සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්නට ඔබ සූදානම්?
ඔව්. ‘මේඝ‘මගේ ප්‍රථම සිනමා නිර්මාණය. මෙය මගේම කතා සංකල්පයක් අනුව නිර්මාණය වූවක්. දැනට වසර දෙක හමාරක් තිස්සේ මෙහි තිර පිටපත සුගත් පතිනායක විසින් රචනා කළා.
• මේ නිර්මාණයට වසර දෙකහමාරක් වැනි කාලයක් ගත කළේ ඇයි?
මේ නිර්මාණයට හිතේ අවශ්‍යතාවය තිබුණත් අවුරුදු දෙකක්ම මම ලංකාවේ හිටියේ නැහැ. මම අබුඩාබි තානාපති කාර්යාලයේ සේවය කළේ. ඒ වසර දෙකක කාලය මමත් මගේ මිතුරා පතිනායකත් වෙහෙසුනේ තිර පිටපත අපූර්වත්වයෙන් යුතුව රචනා කිරීමටයි.
• ඔබ කලා ක්ෂේත්‍රයට එක් වන්නේ සටන් නළුවෙක් ලෙසයි?
මගේ ගම් ප්‍රදේශය නුවර. පාසල් සමයෙන් පසුව මම නුවර සටන් කලා පන්ති ඇරැඹුවා. ‘ජිට් කුණ්ඩෝ‘, ‘බෘෘස්ලී‘ සටන් පන්තිවලට බොහෝ පිරිසක් එක් වුණා. මේ සටන් කලාව කලවට සිනමාවට ගෙන එන්න ඕන කියන සිතුවිල්ල එදා මගේ හිතේ තිබුණා. එය ක්‍රියාත්මක කිරීමට නම් මම සිනමා කලාවට සම්බන්ධ විය යුතුයි කියන අවශ්‍යතාවය ඇතිවුණා. ඒ වෙන කොට කපිල කුමාර කාලිංග මහත්මයා පදිංචිව හිටියේ අපේ ගෙවල් ළඟ. මම ඔහුව හොඳින්ම දන්නවා. ඔහුගේ ඇසුර මට කලා ලොවට එක් වෙන්න පහසු කළා. ඒ අනූව මම කපිල අයියා සමඟ 1990 දී පමණ කොළඹට එනවා. ඔහු නිර්මාණය කළ ඒකාංගික ටෙලි නාට්‍යවලට මම සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ඒ අනුව 1994 දී ජයන්ත චන්ද්‍රසිරි මහත්තමයාගේ දඩුබස්නාමානය ටෙලි නාට්‍යයට මම රංගනයෙන් එකතු වුණා. එ් චරිතය ඔස්සේ මාව රටම දන්නා සටන් නළුවෙක් බවට පත් වුණා. මේ විදිහට ටෙලි නාට්‍ය , සිනමා නිර්මාණවලට මම දායක වුණා. 2000 වසරේ දී මගේ ම නිර්මාණයක් කරමින් අධ්‍යක්ෂණයට පිවිසුණා. ඒ සිහින තොටුපොළ නාට්‍යයයි.
• ඒ නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබුණාද?
ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉහළින්ම ලැබුණා. ඒත් ක්ෂේත්‍රයේ සමහර ප්‍රවීණයන් මට හිනා වුණා. කලාවට ආපු ගමන්ම අධ්‍යක්ෂකවරයෙක් වෙන්න හදනවා කියලා. මම අධ්‍යක්ෂණයට අත තිබ්බේ ආවට ගියාට නෙවෙයි. අධ්‍යක්ෂණය කියන භාරධූර කාර්යය පිළිබඳව හොඳින් දැනුම්වත්ව වගේම ක්ෂේත්‍රයේ අත්දැකීම් මතයි. අධ්‍යක්ෂණයට මා සුදුසුයි කියන දේ මා තුළින්ම මම තේරුම් ගැනීම මතයි මේ ආගමනය සිදු වුණේ.
