අපේම වර­දින් ලොවෙන් වඳවී යන සතුන් | සිළුමිණ

අපේම වර­දින් ලොවෙන් වඳවී යන සතුන්

ඉස්සර වගේ නෙවෙයි දැන් වර්ෂාවට නියමිත කාල වකවානුවක් නෑ. සමහර ප්‍රදේශ වලට වතුර නැතිව තිබෙන අතර තවත් සමහර ප්‍රදේශ වලට හොඳින් වර්ෂාව ලැබෙනවා. මේ දේශගුණික විපර්යාසයන් සියල්ලටම වැරැදිකරුවන් විය යුත්තේ අපිමයි. සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් මිනිසාගේ ඕනෑ එපාකම් නිසා ගස් කොළන් හා වනාන්තර විනාශ කරන නිසා තමයි මෙසේ පරිසරයේ සමතුලිතතාවයට හානි වී තිබෙන්නේ. වර්ෂාවට අමතරව අප රටේ දැවැන්තම අර්බුදයක් වී තිබෙන අලි මිනිස් ගැටුමයි.මෙම ගැටුමටද ප්‍රධානම හේතුව වන්නේ මිනිසා විසින් කැළෑ සතුන්ගේ වාසස්ථාන අත්පත් කර ගැනීමයි. අවසානයේ වන සතුන්ට සිදු වන්නේ තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමටයි.අද මෙම විශේෂාංගයෙන් ඔබ වෙත ගෙන එන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ලෝකයෙන් තුරන් වී යාමට ඉතා ආසන්න සතුන් කිහිප දෙනකු පිළිබඳව දැනුම හා තොරතුරුයි.

ජාවා රයිනෝ

රයිනෝ විශේෂ අතුරින් වඩාත්ම තර්ජනයට ලක්වී සිටින රයිනෝ විශේෂය වන්නේ මෙම ජාවා රයිනෝ විශේෂයයි.වර්තමානය වන විට ලොවටම ඉතිරි වී සිටින්නේ ඉන්දුනිසියාවේ ජාවා හි පිහිටි උජුන්ග් කුලෝන් ජාතික වනෝද්‍යානය (Ujung Kulon National Park) තුළ සිටින රයිනෝ සතුන් 60 දෙනා පමණයි . ඉතාමත් රැලි වැටුණු ඝන සමක් සහිත මොවුන්ව අං ලබාගැනීමට හා ඖෂධ සඳහා ශරීර කොටස් ලබාගැනීමට දඩයම් කිරීම මෙලෙසින් මොවුන්ව වඳවී යාමට ප්‍රධාන හේතුව වී තිබෙනවා. කලකට පෙර මොවුන් කළාපයේ හොඳින් ව්‍යාප්ත වී ජීවත් ව සිටි සත්ත්ව විශේෂයක් වන අතර වියට්නාමයේ විසූ අවසාන ජාවා රයිනෝ සත්ත්වයාව දඩයක්කරුවන් විසින් ඝාතනය කර තිබෙන්නේ 2010 වර්ෂයේදීයි. ශාක භක්ෂක, අළු පැහැති ශරීරයක් හා අඟල් 10ක පමණ දිගින් යුතු අඟක් සහිත මෙම සතුන් අඩි 10කට වඩා දිග වන අතර අඩි 6 කට ආසන්න උසකින් යුක්ත වනවා.

