සිනා කතා | සිළුමිණ

සිනා කතා

  එච්චර වෙලා මෙතන ලගින්න ද කියන්නෙ?

නුගේගොඩ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථය නාවල හන්දිය පසුවීමත් සමඟම හමුවන ඉන්ධන හල දෙසට හරවද්දී හිස ඔසවා බැලු ජගත් තමා කියවමින් සිටි පොත දෙසට නැවතත් යොමු වුණේ කිසියම් අප්‍රසාදයකින් යටිතොල පෙරළමිනි.

“නෑ... නෑ... විනාඩි 10කට වඩා යන්නෙ නැහැ. හරි... අපි විනාඩි 10කින් පිටත් වෙන්නං.” කිසිවකු උස් හඬින් කියනවා ඇසුණු ජගත් කෝපයෙන් පොත වසා දමා මෙසේ කීවේය.

“තමුසෙ අපිට කියන්නෙ මේ පෙට්‍රල් ෂෙඩ් එකේ විනාඩි 10ක් අපිට ලගින්න කියල ද? ජගත් එසේ කීවේ ඒ නැඟුණු හඬ බස් රථයේ රියැදුරා තම ජංගම දුරකථනයට පැමිණි ඇමැතීමකට දුන් පිළිතුරකැයි වරදවා වටහාගෙනය.

 

පින් කරලා තියෙන්නෙ කවුද?

“මනුස්ස ලෝකෙ උපදින්ඩ වාසනාව නැතුව අපි මේ තිරිසන් ලෝකෙ ඉපදිලා ඉන්නෙ පව් කරපු හින්දයි කියල මිනිස්සු කියනවා මට ඇහිලා තියෙනවා. ඒක මොන බොරුවක්ද හාමිනේ.” අඹ ගහේ ඉහළ අත්තක හොඳින් පැසී තිබුණු අඹ ගෙඩියකට ඉව අල්ලමින් ලේනෙකු තම අඹුව දෙස බලා කීවේය.

“ඇයි ඔයා එහෙම කියන්නෙ?” ලේනි එසේ ඇසුවේ ඉදුණු අඹයකට දත ගසමිනි.

“ඇයි හාමිනේ ඔය පින් කරලා ඉපදුණු මිනිස්සු කන්නෙ අපි හප කර කර ඉන්දැද්දි බිම වැටෙන අඹවල ඉතුරු හරිය නෙමෙයි ද?” ලේනා කීවේ ටිං ටිං ගාමිනි.

 

ඇඳ උඩ තියාගන්ඩ ද?

“ළඟදි අලුත් පොතක් එහෙම ලිව්වේ නැද්ද ගුණධීර මහත්තයා?” දුරකථනය මඟින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී කළුතන්තිරි ගුණධීර ගෙන් විමසීය.

“තමුසෙ මේ බණ කතා කරනවා. මම අන්තිමට ලියපු පොත් දෙක තුන මගේම ප්‍රකාශන විදියටනෙ නිකුත් කළේ. ඒ හින්දා ඒ පොත් බෙදාහරින්න සිද්ධ වුණෙත් මටමනේ. පළවැනි වටයෙදි ප්‍රධාන පොත් සාප්පු හැම එකකටම ඔය පොත් භාර දුන්නනෙ විකුණන්ඩ. ඒත් ඒවා විකුණුනු පාටක් නං නෑ. ඒ ගැන ඒ පොත් සාප්පුවලින් අහලම මට එපා වෙලා තියෙන්නෙ. ඉතින් ඉතුරු වුණු පොත් ගබඩා කරන්ඩ අපේ ඉස්ටෝරු කාමරේ ඉඩ මදිවෙලා, කොටසක් ගොඩ ගහලා තියෙන්නෙ මගෙ නිදන කාමරේ. තමුසෙට කියන්ඩ මම උදේට ඇ‍ඳෙන් නැගිටලා දොර ළඟට යන්නෙත් බොහොම අමාරුවෙන්. තව අලුත් පොතක් අච්චු ගහලා ඇඳ උඩ තියාගන්ඩ කියල ද තමුසෙ මට කියන්නෙ.” ගුණධීර කීවේ නැඟී එන කෝපයෙනි.

