ලොවපුරා පහන් ආලෝක උත්සව | Page 2 | සිළුමිණ

ලොවපුරා පහන් ආලෝක උත්සව

පහන් කූඩු හා තොරණ නිසා පසුගිය දින කිහිපයේ අපේ මුළු රටම වාගේ වර්ණවත් ආලෝක රටා වලින් අලෝකමත් වී තිබුණා. මේ අසිරිමත් වෙසක් මංගල්‍යයේ බාල මහලු කොයි කවුරුත් ප්‍රිය කරන ක්‍රියාවක් වන්නේ රාත්‍රී කාලයට වර්ණවත් වෙසක් සැරසිලි නැරඹීමට යාමයි. බොහෝ කාලයක සිට වෙසක් කූඩු සෑදීම ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරගෙන යනු ලබන අතර වෙසක් කූඩු වල අතීතය වසර 2000ක් තරම් ඈතට අපව ගෙන යනවා. නැගෙනහිර චීනයේ හං රජ පෙළපතේ Hanmingdi නම් අධිරාජ්‍යයා බුදු දහමට අනුව දිවි ගෙවූ පාලකයකු වන අතර මොහුට දිනක් භික්ෂූන් වහන්සේලා සමහරකු චීන චන්ද්‍ර දින දර්ශනයේ පළමු මස 15 වැනි දින බුදු රජාණන්වහන්සේට ගෞරව කිරීම සඳහා පහන් කූඩු දල්වන බව දැනගැනීමට හැකිවී තිබෙනවා. එතැන් පටන් එම අධිරාජ්‍යයා සියලුම පන්සල්, නිවාස හා රජ මාළිගාවන් වලට එම දිනයේදී පහන් කූඩු දැල්වීමට අණ කර තිබෙනවා. එතැන් පටන් පහන් කූඩූ දැල්වීමේ චාරිත්‍රය ලොව පුරා ව්‍යාප්ත වී ඇති බව සඳහන් වනවා. වර්තමානයේදී විවිධාකාර වූ උත්සව සඳහා පහන් කූඩු දැල්වීම ලොව පුරා රටවල් රැසකින් දැකගැනීමට හැකි වූවත් ශ්‍රී ලංකාවේ අපි නම් තවමත් පහන් කූඩු දල්වන්නේ වෙසක් මංගල්‍යයේදී ගෞතම බුදු රජාණන්වහන්සේට ගරු කිරීමක් ලෙසයි.

ජර්මනියේ බර්ලින් ආලෝක උත්සවය

ජර්මනියේ අගනුවර වන බර්ලින් නගරය විසින් සංචාරක ආකර්ෂණය ඉහළ දැමීම සඳහා 2004 වසරේදී බර්ලින් ආලෝක උත්සවය ආරම්භ කර තිබෙනවා. මෙම උත්සවයේදී නගරයේ තිබෙන ඉතාමත් වැදගත් හා කැපී පෙනෙන ස්ථාන ත්‍රිමාණ වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගෙන විවිධ වර්ණ හා විවිධ රූප මගින් ආලෝකමත් කිරීම සිදු කරනු ලබනවා. පසුගිය වසරේදී මෙම උත්සවය නැරඹීමට පමණක් බර්ලින් නගරය වෙත සංචාරකයන් මිලියන දෙකකට වඩා පැමිණ තිබෙනවා. ඔක්තෝබර් මස 7වැනිදා සිට 16 වැනිදා තෙක් රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය තෙක් 

මෙම උත්සව පැවත්වෙනවා. උත්සවය පැවැත්වෙන අතරතුරදී ඡායාරූප තරගයක් පැවැත්වෙන අතර අලෝක උත්සවයේ ඡායාරූප අතරින් ජයග්‍රාහකයින්තෝරා වටිනා ත්‍යාග පිරිනැමීම සිදු කරනු ලබනවා. බර්ලින් රූපවාහිනී කුළුණ, Brandenburg ද්වාරය, Nikolaiviertel (පැරැණි බර්ලිනයේ ගොඩනැගිල්ලක්) වැනි ස්ථාන වලට ජනයා විශාල වශයෙන් රොක් වන්නේ මොහොතින් මොහොත වෙනස් වන අලෝක රටා නිසා හැඩගැන්වෙන ගොඩනැගිලි වල අලංකාරය අත් විඳීමටයි.

ඇමෙරිකා වේ චීන පහන්කූඩු

ආලෝකය හා සම්බන්ධ ඉතාමත් වර්ණවත් උත්සව කිහිපයක් ගැන තොරතුරු අද ඔබ වෙත ගෙන එනවා. අපගේ වෙසක් උත්සවය හා සමානම උත්සවයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මයාමි (Miami) ප්‍රදේශයේදී පැවැත්වෙන අතර චීන පහන් කූඩු ප්‍රදර්ශනයක් ලෙස හැඳින්වීමට හැකි මෙම උත්සවයේදී විශාල පහන් කූඩු රැසක්ම දක්නට ලැබෙනවා. මකරුන්, නෙළුම් මල්, මොණරුන් හැඩැති පහන් කූඩු රැසක් මෙහිදී දැකගත හැකියි. මෙම වසරේදී මේ උත්සවය පවත්වා ඇත්තේ අප්‍රේල් මාසයේ සිට මැයි මස මුල දක්වායි. ලෝකයේ හොඳම පහන් කූඩු සාදන්නන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය පවත්වන කාලය පුරාවටම චීන සාම්ප්‍රදායික ආහාර රසවිඳීමටද නරඹන්නට අවස්ථාව ලැබෙනවා.

නෙදර්ලන්තයේ මිහිපිට සුරපුරය

නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම් නගරය කියන්නේ පෞරාණික ගොඩනැගිලි වලින් හා නගරය මැදින් ගමන් කරන ඇළ මාර්ගයකින් සැදුම්ලත් ලොව තිබෙන අලංකාරම නගර වලින් එකක්. ඈම්ස්ටර්ඩෑම් අලෝක උත්සවය නිසා මෙහි සිරි අසිරිය තවත් තීව්‍ර වනවා. වර්ණවත් අලෝක රටා වලින් හැඩගැන්වී තිබෙන ජල තලය මතු පිටින් කුඩා බෝට්ටුවක රාත්‍රී සංචාරයක යෙදීම යනු මිහිපිට සුරපුරයක ගමන් කරනවා වැනි හැඟීමක් ඇති කරන සංචාරයක් ලෙස පැවසුවහොත් එය අතිශෝක්තියක් නොවන බව ඡායාරූප නරඹන ඔබට වැටහේවි. මෙම වසරේත් නොවැම්බර් මස සිට ලබන වසරේ ජනවාර මස තෙක් මෙම උත්සව පස්වැනි වරටත් පැවැත්වෙනවා.

 

 

[email protected]

Comments