රූප සොබා­වට මුඛරි බවට නිවේ­දන කලාව විකි­ණිලා | Page 2 | සිළුමිණ

රූප සොබා­වට මුඛරි බවට නිවේ­දන කලාව විකි­ණිලා

වචන එකිනෙකා ගලපා හැඩකර, ගලන දිය පහරක සෞම්‍ය ලාලිත්‍යයෙන් යුතුව අපේ සිත් පැහැර ගන්නට සමත් වන ලෙස ආමන්ත්‍රණය කළ හැකි සුවිශේෂී හඬ පෞරුෂයක් ඔහුට හිමියි.

නිහඬ නිසල රාත්‍රියේ මියුරු මියැසියකින් ශ්‍රාවක සිත් තුළ ඇති සංතාප සංවේදනා යටපත් කර දමන්නට සමත් වුණු ඒ සුවිශේෂී චරිතය පිළිබඳව මතක ආවර්ජනයට ඉඩ ලබාදෙන මොහොතයි මේ.

ඔහු නමින් දසුන් වසන්ත.

ITN මාධ්‍ය ජාලයේ ‘ලක්හඬ ගුවන් විදුලියේ විකාශය වුණු ‘ප්‍රේම තටාකය’ සංගීතමය වැඩසටහන සිත් සතන් ප්‍රේමයෙන් පුරවාලමින් ගෙන ආ සන්නිවේදකයා ඔහු ය.

“රිදුම් දෙන මතකයන් අතරින්, මගේ සිතටත් රහසින් සිත දුවයි නුඹ ළඟට. නුඹේ සෙනෙහස සොයාගෙන නොදැනීම නෙත් කොණින් වැටෙන කඳුළු බොඳ කරන්න අසරණ කරයි මා තව තවත් හැරගිය නුඹ ළඟම.”

• මේ ඔ‍ෙබ් පද රචනාවක්. මතක් කරමු මේ මතකය?

සුන්දර මතකයක්. ITN ‘ලක්හඬ’ ගුවන් විදුලියේ විකාශනය වුණු ‘ප්‍රේම තටාකය’ සංගීත වැඩ සටහනට නිමැවුණු සිතුවිල්ලක්. දසුන් වසන්ත කියන නම ශ්‍රාවකයා අතරට ගෙන ගිය වැඩසටහනක්. මෙහි සංකල්පය, ආකෘතිය, සංස්කරණය, නිවේදනය සියල්ල සිදුවූයේ මා අතින්. එය ‘ලක්හඬ’ ගුවන් විදුලියේ පමණක් නොව අන් සියලු නාළිකා නව මං සොයා‍ යන වැඩසටහන්වලට පූර්වාදර්ශයක් වුණා. ප්‍රේම තටාකය මගේ ම නිර්මාණයක්. මගේ හැකියාවන් ප්‍රදර්ශිත වූ තැනක්. බොහෝ ඇගයීම්වලට ද පාත්‍ර වුණා. ඒක තමයි මගේ නම ගිය මූලාරම්භය. එය අදටත් මාව එළිය කරන අපූරු වැඩසටහනක් වුණා.

• ඒ ඔබේ නිවේදන කලාවේ මූලාරම්භයයි. ඔබේ ජීවිතයේ මූලාරම්භය කොහෙද කොතැනද?

මගේ ගම අම්පාර, අඹගහවෙල ගමේ අඹගහවෙල පාසලේ මම ඉගෙනුම ලැබුවා. උසස් පෙළ හැදෑරීමට අම්පාර පොල්අත්ත මහා විද්‍යාලයට ඇතුළු වුණා. මගේ අම්මයි තාත්තයි කළේ ගොවිතැන. නිවේදකයෙකු වීමේ හීනය දකින්නේ ගමේ දී. ගමේ හිටියා පොදු වැඩ වලදී සහය දක්වන නිවේදකයෙක්. ඔහු තුළින් තමයි මම මගේ හීනය දැක්කේ.

* කොළඹට පැමිණ ‘ලක්හඬට’ සම්බන්ධවීම තෙක් ඔබේ ආගමනය වන්නේ කොහොමද?