 

ඒ තරම් දුරක් ෂුවර් නැහැ

“ඇය මිස්ටර් ගොඩගේ ඔහේ පොල්ගහවෙලට යනවා කියල නේද කිව්වෙ? ඉතින් ඇයි මේ ගම්පහට යන්ඩ ටිකට් එකක් ගත්තෙ?” දුම්රිය ප්‍රවේශපත් කවුන්ටරයේ සිටි ගොඩගේ මහතා කවුන්ටරයෙන් මෑත් වෙද්දී ඊට පිටුපසින් සිටි පින්තු ඇසුවේ තරමක විශ්මයෙනි.

“නෑ මිස්ටර් පින්තු, ගිය සුමානෙ හදිසියෙම මට පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙට ඇතුළු කළ වෙලාවේ මාව පරීක්ෂා කරපු දොස්තර මහත්තයා කිව්වා මාව නිට්ටාවටම හොඳ කරන්ඩ බැහැයි කියල. හදවත හොඳටම දුර්වල වුණත් මගෙ වයසත් එක්ක සැත්කමක් කරන එක අවදානම් කිව්වා. ඔය තත්ත්වය යටතේ කොයි වෙලේ මං මැරෙයිද කියන්ඩ බැහැ. ඉතින් පොල්ගහවෙලට එක පාරටම ටිකට් එකක් ගන්න එකේ තේරුමක් නැහැනෙ. ගම්පහට කිට්ටු කරලා ඒ වෙනකොටත් ප්‍රශ්නයක් නැත්තං විතරක්, එතැනින් පොල්ගහවෙලට ටිකට් එකක් ගන්ඩයි මම හිතුවේ.” ගොඩගේ විස්තර කළේය.

 

එන්ඩ පුළුවන් වෙයි ද?

“මේ අවුරුද්දෙ අන්තිමට අපේ නාට්‍ය බල මණ්ඩලයේ සංවත්සරය යෙදෙනවනෙ. මං යෝජනා කරන්න කැමැතියි, ශේක්ස්පියර්ටයි, බර්ටෝල්ට් බ්‍රෙෂ්ටයි ආරාධනා කරලා ඒ දෙන්නගේ ප්‍රධානත්වයෙන් අපේ සංවත්සරය පවත්වන්න. ඒක අපේ බල මණ්ඩලයට හොඳ ගෞරවයක් වගේ ම හොඳ ප්‍රසිද්ධියකුත් ලැබෙන අවස්ථාවක් වෙන එක සිකුරුයි.” බල මණ්ඩලයේ මාසික රැස්වීමේදී නැඟී සිටි සභාපති මිත්‍රපාල කීවේය.

“සභාපති තුමනි, දැන් ඔය දෙන්නම මැරිලා සෑහෙන කාලයක් ගතවෙලා හින්දා ඒගොල්ලන්ව ගෙන්නා ගන්ඩ පුළුවන් වෙයි ද කියන එක තමයි ප්‍රශ්නෙ.” කුමාරසිරි නැඟී සිටිමින් කීවේ සෝපහාස සිනාවක් නඟමිනි.

 

කන්ඩ හදන්නෙ මාවනෙ

“මම මීට කලිනුත් දවසක් දා දැක්කා කළුතන්තිරි මහත්තයා ඔය කඩ මණ්ඩිය අයියෙන් ඇවිත් කන්ද නඟින කොටම තියෙන ගෙවල් පේළිය ළඟදී බොහොම කලබලෙන් පාර පැනලා තරමක වේගෙන් පස්ස නොබලා ඒ මණ්ඩිය පහුකරලා යනවා. ඇත්තටම මොකද ඒ?” හතිලමින් පාරේ ගමන් කරමින් සිටි කළුතන්තිරි නවතා උපසේන ඇසුවේ තරමක කුතුහල‍යකිනි.

“ඔය ගෙවල් පේළියේ මැද ගෙදර තරුන හාදයෙකුට මඟුලක් කතා කරලා ඒකෙ පොරොන්දම් ගැළපෙනවද බැලුවේ මම. මිනිහා දැන් තුන් මාසෙකට විතර කලින් ඒ කසාදෙ කර ගත්තා. ගිය මාසෙ ඒ මනමාලි කවුදෝ හාදයෙක් එක්ක පැනලා ගිහින්. අර යකා දැන් කන්ඩ හදන්නෙ තමන්ව දාලා ගිය ගෑනිවයැ, මේ පොරොන්දම් බැලුව මාවනෙ.” කළුතන්තිරි සැලෙමින් කීවේ වරින් වර පිටුපස බලමිනි. 

Comments