• සිහින තොටුපොළෙන් පසුව ඔබ තවත් ටෙලි නිර්මාණ සඳහා දායක වෙනවා?
මේ නාට්‍යයෙන් පසුව ක්ෂේත්‍රෙය් සමහර අධ්‍යක්ෂවරුන් මාව නිර්මාණ සඳහා යොදා නොගත්ත තරම්. නමුත් ලෙස්ටර් ජේම්ස් පීරිස්, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනී වගේ ප්‍රවීණයන් මාව ඔවුන්ගේ නිර්මාණවලට දායක කර ගත්තා. මම හැමවිටම මට භාර දෙන චරිතය උපරිම කැපවීමකින් කරන කෙනෙක්.
• මේඝ චිත්‍රපටයේ කතා තේමාව ගැනත් දැන ගන්න කැමැතියි?
මේ චිත්‍රපටයට පාදක වෙන්නේ සමාජයේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන නායකයෙක් සහ දුෂණ වංචාවලට සෘජුව මැදිහක් වන අවංක පොලිස් නිලධාරියෙක් වටා ගෙතෙන කුතුහලයෙන් පිරුණු කතාවක්. එයට ආදරය, විනෝදය හැමදේම ඇතුළත් වෙනවා.
ඇයි මෙවැනි චිත්‍රපටයක් කරන්නට ඔබ අදහස් කළේ?
සටන් කලාව මගේ ඇඟේ තිබෙන දෙයක්. සටන් කලාව අළලාත් සිනමා රැල්ලක් ඇතිවෙනවා නම් මම සතුටුයි. ඒ වෙනුවෙන් මට හිතුණා සාමාන්‍ය මට්ටමේ මිනිසුන්ට රසවිඳින්නට පුළුවන් හොඳ වාණිජ මට්ටමේ සටන් කලාව ආශ්‍රිත නිර්මාණයක් එළි දක්වන්න. එය සැබෑ කිරීමයි මගේ උත්සාහය.
• ඔබ යම් කාලයක් කලා කටයුතුවලින් දුරස්ව සිටියා?
ඔව්. වසර දහයක් එකොළහක් පමණ කාලයක්. 2006 වසරේ දී නොහිතපු ලෙස මට රිය අනතුරකට මුහුණපාන්නට සිදු වුණා. ඒ අනතුරින් මගේ කලා ජීවිතය වසර දහයක් ආපස්සට ගියා. ඒ ආපස්සට ගිය වසර ගණන මේ වසරේ දී මගේ කලා නිර්මාණ ඇසුරින් පුරවා ලන්නයි මම උත්සාහ කරන්නේ.
• ඒ කියන්නේ ඔබේ හිතේ තවත් කලා නිර්මාණ රැසක් තිබෙනවා?
මේ චිත්‍රපටයෙන් පසුව වෙනස්ම ආකාරයක කතා තේමාවකින් යුතු ළමා චිත්‍රපටයක් නිර්මාණය කරනවා. එය තමයි ඊළඟ නිර්මාණය වන්නේ.
• ඔබ නවක නිර්මාණ කරුවනට දෙන පණිවිඩය කුමක්ද?
මම කියන්නේ චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු නිම වෙන තෙක් ඒ නිර්මාණයේ නිෂ්පාදකවරයා කවුරුන්ද යන එක හෙළි කරන්න එපා. මොකද කලා ක්ෂේත්‍රයේ සිටින සමහර මහා ශ්‍රද්ධ්‍රාවන්තයින් එක එක චරිත සහතික අධ්‍යක්ෂවරයා ගැන නිෂ්පාදකවරයාට දෙන්නට පටන් ගන්නවා. ඒ වගේම මේඝ චිත්‍රපටයෙන් පසුව මං වෙනුවෙන් චරිත සහතික දුන් එවැනි කිහිප දෙනෙක්ම හමුවෙන්නට මම බලාපොරොත්තු වෙනවා.