ජාත්‍යන්තර සම්මානයක් දිනා අ‍පි ගැන ලෝකයටම පෙන්නුවා | සිළුමිණ

ජාත්‍යන්තර සම්මානයක් දිනා අ‍පි ගැන ලෝකයටම පෙන්නුවා

ශ්‍රි ලාංකේය ජන සංගීතයට ප්‍රාසාංගික මුහුණුවරක් ලබා දෙමින් ජන සංගීතය නවමු මගකට ගෙන ගිය තරුණ කලාකරුවකු ලෙස කවුරුත් දන්නා සහන් රන්වල මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙයි. අප අතරින් වියෝ වු ලයනල් රන්වලයන්ගේ ආදරණීය පුත්වන සහන් ගෙවුණු මතකයන් මෙසේ අවදි කළා.

 පළමු රංගනයට හොඳ ප්‍රතිචාර

මම කුඩා කාලයේ සිටම රංගනය, ගායනය, නර්ථනය යන අංශ තුනටම දක්ෂතා දැක්වුවා. ඒ පියා වන ලයනල් රන්වලයන් ගායනය, නර්තනය, රංගනය යන අංශ තුනටම දක්ෂ පුද්ගලයෙක් නිසා වෙන්න ඇති. මට මතකයි කුඩාම කාලයෙ අපේ ප්‍රදේශයේ පැවැත්වු උත්සවයක රඟ දැක්වු විදුර නාටකයේ මමත්, අයියාත්, විදුර පණ්ඩිතගේ දුව සහ පුතාට රඟපෑවා. මම තමයි දුවගේ චරිතය රඟදැක්වුවේ. එදා තමයි මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවක රංගනයක් ඉදිරිපත් කළේ. එවකට ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස මහතාත් එම උත්සවයට සහභාගි වුවා මතකයි. ඒ කාලෙත් මගේ රංගනයට හොඳ ප්‍රතිචාර ලැබුණා.

පාසල් මිතුරු ඇසුර හරිම විනෝදයි

අශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා හය වසරේදි කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වනවා. එය තමයි මගේ ජීවිතයේ ලස්සනම කාලය. අපි වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. ගාමින්ද ප්‍රියවිරාජ්, ජනනාත් වරකාගොඩ, රජිත් රත්නායක, භානුක වගේ අද කලා කේෂේත්‍රයේ ඉහළින්ම සිටින මිතුරන් හමු වුයේ ආනන්දයේදියි. අපි එක්වී වේදිකා නාට්‍ය නිර්මාණය කරනවා. මට මතකයි ගාමින්ද සහ අපි එකතුවී නාට්‍යයක් නිර්මාණය කළා. නාට්‍ය නිර්මාණය කළාට ඒකෙ තේරුමක් නෑ. අපිටවත් තේරෙන්නෙ නෑ මොකද්ද මේකෙ තේරුම කියලා. නාට්‍ය නරඹපු අය අපි ළඟට ඇවිත් කියනව මේක නේද තේරුම මෙහෙම වුණානම් හොදයි නේද කියා. පස්සෙ අපිත් කල්පනා කළා කවුරු මොකක් කියුවත් ඔව් ඒක තමයි තේරුම කියන්න. එදා තමයි මම තේරුම් ගත්තෙ නොතේරෙන යමක් කළොත් මාර සම්භාව්‍යයයි කියලා. ඒවගේ දේවලට ගොඩක් අය කැම­ැතියි කියල.

එතනින් පස්සෙ අපි කට්ටිය එකතු වෙලා විවිධ වැඩසටහන් සංවිධානය කළා. ඒ මිතුරු ඇසුර අදත් මතක්වෙනකොට සිතට දැනෙන සතුට කියන්න බැරි තරම්.

අභිරූපණ රංගනයට නිවේදක වරම්

පාසලෙන් සංවිධානය කළා නිවේදකයන් තෝරාගන්නා තරගයක්. මමත් ඒ තරගය සංවිධානය කරන සංවිධායක මණ්ඩල‍යේ සිටියා. සිරස ගුවන්විදුලියේ කිංස්ලි රත්නායක හා තමාලි පීරිස් විනිෂ්චයට සහභාගි වී සිටියා. නිවේදක තරගය අවසානයේදි වින්ෂ්චය ලබාදෙනතුරු මමත්, රජිත් රත්නායකත් අභිරූපණ රංගනයක් කළා. මෙන්න නිවේදක ලෙස සහන් රන්වල තේරුණා කියල විනිශ්චය දෙනව. හිතාගන්නවත් බෑ මොකද වු‍ෙණ් කියා. අභිරූපණ රංගනය ඉදිරිපත්කළ මා නිවේදක තරගයේ ජයග්‍රාහකයා වුණා. මම හිතන්නේ ලෝකයේම අභිරූපණයක් ඉදිරිපත්කර නිවේද‍කයෙක් වු එකම පුද්ගලයා මම වෙන්නඇති. එහි ප්‍රතිඵලයක් තමයි සිරස ආයතනයේ නිවේදකයෙක් වෙන්න වරම් ලැබුණේ. වසර එකහමාරක් විතර සිරසට සම්බන්ධවෙලා පුහුණුවන නිවේදකයෙක් ලෙස කලාපලස වැනි වැඩසටහන්කළා. මට මතකයි සමහර වැඩසටහන් රෙකෝඩින් කරල බස් එකේ ගෙදර යනකොට බස් එකේ එම වැඩසටහන් ප්‍රචාරය වෙනවා. ඒ වෙලාවට මාර සතුටක් දැනනේ්‍ෙන. තාත්තගෙ වියෝවත් සමගම ගුවන් විදුලියට සමුදී තාත්තාගේ නාට්‍ය කණ්ඩායමේ වගකීම මට බාරගන්න සිදුවුණා. එය මගේ ජීවිතයට ලැබුණු ලොකු ආශිර්වාදයක්. අපේ නාට්‍ය කණ්ඩායමත් සමග අපේ රටේ නොගිය අස්සක් මුල්ලක් නෑ.

