
පුනරුප්පත්තිය ලැබූ සුනඛයකුගේ අභිප්‍රාය
මිනිසා සහ සතුන් අතර ඇති සංවේදී බැඳීම රිදී තිරයේ සිත්තම් වුණු අවස්ථා අපමණ ය. 2017 වසරේ තිරගත වූ අන්තර්ජාතික බ්ලොක් බ්ලාස්ටරයක් වූ “A DOG’S PURPOSE”/ අ ඩෝග් පර්පස්, (සුනඛයාගේ අභිප්‍රාය) සිනමා පටය එවන් සිනමා පට මාලාවක විශිෂ්ට නිර්මාණයකි. ඇමෙරිකානු ප්‍රහසන සිනමා පටයක් වූ මෙහි අධ්‍යක්ෂණය ලාස් හල්ස්ට්රෝමිංග්ය. 2010 දී ප්‍රකාශිත ඒ නමින් ම යුතු කැමරන්ගේ කෘතිය ඇසුරින් සිනමා පටය නිර්මාණය විය.
‘අ ඩෝග්’ සිනමා පටයේ බ්‍රිට් රොබට්සන්, ජුලියට් රිලන්ස්, ජෝන් ඕට්ස්, කර්බි හෝවල් - බැප්ටිස්ට්, ෂෙගී ලිෆ්ටන්, ඩෙනිස් ක්වැඩ්, ජොෂ් ගැඩ් වැනි සුප්‍රකට තරු රංගනයෙන් දායක වුවත් ප්‍රධාන තරු බවට පත්වූයේ චරිත පහකට පණ දුන් සුනඛයන් ය.
කතාවට කේන්ද්‍රවන්නේ පස්වරක් පුනරුප්පත්තිය ලැබූ සුනඛයෙකි. ඌට පළමු ආත්මයේදී හමුවූ හාම්පුතාම පස්වැනි ආත්මයේදීත් මුණ ගැසේ.
සිනමා පටය ඇරැඹෙන්නේ පනහ දශකයේ නිශ්චිතව සඳහන් නොකළ කාල වකවානුවක ය. දඩාවතේ යන මෙම සුනඛයාට ජීවත්වීමට වරම් ලැබුණේ සති කිහිපයකි. ටෝබේ නම් ඌ යළි ගෝල්ඩන් රෙට්රිවර් වර්ගයේ සුනඛයකු ලෙස 1961 දී පුනරුප්පත්තිය ලැබුවේ ය. ඌ විකිණීමට කූඩුවක දමා තිබියදී කසළ රැගෙන යන්නන් දෙදෙනෙක් ඌ විකුණා ලාබ ලබා ගැනීමට සිතූහ.
ඌ සිරකර ඒ දෙදෙනා මධුවිත සප්පායම් වීමට ගිය අතරේ අසරණ බලු පැටියා ඇස ගැසුණේ දඟකාර ඒතන්ට ය. දැඩි උණුසුම නිසා මිය යාමට ආසන්නව සිටි සුනඛ පෝතකයා ඒතන් සහ ඔහුගේ මව විසින් බේරා ගන්නා ලදී. පසුව පියාගේ අනුමැතියෙන් ඌ බේලි නමින් නම් ලබා ආදරයෙන් ඇති දැඩි කෙරිණි.
බේලි සහ ඒතන් අතර බැඳීම දිනෙන් දින ශක්තිමත් විය. ඒතන් සමඟ ඔහුගේ ජීවිතයේ විවිධ වූ දුක්ඛ දෝමනස්සයන් බෙදාගත් බේලි වයස්ගත වීම නිසා ම රෝගී වී පශු වෛද්‍ය රෝහලේදී පැය එකොළහක කාලයක් ජීවිතය හා මරණය අතර සටන් කර අවසන් හුස්ම හෙළුවේ ඒතන්ගේ දෑස් කඳුළින් තෙත් කරමිනි.
බේලි පුනරුත්පත්තිය ලැබුවේ ජර්මන් ෂෙෆඩ් වර්ගයේ සුනඛ ගැහැනු සතකු ලෙසිනි. ඒ හැත්තෑව දශකයේ අවසානය හෝ අසූව දශකයේ මුලය. එවර ඌ එලී නම් පොලිස් සුනඛ ධේනුව ලෙසින් පොලීසියට අවැසි දේ සොයා දීම අභිප්‍රාය කර ගනිමින් ජීවත්වූවා ය. ඌ සහාය වූයේ කාර්ලස් නම් බිරිය මිය ගිය පොලිස් නිලධාරියකුට ය.
කාර්ලස් සහ එලී අතර වෘත්තීය බැඳීම මෙන් ම මානව සුනඛ ප්‍රේමය ද ගසට පොත්ත මෙන් එකිනෙකා නොමැතිව බැරි තරමට ශක්තිමත් විය.
