HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

 කරදර කළොත් ‘සොරි’ තමයි

දැන් තිරගත වන ‘සූ කීපර්ස් වයිෆ්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන ජෙසිකා චැස්ටේන්, කාන්තාවන්ට සිදුවන අතවරවලට එරෙහිව නොබියව නැඟී සිටින නිළියක්.

යොවුන් වියේදී හොලිවුඩ් පුරයට එක්වූ ඇය, එවැනි අතවරවලට ‘ප්‍රතිප්‍රහාර’ දෙන්නට තරම් එඩිතර වූවා. අතීත සිදුවීමක් සිහිපත් කරමින් ජෙසිකා මෙලෙස පැවසුවේ හොලිවුඩයට පා තබන යුවතියන් දැනුම්වත් කරමින්...

“ඒ කාලෙ මම එක්තරා චිත්‍රපටයක රූගත කිරීම්වලට එක්වෙලා සිටිද්දි එක පුද්ගලයෙක් මගේ පසුපසට තට්ටුවක් දැම්මා. එයා ප්‍රසිද්ධ කෙනෙක්. මම නම කියන්නෙ නැහැ. ඉතින්, මම ඒ වෙලාවෙම ආපහු හැරිලා හොඳ උත්තරයක් දුන්නා. එදායින් පස්සෙ මට ඒ වගේ කරදර ආවෙ නැහැ. දැන් නම් මම කොහොමටවත් ඒවාට බය නැහැ. මොකද, මම දැන් එදාට වඩා වයසින් වැඩි නිසා. මට විතරක් නෙමෙයි, වෙනත් කාට හරි ඔය වගේ දෙයක් වෙනවානම් මම කිසිම වෙලාවක කට පියාගෙන ඉන්නෙ නැහැ. ඒවාට විරුද්ධව කතා කරනවා.”

රසිකයන්ව රැවටූ බීබර්

යොවුන් හදවත් වසඟ කළ ගායක ජස්ටින් බීබර් ඉන්දියාවේ ප්‍රසංගයක් පවත්වන්නට ලකලැහැස්ති වන බව මීට සති කිහිපයකට උඩදී මුළු ලොව පුරා විසිරී ඇති ජනමාධ්‍ය වාර්තා කර තිබුණා. පසුගියදා ඔහු ඉන්දියාවේ මුම්බායි නුවරදී ඒ ප්‍රසංගය පැවැත්වූයේ අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් මැද්දෙයි.

ඉන්දීය රසික කැල මහත් බලාපොරොත්තු සිත් තුළ රඳවාගෙනයි බීබර්ගේ ගීත ශ්‍රවණය කරන්නට පැමිණ සිටියේ. නමුත් සිදු වුණේ කිසිවකු නොසිතූ දෙයක්. ප්‍රසංගය ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයන්ට අහන්න ලැබුණේ බීබර්ගේ මුවෙන් නැඟුණු ගීත නොවෙයි. පසුබිමෙන් ඔහුගේ ගීත වාදනය වෙද්දී ඔහු කළේ ඒ අනුව තම තොල් සෙලවීම පමණයි. මේ නිසා ප්‍රේක්ෂකයන්ට සිදු වුණේ බීබර්ගේ පටිගත කළ ගීත මුසු වූ සජීවී නොවන ප්‍රසංගයක් නරඹන්නටයි.

ප්‍රසංගයේ ටිකට් පත් වෙනුවෙන් විශාල මුදලක් ද ගෙවා මේ අයුරින් රැවටීමට ලක්වීම ගැන රසික රසිකාවියන් විශාල පිරිසක් මෙයට විරෝධය දැක්වූ බවයි ආරංචි.

තරුවේ බලය ගිලිහිලා

ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් නිෂ්පාදිත නව ඖෂධයක් හඳුන්වා දීමෙන් පසුගියදා සිදුවුණා. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගි වුණේ ජනප්‍රිය නළුවකු වන චාලි ෂීන්.

මේ අවස්ථාවට චාලි ෂීන්ව තෝරගෙන තිබුණේ විශේෂ හේතුවක් නිසයි. ඔහු ඒඩ්ස් රෝගියෙක්, චාලි ෂීන් පැවසුවේ ඔහු එච්. අයි. වී. ආසාදිතයකු බව හෙළි වූයේ 2015 නොවැම්බර් මාසයේදී බවයි.