මාධ්‍ය පිළිබඳව තිබුණ උනන්දුව තමයි මාව කොළඹට සේන්දු කරන්නේ. පුංචි කාලෙ මම කොළඹ ඇවිත් තිබුණේ නෑ. ඉතිං තනියම කොළඹ ඇවිත් මගේ හීනය දකින්න මම උත්සාහ කළා. මෙ හැම නාළිකාවකටම අයදුම්පත්‍ර තුන්සීයයක් පමණ දැම්මා. ඒත් කිසිම ආයතනයකින් මට කතා කළේ නෑ.

ඒත් මම මගේ උත්සාහය අතහැරියේ නෑ. ඔහොම ඉන්නකොට ITN මාධ්‍ය ජාලයේ ‘ලක්හඬ’ ගුවන් විදුලියෙන් මට කැඳවීමක් ලැබුණා. එහිදී ලිඛිත හා වාචික පරීක්ෂණ කිහිපයකින් පසුව සහන සන්නිවේදකයෙක් ලෙස සම්බන්ධවීමේ අවස්ථාව මට උදා වුණා.

කොන්ත්‍රාත් පදනමින් ඇතුළු වෙලා දැන් ස්ථිර සන්නිවේදකයෙකු ලෙස වැඩ කරනවා.

ITN මාධ්‍ය ජාලයේ ITN FM හා ITN TV හරහාත් මම මගේ කාර්යය ඉටු කරනවා. විශේෂයෙන් ම එවකට හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අශෝක කරුණානායක මැතිතුමා, වැඩසටහන් කළමනාකරු ලෙස හිටපු කපිල තිලකසිරි මැතිතුමා, සංජීව එදිරිමාන්න, මයුරි ලියනගේ වැනි විද්වතුන් හුඟ දෙනෙක් මේ ගමන එන්න මට උදව් කළා‍. ඔවුන් අපට වැඩසටහන් නිර්මාණය කරන්න අවශ්‍ය පන්නරය හා අවස්ථාව උදා කළා. ඒ අනුවයි ‘ප්‍රේම තටාකය’ ආකෘතිය මා අතින් බිහි වන්නේ.

• තම භාෂාව ගුවන් විදුලිය ඔස්සේ හරි අපූරුවට මෙහෙයවන ඔබ මාධ්‍ය හැදෑරීමක් සිදුකර තිබෙනවාද?

ඇත්තෙන් ම ඔව්. මගේ මූලාරම්භයේදීම මට කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍යය ඩිප්ලෝමාවක් හැදෑරුවා. දැනට මම කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරනවා. ඒ හැදෑරීමත් සමඟ මට හිතෙනවා මේ මාධ්‍ය වපසරිය තුළ අපි රාමුගත වෙලා කියලා. මට මගේ හැදෑරීම් තුළින් හිතෙනවා. එතැනින් එහාට යන්න පුළුවන් ආකෘති තියෙනවා හා ඒවා කරන්න පුළුවන් කියලා. ඒ ආකෘතිවල නිර්මාණය මා හැදෑරීම් තුළින් ඉදිරියේදී ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

• නිවේදකයකු ලෙස ඔබ කොහොමද නිවේදන වෘත්තිය දකින්නේ?

අසන්නෙක් තමයි හොඳ සන්නිවේදකයෙක් වන්නේ. පොතපත කියවීම හා දැනුමින් සන්නද්ධවීම අනිවාර්යයි. මගේ වැඩසටහන්වල ආකෘතිය මම මට ඕන විදියට හදාගන්නවා. වැඩසටහනට එන කෙනා අනුව වැඩසටහනේ කාලය රටාව වෙනස් වෙනවා. ඒ අනුව ගැළපෙන අයුරින් ඒ මොහොතට අනුව මම මගේ ප්‍රශ්නාවලිය හා රිද්මය පවත්වාගෙන යනවා. මම රාමුගත නිවේදකයකු නොවෙයි. කවුරුන් හෝ දෙන ප්‍රශ්න අහල උත්තර ගන්න කලාව මා තුළ නෑ‍.

