
පැණි මකුළුවෝ ඔබේ පළමු සිනමා රංගනය. ඒ ගැන දැනෙන්නේ කොහොමද අයිශාරා?
ආසාවෙන් කරපු චරිත නිරූපණයක්. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා. පැණි මකුළුවෝ නිෂ්පාදක උදාර පල්ලියගුරු මට මේ චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එක දුන්නා. ඒක කියවන කොට මේ චරිතය කරන්න ලොකු ආසාවක් ඇති වුණා. ගැහැනු කෙනෙක්ගේ කතාවක්. අන්තර්ජාලය නිසා සිදුවන සත්‍ය කතාවක් පදනම් කරගෙන මෙය නිර්මාණය වෙන්නේ.
ඔබ ක්ෂේත්‍රයට එක් වන්නේ නිරූපිකාවක් ලෙස?
මොඩ්ලර් කෙනෙක් විදිහට වසර කිහිපයක් කටයුතු කළා. පසුව ස්වර්ණවාහිනී ආයතනයේ ලයිව් සන්ඩේ ෆෝග්‍රෑම් එක කළා. එතැන දී දිනෙත්ව හඳුනාගන්න ලැබුණා. දිනෙත් තමයි පැණි මකුළුවෝ චිත්‍රපටයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාකර දුන්නේ.
මේ චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන මොකද හිතෙන්නේ?
මම මෙහි නිලූ කියන තරුණ කාන්තාවගේ චරිතය රඟ දක්වන්නේ. විශේෂයෙන්ම තරුණ යුවතියක් වැඩිමහල් කෙනෙක් සමඟ විවාහ වෙලා ගමෙන් නගරයට යනවා. හස්බන්ඩ් වැඩට ගියහම ඇය ගත කරන්නේ හුදෙකලා දිවියක්. කතා කරන්න කෙනෙක් නැහැ. දුක සැප බෙදා ගන්න කෙනෙක් නැහැ. හස්බන්ඩ් හැමවෙලාවෙම බිසී. මේ අතර අහම්බෙන් සිදු වූ අනතුරකින් පසුව තරුණයකු ඇයට හමුවෙනවා. ඔවුන්ගේ ඒ හමුවීම දුරකතනයෙන් , අන්තර්ජාලයෙන් දුර දිග යනවා. ඒ හැම වෙලාවෙම ඇගේ දුක සැප මේ තරුණයා හා කතාබස් කරනවා. ඔහුත් කිසිම විටෙක ඇයට නරක දෙයක් පවසන්නේ නැහැ. නමුත් ආර්ථික ප්‍රශ්න හමුවේ තරුණයා අසරණ වෙනවා. එවිට ඔහු අන්තර්ජාලය ඔහුගේ පිහිටට ගන්නවා. ආර්ථික ප්‍රශ්නවලින් ගොඩ එන්න එය මඟක් කර ගන්න උත්සාහ කරනවා. අවසානයේ මේ ජීවිත දෙකට අත්වන ඉරණම විවිධ සමාජීය, ආර්ථික,සංස්කෘතික, ආගමික මේ හැම පැත්තක් ඔස්සේ ම මේ කතාවෙන් විග්‍රහ වෙනවා. අද කාළේ සෑම කාන්තාවක්ම, සෑම කෙනෙක්ම නැරඹිය යුතුම චිත්‍රපටයක් මෙය.
මේ චිත්‍රපටය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම අද කාළේ කතා කළ යුතුම මාතෘකාවක් ඔස්සේ තමයි මේ සිනමා නිර්මාණය දිග හැරෙන්නේ. අද අන්තර්ජාලය , ෆේස් බුක් ,ස්කයිප් නිසා මොනතරම් නරක දේවල් මේ සමාජයේ සිදුවෙනවාද? සමහර විට කාන්තාවන්ට ප්‍රශ්න ඇති වෙන්නේ ශාරීරිකව විතරක් නෙමෙයි අද ඔන් ලයින් ඔස්සේත් මේ දේ වෙනවා. අතකින්වත් අල්ලන්නේ නැතිව ඔන් ලයින් ඔස්සේ සිදුවන හමුවීම් නිසා පවුල් ජීවිත ඉහිරී යන්න පුළුවන්. අවසානයේ මරණය දක්වාම ඒ දේවල් දුර දිග යන්න පුළුවන්.
මේ වන විට ඔබ රංගනය හදාරනවා?
ඔව්. සිනමාව කියන්නේ හරිම ඉන්ටරස්ටින්ග් ෆීල්ඩ් එකක්. ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. ඒනිසාම මම මේ දිනවල රංගනය සම්බන්ධ වැඩමුළු, පොතපත හදාරනවා. මේ චිත්‍රපටයේ දී ප්‍රවීණයන් රැසක් සමඟ වැඩ කරන්න ලැබුණා. එයත් ලොකු අත්දැකීමක් වුණා.
