
සාහිත්‍ය නිර්මාණය සහ විචාරය අධ්‍යයනයෙහි දී අනුකරණය හා ආභාසය නමින් වචන දෙකක් හමුවේ. අනුකරණය වැරදි ය; ආභාසය යහපත් ය. අනුකරණයෙන් සාහිත්‍ය මග කිලිටි කර ගත්තෝ අපට හමුවෙති. ඒ අතර ආභාසය මනා එළියක් බවට පත් කර ගනිමින් සාහිත්‍ය ප්‍රදීපය දල්වන්නෝ ද සිටිති. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගද්‍ය රීතිය විමසන විට පෙනෙනුයේ ගැමි වහර හා ගත් වහර මුසුවෙන් පදම් වූ අදීන රීතියකි. ජාතක පොත, සද්ධර්මරත්නාවලිය හා අමාවතුර යනාදී ගද්‍ය මූලාශ්‍රවල ආභාසය ද කැපී පෙනේ. බෞද්ධ සාහිත්‍යය නූතන සාහිත්‍යකරුවන්ට මනා ආභාසයක් ලැබිය හැකි සාහිත්‍ය මූලාශ්‍රයකි. මානව බන්ධුතාවල ගම්භිර බව, දාර්ශනික චින්තා, උපමා රූපකාලංකාර, මනෝ චෛතසික ප්‍රභේද යනාදී වශයෙන් ආභාසය ලැබිය හැකි පැති මාන ගණනාවකි. මෑත අවධියෙහි සාහිත්‍ය කාර්යයන් සඳහා සූත්‍ර පිටකය නැවත පරිශීලනය කරද්දී මෙහි අගය මා හට වඩාත් හොඳින් වැටහිණ.
විවිධ සූත්‍රවල ඇති උපමාලංකාර නූතන නිර්මාණකරුවාගේ සාහිත්‍ය චින්තා පුබුදුවන සුලු ගම්භීර බවකින් යුක්ත ය. නිදසුන් කිහිපයක් දක්වමි. සූත්‍ර පිටකයෙහි ඇතැම් සූත්‍රවල අලංකාර වෙසෙස් කොට ගනිමින් අරුත් නොමරා කාව්‍ය චින්තා හැටියට මෙහිදී ඉදිරිපත් කෙරේ.
භික්ෂුව
තම කෙලෙස් දූවිලි
ගසා දමයි
පක්ෂියකු
තටුවල ඇලුණු දූවිලි
ගසා දමන්නා සේ
මෙය අපූරු චින්තාවකි. කෙලෙස් තවනු වෙනුවට කෙලෙස් වඩන භික්ෂූ ප්‍රතිරූපවල නූතන ස්වරූපය අනුව මෙය ජීවනාලංකාරයකි.
භික්ෂුව
සැතකින් පහර ලද්දකු මෙන්
හිස ගිනි ගත්තකු මෙන්
අසද්දෘෂ්ටීන්
බැහැර කරනු පිණිස
සිහියෙන්
විසිය යුතු ය
(වන්දන සූත්‍රය)
සැතකින් පහර ලද්දකු හට එක තත්පරයක් හෝ නිසල ව සිටිය නොහැක. ඔහු වේදනාවෙන් දැවෙයි. එයින් මිදෙන්නට දඟලයි. හිස ගිනි ගත් තැනැත්තා ද එපරිදි ය. කෙතරම් අගනා උපමා යුගලක් ද?
ද්වේෂ කළහොත්
නිදොස් අයට
එම පව
බාලයා වෙත ආපසු එයි
උඩු සුළඟට දැමූ දූවිල්ලක් මෙන්
(වුත්ති සූත්‍රය)
උඩු සුළඟ වේගයෙන් හමයි; කරකැවෙයි; වරදකරුවාට තම හෘදය සාක්ෂියෙන් ගැලවිය නොහැකි.
තණ්හාව දුරලීම දුෂ්කර වෙයි
බැඳී සිටින හෙයින් ලෝ සත
තොණ්ඩුවක බැඳි ලිහිණියකු මෙන්
මෙය පාඨෙය්‍ය සූත්‍රයෙහි උපමාවකි.
නො පමාව ධ්‍යාන ලබන්නා
කෙලෙස් දුරලන්නා
පරතෙරට යයි
දැල බිඳගෙන යන
මාළුවකු මෙන්
(චන්දිම සූත්‍රය)
දැල බිඳීම මාළුවාට දුෂ්කර ය. බොහෝ විට සිදුවන්නේ මාළුවාගේ මරණයයි. ධ්‍යාන ලැබීම හා කෙලෙස් දුරලීම අතිදුෂ්කර කටයුත්තකි. එහෙත් එයින් ජය ගන්නෝ සිටිති. දැල බිඳගෙන යන මාළුවා කදිම උපමාවකි.