මෙම නව ඖෂධය හඳුන්වා දීමේ අවස්ථාව පැවැත්වුණු හොලිවුඩ් රූස්වෙල්ට් ශාලාවට එක්ව සිටි 300ක පමණ පිරිස ඇමතූ චාලි පැවසුවේ කලින් ලබා ගනිමින් සිටි ඖෂධවලින් තමන්ට නොයෙකුත් අතුරු ආබාධ සිදු වූ බවයි.

දැනට 51 වියැති ඔහු වැඩි කාලයක් වෙන් කර ඇත්තේ තමන්ගේ අසනීපය මර්දනය කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමටයි. මේ නිසා ඔහු වෙතින් දැන් ‘හොලිවුඩ් තරු බලය’ ගිලිහෙමින් පවතිනවා.

 පැරිස්ගේ ඉරණම්කාරයා

සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනියක සහ නිළියක ලෙස ලොව පුරා ජනාදරයට පත්ව සිටින පැරිස් හිල්ටන්ගේ ඉරණම් කාරයා හමුවෙලා. ඔහු, ක්‍රිස් සිල්කා. දැනට 32 වැනි වියෙහි පසුවන ඔහු ද මෝස්තර නිරූපණයටත් සිනමා රංගනයටත් උපන් හපන් අයෙක්. ක්‍රිස් සිල්කකා 2014 අප්‍රේල් මාසයේදී හනා බෙත් මර්ජොස් නම්වූ නිරූපිකාව සමඟ විවාහ ගිවිස ගෙන සිටියා. ඒත් 2015 වසරේ මුල් භාගයේදී ඔවුන් දෙදෙනා වෙන්වූවා. ක්‍රිස් සමඟ පෙම් සබඳකමකට මුල පිරූ පැරිස් පැවසුවේ තම මවගේ ආශිර්වාදය ද ඊට හිමි වී ඇති බවයි. දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම ළඟදීම සිදුවීමට නියමිත බවටත් ඇය ඉඟි පළ කළා. “මේ ලොව තුළ තියෙන හොඳම හැඟීම් සමුදාය රැඳිල තියෙන්නෙ ක්‍රිස් ළඟයි. මගේ මුළු ජීවිත කාලයම එයා එක්ක ගත වේවි. අපේ පවුලේ හැමෝම ක්‍රිස්ට ආදරෙයි. එයා දැනටමත් පවුලේ කෙනෙක් බවට පත්වෙලා.” පැරිස් එලෙස කීවේ ඉහවහා ගිය සතුටින්.

ප්‍රසංගයට පෙර ඔක්සිජන්

සුපිරි රියැලිටි තරුව කිලී ජෙනර් පසුගිය සතියේ පේරු දේශයේ සංගීත ප්‍රසංග චාරිකාවකට එක්වුණා. ඒත්, ඇයට සිදු වූයේ සියල්ලටම කලින් රෝහල් ගත වීමටයි. හිසරදය සහ හුස්ම ගැනීමේ අපහසුව නිසා රෝගී වීමෙන් තමයි, ඇයට එලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවුණේ. කිලීව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇයට වහාම ඔක්සිජන් ලබා දීමට කටයුතු කළා.

කිලී තම මව සමඟයි, පේරු දේශයට පැමිණියේ. ගුවන් යානය ගමන් කර ඇත්තේ මුහුදු මට්ටමින් අඩි 11,000ක උසින් යුතුවයි. මෙය කිලීගේ සෞඛ්‍යයට අහිතකරව බලපා ඇති නිසා ඇය රෝගී වූ බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ. කිලීගේ පෙම්වතා වන ට්‍රැවිස් ස්කොට් ඇය සමඟ පේරු සංචාරයට එක්වුණේ නැහැ. වෙනදා කිලී සමඟ රට රටවල සංචාරය කරන ට්‍රැවිස් මේ ගමනට එක් නොවුණේ මන්දැයි සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා. ඔහුටත් කිලීට මෙන් ගුවන් ගමන් නිසා අසනීප තත්ත්වයන් ඇති වෙනව ද දන්නෙ නැහැ. 

Comments