පැහැර ගෙන යනු ලැබූ දැරියක ගඟක ගිලෙන්නට යාමේදී බේරා ගැනීමට ඌ පැන්නේ ඒ අවසන් පැනීම කියා නොදැන ය. දැරිය පැහැරගත් පුද්ගලයකු ගේ වෙඩි පහරකට ලක්වී ඌ මිය ගියේය. ඊළඟ ආත්මයේ ඌ ෂෙම්බ්රෝක් වෙල්ෂ් කෝගි සුනඛයකු ලෙස අසූව දශකයේ මැද භාගයේදී උපත ලැබීය. එවර ටීනෝ නම් වූ ඌ මායා ස්වාමි දුවට සතුට ගෙනෙන දේ කිරීම ජීවිතයේ අභිප්‍රාය කර ගත්තේ ය. ටීනෝ මායා විවාහ වූ අල්ගේත් ඔවුන්ගේ දරුවන් තිදෙනාගේත් ආදරය නොමැඳව දිනා ගත්තේ ය. ඌට ඒ ආත්මයේ දී ‘රොක්සි’ නම් සුනඛ පෙම්වතියක් ද මුණ ගැසෙයි. දිනක් පශු වෛද්‍ය කාර්යාලයට ගිය සුනඛ පෙම්වතිය යළි නොපැමිණෙයි. එයින් ටිනෝගේ හද රිදුණ ද ඒ ඌ ජීවිතය සතුටින් විඳි එක් සුනඛ ආත්මයකි.
ටිනෝ පුනරුත්පත්තිය ලැබුවේ සෙන්ට් බර්නාඩ් ඕස්ට්‍රේලියානු ෂෙර්ඩ් මිශ්‍ර සුනඛයකු ලෙස ය. ඒ ටිනෝගේ ආත්මයෙන් නිදහස් වී දශකයක කාලයේදී ය.
නාගරික යුවළක විසින් වැෆ්ල්ස් නම් දී ඌ ඇති දැඩි කළේ ද ඕනෑවට එපාවට ය. එනිසා ම ඌ අලුත් ජීවිතයක් සොයමින් සිටියේ ය. සුනඛ උද්‍යානයක් අසලින් ගමන් කරමින් සිටියදී ඌට අතීතයේ ක්‍රීඩා කරමින් සිටි අන්දම සිහියට නැඟිනි. වැෆ්ල්ස්ට සුනඛ ධේනුවක මුණ ගැසුණු අතර උගෙන් දැනුණේ හුරු පුරුදු මිනිස් ඉවකි. ක්‍රමයෙන් ඌ ඒ හුරු පුරුදු මිනිස් ඉවට ළං විය. ඒ පරණ හාම්පුතා ඒතන් ය. ආත්මීය බැඳීම ඉස්මතු විය. දැන් ඒතන් ජීවිතයේ හැටේ දශකය ගත කරයි. ඒතන්ට තමන්ට සමීප වීමට දරන සුනඛයා ගැන කිසිදු මතකයක් නැති නිසා අනාථ සතුන්ට සෙවණ දෙන තැනකට ඌ භාර දෙන ලදී. එහෙත් භාර දුන් සැණින් යළි ඔහුගේ සිත වෙනස් විය. වැෆ්ල්ස්, ‘බඩී’ ලෙසින් ඒතන් විසින් නම් කරන ලදී. අවසානයේදී බඩීට ජීවිතයේ සැබෑ අභිප්‍රාය ඉටු කර ගත හැකි විය. ‘අ ඩෝග්ස් පර්පස්’ අවසන් වන්නේ සුඛාන්තයක් ලෙසිනි.
මේ සිනමා පටය 2017 වසරේ බ්ලොක් බ්ලාස්ටර් හෙවත් පෙරළිකාර ආදායමක් ලැබූ සිනමා පට අතරට එක්විය. ඩොලර් මිලියන 22 ක පිරිවැයක් වැය වූ මෙම සිනමා පටය ලද ආදායම ඩොලර් මිලියන 188.2 ක් වීමෙන් ම ඒ බව පැහැදිලි වේ.
ලාස් හල්ස්ට්රෝම් ඔස්කාර් සම්මාන සඳහා තෙවරක් ම නිර්දේශ වූ අධ්යක්ෂවරයෙකි. පුදුමය නම් ලාස්ගේ එම නිර්දේශිතවූ සිනමාපට ත්‍රිත්වයෙන්, එකක් වු ‘මයි ලයිෆ් ඇස් අ ඩෝග්’ සිනමා පටය ද සුනඛයකු හා සම්බන්ධ සිනමා පටයක් වීමය.
සිනමා පටය කෙතරම් දුරට සත්ත්ව ප්‍රේමීන්ගේ හදවත් සංවේදී බවින් මුසපත් කළ ද සත්ත්ව හිංසනයට එරෙහි සංවිධානවලින් සිනමා පටයට විරෝධය එල්ල විය. ඒ ගඟට පනින චරිතයට පණ දුන් ජර්මන් ෂෙෆඩ් වර්ගයේ හර්කියුලස් සුනඛයාට රූගත කිරීම්වලදී වධ හිංසා සිදුවීම නිසා ය. ඒ හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි ප්‍රථම පූර්ව දර්ශනය ද අවලංගු කෙරිණි.
අන්තර්ජාලයෙනි.