
මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝකයේ ජනප්‍රියම තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම සටහන තබන මොහොත වනවිට ඉතාමත්ම උණුසුම්ම අවස්ථාවට පැමිණිලා. තරගාවලිය පුරාම තම අණසක පතුරවමින් අර්ධ අවසන් පුර්ව වටය තෙක් පැමිණෙන්නට සමත්වුණු මුමබායි ඉන්ඩියන් කණ්ඩායම මේ වනවිට රයිසන් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම වෙතින් පරාජය වෙලා.
ලෝකයේ විවිධ රටවල විවිධ දක්ෂතා ඇති සුපිරි ක්‍රිකට් තරු රාශියක් තරග වදින මෙම අයි පී එල් තරගාවලියේ අපේ රට නියෝජනය කළ ක්‍රීඩකයින් රාශියක් සිටියා. සනත්, මුරලි, කුමා, මහේල, ඩිල්ෂාන්, මාලිංග,මැතිව්ස් සහ තිසර මේ අතරින් ප්‍රධානයි.
එහෙත් මෙම ක්‍රීඩකයින් අතරින් එදා මෙදා තුර තම වටිනාකම එකසේ තබා ගනිමින් රැඳී සිටින්නට සමත්වී සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස්, තිසර සහ ලසිත් මාලිංග පමණයි. මේ අතරින් මාලිංග ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකරමින් දිගටම තම කණ්ඩායමේ තබාගන්නට මුම්බායි ඉන්ඩියන් හිමිකාරිය කටයුතු කරන්නේ ඔහුගේ සුපිරි දක්ෂතා නිසා.
අයි පී එල් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 10 වැනි වරට වන අතර, මෙවර තරගාවලියේ දී ලසිත් තම අයි පි එල් කඩුලු දඩයමේ සුවිශේෂී කඩඉමක් පසුකළේ අයි පී එල් ඉතිහාසයේ කඩුලු 150 ක් දවාගත් පළමු සහ එකම ක්‍රීඩකයා වෙමින්. මෙවර තරගාවලියේ මුම්බායි කණ්ඩායම ක්‍රීඩාකළ අවසන් තරගයෙන් පසු ඔහු තරග 108 කට ක්‍රීඩා කර කඩුලු 153 ක් ලබා සිටී. මාලිංගට පසුපසින් සිටින්නේ අමිත් මිෂ්රා (කඩුලු 133), හර්බජාන් සිං ( කඩුලු 127) දෙදෙනායි.
මාලිංග ගේ අයිපීඑල් ආගමනය 2009 වසරේ සිටයි. 2009 තරගාවලියේදී තරග 13 කදී පන්දු 297 ක් යවා ලකුණු 312 කට කඩුලු 18 ක් ලබාගත්තේය. 2010 තරගාවලියේදී තරග 13 කදී කඩුලු 15 ක්, 2011 තරගාවලියේ දී තරග 16 කදී කඩුලු 28 ක් , 2012 තරගාවලියේ දී තරග 14 කදී කදී කඩුලු 22 ක්, 2013 දී තරග 17 කදී කඩුලු 20 ක්, 2014 දී තරග 10 කදී කඩුලු 16 ක්,2015 දී තරග 15 කදී කඩුලු 24 ක්,2017 දී තරග 10 කදී කඩුලු 10 ක් ඔහු නමින් ලියැවී තිබේ.
මාලිංග ගේ දණහිසේ ආබාධය යළිත් ඇතිවීම නිසා 2015 නොවැම්බර් මාසයේ සිට ක්‍රීඩා නොකළ අතර 2016 අයි පී එල් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර තරගාවලි කීපයක්ම ක්‍රීඩාකිරීමට නොහැකිවිය.
දණහිසේ ශල්‍යකර්මයෙන් පසුඔහු යළිත් පිටියට එන්නේ පසුගිය අප්‍රියෙල් මාසයේ දී බංගලාදේශයට එරෙහිව පැවැති විස්සයි විස්ස තරගයෙනි.