සූත්‍ර පිටකයෙහි ඕපම්ම වර්ගය උපමාලංකාරයෙන් බැබලේ. ඕපම්ම යනු උපමා ය. මෙහි ඇතුළත් උපමා රැස කදිම සාහිත්‍ය මූලාශ්‍රයකි. කකචුපම සූත්‍රය එහි ඇතුළත් අපූරු උපමා වියමනකි. කකච යනු කියතයි. කියත උපමා කොටගත් සූත්‍රය කකචුපම සූත්‍රයයි. මේ ලියුම්කරු කලකට පෙර ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් තුමාගේ නිදහස් සිතුවිලි පත්‍රිකාවක කකචුපම සූත්‍රය පිළිබඳ කෙටි හැඳින්වීමක් දිටී ය. මෑත කාලයෙහි හන්තානේ ධම්මගවේශී හිමියන් කළ ධර්ම දේශනාවක ද මේ සූත්‍රය පිළිබඳ අගනා විවරණයක් විය. මේ සිදුවීම් දෙක ම කකචුපම සූත්‍රය නිතර කියවීම සඳහා මා පෙළඹවී ය. සතුරන් කියතකින් තම සිරුර කපන විට ද ඔවුනට මෙත් වැඩිය හැකි නම් ඒ සිත උතුම් සිතක් බව බුදුන් වහන්සේ සූත්‍රාවසනයෙහි කියති. ඉක්මනින් කේන්ති ගන්නා මෝලිය එග්ගුණ භික්ෂුව අරබයා මේ සූත්‍රය දේශනා කර තිබේ. කිසිවකු තමන්ට වෛර කරන විට අවෛරීව සිටිය හැක්කේ කෙසේ ද? බනින විට නොබැන සිටිය හැක්කේ කෙසේ ද? වෛරී වදන් බාර නො ගන්නා හදවත කෙබඳු ද? මේ පැණවලට පිළිතුරු කකචුපම සූත්‍රයෙහි උපමා රැසකින් ලැබේ. අහසෙහි සිතුවම් ඇඳීමට සිතන අයෙක් ලාකඩ, කහ, නිල්, මදටිය වර්ණයක් රැගෙන එයි. එහෙත් ඔහුට අහස පාට කළ නොහැකි ය. පාට කිරීමට තැත් දැරූ මිනිසා වෙහෙසට පත් වෙයි. අහස හා සමාන ව මෙත් සිත පැතිරවීම වැදගත් වෙයි. මෙය පුළුල් චින්තාවකි.
සිත්තරා අහසට දමන වර්ණවලින් අහසෙහි පැහැය වෙනස් නොවූයේ වර්ණ බාර ගැනීමට තාප්පයක්, කැන්වසයක් නොවූ නිසා ය. අහස පුළුල් ය. හිස් ය. එහි තාප්පයක් බිත්තියක් නොමැත. වර්ණ නො වදී.
මින් හැඟෙන්නේ කුමක්ද? කිසිවකු වෛර කරන විට, දොස් නගන විට හදවත අහස මෙන් තිබිය යුතු බව ය. වෛරය හා රළු බස් වැදීමට බිත්තියක් එහි නොමැත. කෝපයක් වෛරයක් ඇති නොවන්නේ හදවත අහස මෙන් තිබූ විට ය!
කකචුපම සූත්‍රයෙහි සමුදයාර්ථය මෙසේ දක්වති.
“සොරුන් විසින් දෙපස දඬු යෙදූ කියතකින් අඟ පසඟ කපනු ලබන මොහොතක දී වුවත් කෝප නොවී සිටිය හැකි නම් සැබෑ හික්මීම එය වෙයි. කකචුපම අවවාදය නිතර මෙනෙහි කරන්නේ නම් භික්ෂුන්ට ඉවසිය නොහැකි ලොකු හෝ කුඩා දෙයක් තිබිය නොහැක.”
වෙසක් පොහෝ දින හා ඊට පසු දින ලවුඩ්ස්පීකර් බණ දේශනා කරන ඇතැම් භික්ෂූන්ගේ ද්වේෂ සහගත සහ නින්දා සහගත වදන් අසා සිටි මට මෝලිය එග්ගුණ භික්ෂුව මතක් විය. බුදුන් වහන්සේගේ උපමා මතක් විය. ගොරහැඬි ලවුඩ්ස්පීකරයේ හඬින් හදවත රිදුණු බව මොහොතකට අමතක කර නිවසෙහි පොත් ගුලට වැදී කකචුපම සූත්‍රය නැවත කියවීමි.