අමූර් දිවියා

මෙම ලස්සන දිවියන් විශේෂයද මෙලොවින් තුරන් වීමට ඉතා ආසන්න සතුන් විශේෂයකි. විශාල ලෙසින් වාසස්ථාන අහිමි වීම හා දඩයම් කිරීම නිසා වර්තමානය වන විට අමූර් දිවියන් ඉතිරි වී සිටින්නේ 70 ක් තරම් ඉතා සුළු ප්‍රමාණයකි. ඉතා ශීත, රුසියාවේ නැගෙනහිර කෙළවර හා චීනයේ ඊසානදිග සීමාවේ ව්‍යාප්ත වී සිටින මෙම සතුන් උතුරු කොරියාවේද සිටිය හැකි බවට සැක කරයි. මොවුන් සැඟවී සිටීමට ඉතා ප්‍රිය කරන නිසා මොවුන් ඝන වනාන්තර වලට පමණක් සීමාවී ජීවත් වෙයි. මුවන්, කුඩා වල් ඌරන්, හාවන් හා උරුලෑවන් වැනි සතුන් ආහාරයට ගනිමින් ජීවත් වන මෙම බළල් පවුලේ සාමාජිකයාට පැයට සැතපුම් 36ක පමණ වේගයෙන් දිවීමටත් හැකියාව තිබේ.

මලයානු කොටියා

බළල් පවුලේ තවත් සාමාජිකයකු වන මොහු මලයානු අර්ධද්වීපය තුළ පිහිටි නිවර්තන වනාන්තර තුළ හා තායිලන්තයේ දකුණු කෙළවරෙහි පමණක් දක්නට ලැබෙන සත්ත්ව විශේෂයකි. වාසස්ථාන අහිමි වීම නිසා පීඩා විඳින මෙම කොටි විශේෂ‍ෙයන් වර්තමාන පරම්පරාවේ ඉතිරි වී සිටින්නේ 250-340 වැනි සුළු ප්‍රමාණයකි.

Slender-billed curlew

සිහින් හොටැති කුර්ලේව් පක්ෂියා යනු යුරෝපයේ දුර්ලභම පක්ෂියා ලෙස හැඳින්වූවහොත් නිවැරැදියි. යුරෝපයේ තෙත් බිම් හා වගුරු බිම් ආශ්‍රිතව ජීවත් වන මෙම කුරුල්ලන් විශේෂය ශීත කාලයේදී මධ්‍යධරණි ප්‍රදේශ වෙත සංක්‍රමණය වනවා. අඟල් 14 ක් 16 ක් පමණ දිගින් යුත් තටු අතර දිග අඟල් 30 ක් 35 ක් වන මෙම කුරුලු විශේෂය දර්ශනය වීම දිනෙන් දින අඩු වෙමින් පවතිනවා. වර්ෂ 1994 දී මොවුන්ගේ ගහණය 50-270 පමණ ඇතැයි නිර්ණය කළද වර්තමානය වන විට මෙම කුරුල්ලන් 50කටත් වඩා අඩු ගණනක් සිටින බවයි පැවසෙන්නේ. ඉතාලිය, ග්‍රීසිය, මොරොක්කෝව හා හන්ගේරියාව ආශ්‍රිතව ඉඳ හිට මෙම පක්ෂියාව දර්ශනය වීම වාර්තා වී තිබේ.තව නොබෝ දිනකින් මෙම කුරුලු විශේෂයත් මිහිතලයට සමු දෙන්නේ මිනිසා විසින් පරිසරය ආරක්ෂා කරනවා වෙනුවට පරිසරය පාලනය කිරීමට යාම නිසායි.

International Union for Conservation of Nature එනම් අපි හඳුනන IUCN විසින් සම්පාදනය කරන ලද රතු ලැයිස්තුවේ අද වන විට වඳ වී යාමේ තර්ජනයට තදින් ලක්වී ඇති ජීවී විශේෂ 5210ක් තිබෙන අතර එයින් කිහිපයක් ගැන තොරතුරු ඔබ වෙත පැවසුවේ නොදැනුවත්ව හෝ මිනිසා විසින් මේ ලස්සන ලෝකය දිනෙන් දින විනාශ කරමින් සිටින බව අවබෝධ කිරීමටයි.

ශ්‍රීලංකාවේ IUCN රතු ලැයිස්තුව සඳහා www.cea.lk/web/images/pdf/redlist2012.pdf  වෙත පිවිසෙන්න. 

 

 

Comments