මාලිංග පිළිබඳවත් ඔහුගේ අයි පී එල් වාර්තා පිළිබඳවත් සඳහන් කරමින් මේ සටහන තබන්නේ ඔහු මේ වන විට ලොව සිටින ඉතාමත්ම දක්ෂ වේග පන්දු යවන්නකු වන නිසාය. එසේම ලබන මස ඇරැඹෙන අයි සී සී ශූරයින්ගේ කුසලානය තරගාවලිය සඳහා ( ICC Champions Trophy) ලසිත් මාලිංග ක්‍රීඩා කරන බව වාර්තා වීමත් සමඟය.
මාලිංග අපේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වන්නේ 2004 ජූලි 01 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට ටෙස්ට් වරම් ලැබීමෙනි. ඉන්පසු 2010 අගෝස්තු 03 වැනිදා ඉන්දියාවට එරෙහිව තරග වැදෙමින් ටෙස්ට් ක්‍රීඩා දිවියට තිත තැබුවේ දණහිසේ ආබාධය නිසා එක දිගට පන්දු යැවීම අපහසු වීම හේතුවෙනි. ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යනවිට මාලිංග තරග 30 ක ඉනිම් 37 ක් ක්‍රීඩා කර පන්දු 5209 ක් යවා කඩුලු 101 ක් බිඳ දමා තිබිණි.
2004 ජූලි 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග වැදෙමින් එක්දින වරම් ලැබූ ඔහු මේ වනවිට තරග 191 ක් ක්‍රීඩාකර තිබේ. එහිදී ඉනිම් 185 කදී පන්දු 9207 ක් යවා ලකුණු 8081 කට කඩුලු 291 දවාගෙන තිබේ. එහිදී මාලිංග ගේ සුවිශේෂී බව වන්නේ2007 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිටම පන්දු 4 කදී කඩුලු 4ක්( කඩුලු ත්‍රිත්වයක් ) දවාගනිමින් එම දස්කම දැක්වූ ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් තැබීමය. එසේම මාලිංග එක්දින තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්ව තුනක් ලබාගත් ලොව පළමු පන්දු යවන්නා වෙමින් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රීලංකා නාමය ඉහළින්ම සනිටුහන් කොට තිබේ.
මාලිංග මේ දක්වා චැම්පියන්ස් කුසලාන තරගාවලී තුනකට ක්‍රීඩාකර තිබේ. ඒ 2006-2007 , 2009-2010 සහ 2013 යන තරගාවලි තුනයි. 2006 -07 තරගාවලියේදී තරග 6 කට ක්‍රීඩාකර ලකුණු 210 කට කඩුලු 11 දවාගෙන ඇති අතර හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 53 ට කඩුලු 4ක් වාර්තා වෙයි.2009-10 තරගාවලියේදී තරග 3 කදී ලකුණු 171 කට කඩුලු 4ක් දවාගෙන තිබූ අතර හොඳම පන්දු යැවීම ලකුණු 43 ට කඩුලු 2 කි.2013 තරගාවලියේ දී තරග 4 කදී ලකුණු 206 කට කඩුලු 7 ක් දවාගෙන තිබේ.හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 34 ට කඩුලු 4කි.
ලසිත් මාලිංග යනු ධනාත්මකව සිතන, ක්‍රීඩාපිටියේදි ඕනෑම පීඩනයක් දරාගෙන කඩුලු දවාගත හැකි ක්‍රීඩකයෙකි.එසේම ඔහුගේ යෝකර් පන්දුව
වේගය අඩාල කර යවන පන්දුව මෙන්ම බවුන්සර් පන්දුවද ඒ ඒ පිතිකරුවාගේ පිතිකරණ රටාව අනුව යැවීමට තරම් ඔහු දක්ෂයෙකි. මේ සියලු අත්දැකීම් සමඟ මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී සිංහ ධජය යළිඔසවා ඔල්වරසන් දෙන්නට අපේ ක්‍රීඩාලෝලින්ට හැකිවනු නොඅනුමානය.
අයි පී එල් පිටියේ එකම කණ්ඩායමකට ක්‍රීඩාකළ බොහෝ ක්‍රීඩකයින් තමන්ගේ රට වෙනුවෙන් ප්‍රතිවාදීන් ලෙස තරග වදින චමත්කාරය යළි අත්විඳින්නට අපට හැකිවනු ඇත.