හරි වහර | සිළුමිණ

හරි වහර

1. ගර්භාශය - මේ සංස්කෘත තත්සමය නිපැදෙනු‍ෙය් ගර්භ, ආශය යන දෙක්හි සන්ධියෙනි. මෙහි ගර්භය නම් (දරු) ගැබ යි. ආශය යනු සංස්කෘතයෙහි බහු අර්ථවත් වැ නොයෙක් අරුත්හි යෙදෙන්නෙකි. ඒ අතුරින් මෙහි ලා වඩාත් ගැළැපෙනුයේ යමක් රැ‍ඳෙන හෝ රඳවන හෝ තැන යන අරුතයි. ජලය රැ‍ඳෙන තැන් ජලාශය වන්නාක් මෙනි. එ මෙන් දාරක ගර්භය (දරු ගැබ්) රැ‍ඳෙන තැන් ගර්භාශය වේ. මෙහි (මූර්ධජ) ‘ෂ’ යොදා ගර්භාෂය යැයි ලියනු බෙහෙවින් දක්නා ලැබෙන වරදෙකි. නිවැරැදි වනුයේ (තාලුජ) ‘ශ’ සහිත වූ ගර්භාශය යන්න ම ය. ආමාශය, පිත්තාශය ආදිය දු එසේ ආශය යන්න යෙදෙන වෙනත් වදන් වේ. (ආම + ආශය = ආමාශය, පිත්ත + ආශය = පිත්තාශය)

මෙහි ලා සැලැකිය යුතු තව ද කරුණක් වෙයි. එ නම් මෙය ඒක වචන වැ යෙදෙන කල්හි, ව්‍යාකරණානුකූල වැ නම් නිරවද්‍ය වනුයේ ද්විත්ව ‘ය’ කාරය (‘ය’ යනු දෙකක්) සහිත ව‍ූ ‘ගර්භාශයය’ යන රූපය බව යි. ‘ආශය’ යන්නෙහි ප්‍රකෘතියෙ ම එක් ‘ය’ කාරයක් ඇත. එ හෙයින් ඒක වචනයට ය යනු දෙකක් විය යුතු ය. (ගර්භාශය + අ = ගර්භාශය + ය් + අ = ගර්භාශයය) සැබැවින් ම, ජලාශය, ආමාශය ආදිය ද ඒක වචන ලෙස යෙදීමේ දී ව්‍යාකරණ රීත්‍යනුකූල වැ නම් ජලාශයය, ආමාශයය ආදී වශයෙන් යෙදිය යුතු ය. එ වුව ද නූතන ව්‍යවහාරයේ ඒක වචන පද ලෙස යෙදෙනුයේ ගර්භාශය, ජලාශය, ආමාශය ආදී සාවද්‍ය රූප ම ය. මේ සාවද්‍ය ව්‍යවහාරය ‍ෙකා තරම් දුර ගොස් ඇත්තේ ද යනු ජලාශ, ගර්භාශ, ආමාශ ආදී නාම ප්‍රකෘති හෙවත් බහු වචන රූප සුලභ වැ යෙදීමෙන් පෙනී යයි. ඡේක ව්‍යවහාරය (වියතුන් ගේ වහර) යොදන්නවුන් විසින් කළ යුත්තේ ඒක වචනයෙහි ‘ය’ කාර දෙකක් (ගර්භාශයය) ද බහු වචනයෙහි හෙවත් ප්‍රකෘතියෙහි එක් ‘ය’ කාරයක් (ගර්භාශය යෙදීම යි.

2. ගබ්/ ගැබ් - සංස්කෘතයෙහි ගර්භ; පාලියෙහි ගබ්භ යන දෙ වදනට අනුරූප වැ සිංහලයෙහි ගබ් යන්න මෙන් ම ගැබ් යන්න ද යෙදේ. ඇතැම් වියත්හු ‘ගැබ්’ යන්නෙහි මුල ‘ඇ’ යෙදීම සාවද්‍ය ලෙස සලකති. ඒ වුව ද එබඳු වදන් ගණනාවක් ම සිංහලයෙහි යෙදේ. රස් - රැස්, බව් - බැව්; (ස්ථානවාචී) තන් - තැන්; නකත් - නැකැත් ආදිය උදාහරණ වේ. මෙ සේ මුල ‘අ’ ‘ඇ’ බවට පත් වීම ස්වාර්ථ තද්ධිත න්‍යායයෙන් වූවක් ලෙස සලකා එසේ යෙදෙන සියලු වද නුදු නිවැරැදි සේ ගැන්ම ව්‍යාකරණය හා එකඟ වේ. එ අනුව, ගබ් මෙන් ම ගැබ් ද නිවැරැදි වහර යි. ගම් යන්නෙහි අග ‘බ්’ යනු ‘ප්’ වීමෙන් (අඝෝෂාද්ශයෙන්) ‘ගප්’ යනු ද යෙදේ.

3. ගවු - තාම ප්‍රකෘතිය හා බහු වචනය හා ලෙස යෙදෙන කල්හි මෙ සේ අග ‘වු’ සහිත වැ ගවු යනු ලිවීම හරි වහර යි. (හල්) ‘ව්’ සහිත වැ ‘ගව්’ යනුවෙන් ලිවීම නිවැරැදි නො වේ. එ වුව ද ඒක වචනයෙහි යෙදෙන කල් හි (‘ව්’ සහිත වැ) ‘ගව්ව’ යනුවෙන් ලිවීම වරදක් නො වේ. පද සිද්ධිය අනුව එ සේ යෙදිය හැකි හෙයිනි. ‘ගවු’ යන්නට (ඒක වචන) ‘අ’ ප්‍රත්‍යයය එක් වන කල්හි ‘වු’ යන්නෙහි (උ) ස්වරය ලොප් වී එය ද්විත්ව වෙයි. ඉක්බිති වැ එක් ‘ව්’ යන්නත් එ සේ ම තිබිය දී අනෙක් ‘ව්’ ‘අ’ ස්වරය සමඟ එක් වී ‘ව’ බවට පත් වෙයි. (ගවු + අ > ගව්) + අ > ගව්ව) ‘ගව්ව’ නිපැදෙනුයේ එ සේ ය.

අනෙක් අතින් ගත් කල්හි ‘ගවුව’ යනුදු ඒක වචන පදයක් වශයෙන් නිරවද්‍ය වේ. එහි පද සිද්ධිය මෙසේ වෙයි. ‘ගවු’ යන ප්‍රකෘතියට ‘අ’ ප්‍රත්‍යයය එක් වීමේ දී එ මැදට ‘ව්’ ආගමය (අමුතුවෙන් පැමිණීම) සිදු වෙයි. එය ‘අ’ ප්‍රත්‍යයය හා එක් ව ‘ගවුව’ යනු නිපැදේ. (ගවු + අ > ගවු + ව් + අ > ගවුව) අව්ව = අවුව; පව්ව - පවුව ආදිය ද මෙ බඳු ම නිවැරැදි වදන් යුවළ වේ. ගවු යනු සැතැපුම් සතරෙක දුර දක්වනු පිණිස යෙදේ

Comments