කාර් ලස්සනයි, ඒත් පයින් යන අය ඊටත් ලස්සනයි | සිළුමිණ

කාර් ලස්සනයි, ඒත් පයින් යන අය ඊටත් ලස්සනයි

 කාර් ජනප්‍රිය කිරීමට ලොකුම ඇඞ්වටීස්මන්ට් එක නැතිනම් වෙළඳ ප්‍රචාරය ලැබුණේ චිත්‍රපටවලින් යැයි සිතමි. හින්දි හා සිංහල චිත්‍රපටවල කාර්වල නැ‍ඟී සින්දු කියමින් කඳුකරයේ නළුනිළි පෙම් යුවළ නැ‍ඟී යන ජවනිකා කාර් එකකින් ලැබිය හැකි ඉමහත් නිදහසක් හා සතුටක් පිළිබඳ හැඟීම් නරඹනන්නන් තුළ ඇති කළේය. ඇතිකර ඇති ඒ නිදහස පිළිබඳ හැඟීම කෙසේවුවත් කාර් පිළිබඳ වඩා ඇත්ත එය විසින් නිර්මාණය කරනු ලබන්නේ නිදහසකට වඩා හිරකුටියක් බවයි. එහෙත් ඒ බව දක්වන චිත්‍රපට නැති නිසා තවමත් මිනිස්සු කාර් ගැනීමේ ආසාවෙන් ම සිටිති. ඇත්ත කතාව නම් පයින් යන මිනිසෙකු සතු නිදහසින් හා ජීවිතයෙන් සීයෙන් එකක් වත් කාර් එකේ යන අයකු සතු නොවන බවය. කාර් එකකින් ලබාදෙන නිදහසක් ඇත. ඒ සමඟම එය විසින් අහිමි කරනු ලබන නිදහසක් හෝ ‘නිදහස්’ ඇත.

සමහර අය උපදින විට ම කාර් හිමිකරගනිති. සමහරවිට සමහර අයට පළමුවන දෙවන උපන්දිනයට තෑගි වශයෙන් ලැබෙන්නේ බෝනික්කන් හෝ සෙල්ලම් කාර් නොව ඇත්තම බෙන්ස් කාර් විය හැකිය. එය වාසනාව අනුව සිදුවන්නකි. සමහර අය අවුරුදු විසිපහ විසිහය වන විට කාර් සිහිනය සැබෑ කරගැනීමට තරම් වාසනාවන්ත වෙති. තවත් අයට තමන්ගේ කියා වාහනයක් හිමිකරගැනීමේ වාසනාව ලැබෙන්නේ අවුරුදු තිස්පහ පමණ වන විටය. තවත් අය අවුරුදු හතළිස් ගණන්වල දී ද තවත් අය අවුරුදු පහන හැටේ දී ද කාර් එකක හිමිකරුවකු වීමේ සිහිනය සැබෑ කරගනිති. එහෙත් තවත් සමහර අයට කාර් එකක් යනු ජීවිතය පුරා ම සැබෑවක් පත් කර ගත නොහැකි වූ සිහිනයක් පමණි.

කෙසේ හෝ මේ සිහිනය සැබෑ කරගත් අයට මේ රටේ වාහන තදබදය වැඩිකිරීමට දායක වීම සම්බන්ධයෙන් වගකීමක් පැවරේ. කෙසේවුවත් ඔවුන් විසින් ඇතිකරනු ලැබූ වාහන තදබදය හේතුවෙන් දුක් විඳීමට සිදුවන්නේ එයට දායක වූ ඔවුන්ට පමණක් නොවේ. කාර් හිමි නැති බස් රථවලම පමණක් යන අයට ද වැඩිවූ වාහන තදබදය හේතුවෙන් වැඩිකාලයක් මග තොට ලතවීමට සිදුවේ. එනම් බොහෝ විට වාහනයක් හිමිකරගන්නා තැනැත්තා තමන්ට පමණක් නොව අනුන්ට ද ප්‍රශ්න ඇතිකරන්නෙක් වේ.