ඒ තැන නි‍ෙව්දකයකු නෙමෙයි ඉන්නෙ රූකඩයක්. දැනුමින් සන්නද්ධව, රාමුගත නොවී විශ්වීය දැනුමේ අලගිය මුලගිය තැන් මනාකොට සම්පිණ්ඩනය කරගෙන ශ්‍රාවකයාගේ දැනුමත් අවදි කරමින් වෘත්තියේ ‍නියැළීම තමයි සැබෑ නිවේදකයකු කළ යුත්තේ. කොතැනකවත් පරාජය නොවන පෞරුෂත්වයක් සන්නිවේදකු සතුව ගොඩනැගෙන්නේ ඒවිටයි. රටක පළමු වැනි හා දෙවැනි පුරවැසියා හැරුණු කොට සමස්ත ප්‍රජාවට ම කතා කරන්න පුළුවන් අභිමානවත් චරිතයක් තමයි නිවේදකයකු කියන්නේ. ඔහු සමාජය මෙහෙය වන්නෙක් වනවා. ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවා නිවේදකයකු ලෙස තම අභිමානය හා පෞරුෂය ගොඩනඟා ගන්නේ දැනුමින්, ඒ හඬ තුළින්, භාෂාව තුළින්. ඔහුගේ ඒ සියල්ලේ ම යම් විශේෂත්වයක් තිබුණා. එයයි අවශ්‍ය. නැත්නම් අද ඉන්න සමහරක් නිවේදකයෝ වගේ වාචාල බස් රටාව හා ඇඟපත හදාගෙන පුහු ආටෝපයන් තුළ රඟපාන පිරිසක් මෙයට අවශ්‍ය නෑ. අද නළු නිළියන් නිවේදන වෘත්තියේ යෙදෙනවා. මුඛරි බවට හෝ රූප සොබාවට නිවේදන කලාව විකිණිලා තියෙනවා. මම වගකීමෙන් හා බොහොම කලකිරීමෙන් කියනවා නිවේදන කලාව වෛශ්‍යා වෘත්තිය තැනට වැටිලා කියලා.

• ඔබ නිවේදකයකු ලෙස මේ ආ ගමන තෘප්තිමත් ද?

තෘප්තිමත්. නමුත් කරපු දෙයට වඩා කරන්න තියෙන දේ බොහොමයි. ඒ තෘප්තිය මෙතෙක් මා ලබාගත් ජයග්‍රහණයට සීමා නොකර ඉස්සරහට නිවේදන කලාවෙන් සිදු කළ හැකි උපරිම දෙයට හඹාගෙන යාමේ ආශාවක් අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ තුළ ලබපු තෘප්තියට වඩා ඉදිරියේ ඉලක්ක වෙනුවෙන් දායකත්වය සපයනවා.

• ඔබේ මේ ගමනට ළඟින් ම ඉඳන් සහය දක්වන ආදරණීය චරිතයක් ඇති. ඒ කවුද?

මගේ ආදරණීය බිරිය. නමින් ඈ මධුෂා ‍මනෝහාරි. ඇය මට ගොඩාක් උදව් කරනවා. ඇය මට ශක්තියක්. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙව්ලිනි සන්ධුපමා හා සෙතුනි ලෙහන්සා.

• කෙටියෙන් මතක් කළොත් ඔබ දැනට කරගෙන යන වැඩසටහන්?

ITN FM හි සතියේ දවස් පහේ ම සවස 4 සිට 6 දක්වා විකාශනය වන ‘ITN සැදෑවක්’ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා ‘හැඟුම් වරුසාව’ ත් ITN TV මාධ්‍ය ජාලයේ ‘සිවුමංසල’ හා ‘Coffce table’ වැඩසටහනත් කරගෙන යනවා.

එහෙනම් ඔබේ සියලු වැඩකටයුතු සාර්ථකත්වයට අපගේ ආශිර්වාදය එක්ක අපි සමුගන්නවා 

 

Comments