ඉදිරියේ දී ඔබේ නිර්මාණ කටයුතු?
හොඳ නිර්මාණවලට දායක වෙමින් සමාජයට පණිවිඩයක් දෙන්න මම කැමැතියි. ඒ වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්.
දිනෙත්, සිනමා රංගනය ඔබට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි?
චිත්‍රපට හතක පමණ රඟපා ලැබූ අත්දැකීම්වලින් අනතුරුවයි ‘පැණි මකුළුවෝ‘ සිනමා නිර්මාණයට දායක වන්නේ. ප්‍රවීණ සිනමාකරුවන් රැසකගේ සිනමා නිර්මාණයන්ට මම දායක වී තිබෙනවා. ඒ වගේම සී රජ, දස්කොන් වැනි දැවැන්ත ටෙලි නිර්මාණවලටත් මගේ දායකත්වය ලබා දුන්නා. ඒ අත්දැකීම් මගේ රංගනයට ආලෝකයක් වුණා.
‘පැණි මකුළුවෝ‘හි තරුණයා වෙනස්ම ආරක චරිත නිරූපණයක්?
මම ආසම කරපු චරිතයක් එය. සමාජයේ වෙනස්ම පැතිකඩක් පෙන්වමින් එළියට එන චිත්‍රපටයක්. මාධ්‍ය දියුණුවත් සමඟ සමාජයේ ඇති වී ඇති පරිහාණීය පැතිකඩක් මෙයින් නිරූපණය කරනවා. අද සමාජයේ නිතර අහන්න දකින්න ලැබෙන සිදුවීම් ඔස්සේ සමාජයට පණිවිඩයක් දිය හැකි නිසා මම මේ චරිතය ආසාවෙන් රඟපෑවා.
එවැනි තරුණයන් අද සමාජයේ සිටිනවාද?
අනන්තවත්. මේ තරුණයා හරිම අහිංසක චරිතයක්. දුරකතනයෙන් නිලූ සමඟ කතා කළත් අනවශ්‍ය දේවල් පවසන්නේ නැහැ. ඔවුන්ගේ සම්බන්ධය අතිශය සානුකම්පිතයි. නමුත් ඔහුට මුහුණපාන්නට සිදුවන ආර්ථික ප්‍රශ්න හමුවේ සල්ලි උපයන්න ඔහු තුරුම්පුවක් කර ගන්නේ මේ තරුණ කාන්තාව හා අන්තර්ජාලය. ස්කයිප් එක, ෆේස් බුක් අද තාරුණ්‍යයට ඉතා සමීපයි. මේවායේ පළ කරන ජායාරූප වීඩියෝ ගැන තාරුණ්‍යය දෙවරක් හිතන්නේ නැහැ. මේවා තියෙනවා නම් ඔවුන්ට මොනවත් අවශ්‍ය නැහැ. නමුත් ජීවිතයේ විනාශයටත් මේවා ඉතාම සමීපයි අද. ඒ සත්‍ය මේ කතාව ඔස්සේ පෙන්වා දෙනවා. අහිංසක තරුණ ජීවිතයක් සමාජ ජාලා මාධ්‍ය නිසා විනාශ වන හැටි පැණි මකුළුවෝ ඔස්සේ පෙන්වා දෙනවා.
‘පැණි මකුළුවෝ‘ මොකක්ද මෙහි තේරුම?
මකුළුවා කියන්නේ සැමතැනකම වගේ දැල් බඳිනවා. ඒ දැල් තුළට වෙලා තමාගේ දඩයම සාක්ෂාත් කර ගන්නවා. ඒ වගේම මකුළුවාගේ ගෑනු සතා පිරිමි සතාව කනවා. අද ස්කයිප්, ෆේස් බුක් වගේ වෙබ් අඩෙවිත් මේ වගේ කියල කියන්න පුළුවන්. නමුත් දැල වෙනුවට මේවායින් වෑහෙන්නේ පැණි ජාලයක්. ඒ වගේ පැණි වෑහෙන මකුළුවෙකුට අහුවුණොත් සිදු වෙන්නෙත් විනාශය. මේ නිසා තමයි මේ චිත්‍රපටය එලෙස නම් කෙරුණේ.
දිනෙත් ගේ බලාපොරොත්තු?
සමාජයට යම් පණිවිඩයක් දිය හැකි නිර්මාණවලට දායක වෙලා ජාත්‍යන්තර සම්මානයක් ලංකාවට අත්කර දිමයි මගේ බලාපොරොත්තුව.