කෙසේ හෝ වාහන තදබදය මැද බස් රථයක යෑම ඇත්තටම කාර් එකක් පදවාගෙන යාමට වඩා ගතටත් මනසටත් සුවපහසුය. තදබදය මැද වාහනයක් පදවන්නා විඳින්නේ මහත් දුකකි. එක පැත්තකින් මහ මඟ පිච්චෙන පැට‍්‍රල් හෙවත් තමන්ගේ මුදල් ගැන හිතට දුකකි. අනික් අතට එහෙන් මෙහෙන් රිංගන ත්‍රීවිලර් මෝටර් බයිසිකල් හා කොතනින් හෝ පාර මාරුවන මිනිසුන් ද මැද රථයක් ධාවනය කිරීම ඇත්තටම දුෂ්කර ක්‍රියාවකි. මාරාන්තික තරගයකි. එහෙත් බස්රථයක යන විට ඒ සියලූම ප්‍රශ්න බස් රථයේ රියදුරාට බාර දී තමාට සුවසේ වාඩි වී යාහැකිය. කැමති දෙයක් සිතමින් කැමති අතක් බලමින් නිදහසේ ගමන යා හැකිය. එහෙත් කාර් එක එළවන්නාට ඇසිල්ලකට හෝ පාරෙන් ඉවතට ඇස හෝ සිත ඉවතට ගැනීමට ඉඩ නැත. එසේ ගතහොත් අනතුරකි. කෙසේ හෝ මෙසේ වන්නේ රියැදුරෙකු නැතිව තමන්ගේ වාහන පදවාගෙන යන අයටය. කාර් හිමියන්ගෙන් සියයට අනුවක් එසේ වෙති. ඒ අනුව සැබවින්ම බස්වල යන අයට තරම් නිදහස් සුවයක් මේ කාර් එළවාගෙන යන අය භුක්ති නොවිඳිති. මතුපිටට නොපෙනුණත් ඇත්ත එයයි. කාර්වල එන අය බස්වලට එන අයට වඩා ආතතියෙන් පෙළෙති.

මේ ආතතිය හුදෙක් තදබදය මැද වාහන එළවාගෙන යාමෙන් පමණක් ඇතිවන්නක් නොවේ. වාහනය නඩත්තු කිරීම සම්බන්ධ කරුණු ද ඊට බලපායි. සැබවින්ම මතුපිටින් පෙනෙන්නේ කාර් එකක නැග මිනිසෙකු යාම වුව ද ඇත්ත කතාව මිනිසෙකු විසින් කාර් එකක් කරේ තියාගෙන ඔසවා යාම හා සමාන වන්නේ කාරේ හිමියෙකුට මුහුණ දෙන්නට සිදුවන ලීසිං ගෙවීම, අලූත්වැඩියා කිරීම් ආදී ප්‍රශ්න හමුවේය.

අනිත් අතට දුම් පිට වන වාහනයක් භාවිත කරන සියලූම දෙනා පාහේ පයින් යන්නන් හෝ පාපැදියෙන් යන්නන් මෙන් නොව පරිසරය ද දූෂණය කරමින් තමන්ගේ ගමන යන්නෝ වෙති. පාපැදියෙන් යන්නාත් පයින් යන්නාත් පරිසරය ආරක්ෂා කරන්නෝ වෙති. වාහනය විශාල වන තරමට දහනය වන ඉන්ධන ප්‍රමාණය ද ඉහළ බැවින් විශාල වාහන ඇත්තෝ වඩා විශාල මට්ටමින් පරිසර දූෂණයට දායක වන්නෝ වෙති.

මේ අනුව කාර් එකක් පෙනෙන තරම් ලස්සන නැත. ඇත්තටම කාර් ඉතාම ලස්සනට විවිධ විලාසිතාවන්ට අනුව සාදනු ලබන්නේ ද අපට මෙම අසුන්දර පැත්ත පෙනීම වැළැක්වීමටය. නොඑසේනම් ආවරණය කිරීමටය. ඇත්තටම කාර් එකක් ලස්සන වුව ද එහි අවලස්සන පැත්ත ඊට වඩා බර වීමට ඉඩ ඇත. ඉතාම ලස්සන හා අහිංසක තැනැත්තා තමන්ට හැකි හැම විටම පයින් හෝ පාපැදියකින් යන තැනැත්තාය. එවන් තැනැත්තෙකු තරම් වටිනා කිසිම කාර් වර්ගයක් නැත. කිසිම කාර් එකකට එවන් තැනැත්තෙකුගේ වටිනාකම සම කළ නොහැක.

ඇත්තටම මෙය කාර් ගැන රචනාවක් වශයෙන් සලකනු ලැබීමට මම අකමැත්තෙමි. මෙය ලස්සන දැකීමට හැකි විවිධ ආකාර පිළිබඳ රචනාවක් වශයෙන් සලකනු ලැබීම මගේ ආශාවයි. එනම් බොහෝ අය කාර් ගන්නේ ලස්සනට වශී වී බැවිනි. එහෙත් ඇත්තම ලස්සන නැතිනම් වැඩි ලස්සන පවතින්නේ වෙනත් තැනක විය හැකිය. කාර් එකේ ලස්සන පමණක් දකින අයට ඔවුන් නොදකින ලස්සනක් ගැන ද මතක් කරදීම මගේ උත්සාහය විය. මේ අනුව අවසාන වශයෙන් ලස්සන යනු යම් දෙයකට ආවේණික වූ ගුණාංගයක් නොව අප ඒ දෙස බලන ආකාරය අනුව තීන්දුවන දෙයක් වේ.

උදයසිරි වික්‍රමරත්න

Comments