පළමු සංචාරය අබුඩාබියේ

හැම ප්‍රදේශයකම අපේ නාට්‍ය බලන්න රසිකයන්ගෙන් විශාල ඉල්ලීමක් තිබෙනවා. 2006 මුල් වරට නාට්‍ය කණ්ඩායමත් සමග අබුඩාබියේ සංචාරය කළා. ඉන් පසුව විවාහයෙන් පසුව එංගලන්න ජනසංගීත වැඩසටහනකට මගේ බිරිඳත් සහභාගි වුණා. එහිදී අපි ශේක්ස්පියර්ගේ ගම්මානය බලන්න ගියා. ඒ මතකය න් කවදාවත් ජිවිත්අමතක වෙන්න නෑ. එහිදී ලබපු අද්දැකීම හා මිහිර හැමදාටමමතකයේ තියෙනවා.

තාත්තාගේ වියෝවෙන් පසුව රන්වල ජන සංගීත කණ්ඩායමේ වගකීම මට පැවරුණා. අපේ ජන සංගීතය ටිකෙන් ටික ජාත්‍යන්තරයට ගෙන යෑම මගේ මුලික පරමාර්ථය වුණා.එහි ප්‍රතිඵලයක් තමයි චීනයේ ෂැන්ජියායි ජි ජාත්‍යන්තර ජන සංගීත සම්මාන උළෙලේදි අපි ලබපු ජයග්‍රහණය. අපි සියලු දෙනා පළමු දවසේ එහි පුහුණු වීම්වලට සභාගි වුයේ අපේ ප්‍රධානම උපකරණය වන බෙරයත් නැතිව. අපි සියලු දෙනාගේම බෙර ලංකාවේ දමා ගිහින්. ඒත් අපි පෙර පුහුණුවීම් කළා.තරගයට පෙර දිනයි‍ ඒවා ගෙන්වා ගැනීමට හැකිවුණේ. රටවල් 28ක කණ්ඩායම් 39ක් සහභාගි වුණා. සියලුම කණ්ඩායම් පරදා රන්වල බළකාය වැඩිම ලකුණු ලබාගෙන ජයග්‍රහණය කළා කියල නිවේදනය කළ අවස්ථාවේ දැනුන සතුටු අද වගේ මතකයි. මට මතකයි සතියක් පුරා පැවැත්වුණු එම තරගයට දවස ගානෙ අපි විවිධ අභිනවයන් ඉදිරිපත්කළා. ලංකාව ගැන කිසිම දැනුමක් නැතත් ඔවුන් අපේ ජනගීතවලට හා සංගීතයට දක්වන ඇල්ම අපට තේරුණා. අවසන් මහා තරගය එම රටේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේයි පැවැත්වුණේ. ප්‍රංශය, ඉන්දියාව ආදි ප්‍රබල රටවල් හය අතර අපේ රටේ කොඩිය එහි ප්‍රදර්ශණයකර තිබෙනවා දුටු විට දැනුන ජාතික හැගීම අදටත් දැනෙනවා. ලෝකයේ හොඳම ප්‍රාසාංගික ජන ගී කණ්ඩායම ශ්‍රි ලංකාව බව පැවසු විට අපි සියලු දෙනාම හරිම සතුටු වුණා. එදා සතුටු කදුළු වගුරවමින් රාත්‍රි නිදි නැතුව දේශාභිමානි ගීත කියමින් අපි නවාතැන් ගෙනසිටි ස්ථානයට ගිය දවස ජීවිතයේ කවදාවත් අමතක නොවන දවසක්.

රටේ සුනාමිය ගෙදරට බලපෑවා

2005 වසරේ අපේ රටට බලපෑ සුනාමි ඛේදවාචකය අපේ ගෙදරටත් තදින්ම බලපෑවා. සුනාමියෙන් අවතැන්වු ජනතාවට අපි පිහිට වුණේ අපි ළඟ තිබෙන සියලුම මුදල් පරිත්‍යාගකිරීමෙන්. සුනාමියෙන් පසුව ප්‍රසංග නැතිවෙයි කියා අපිට නිකමටවත් හිතුනෙ නැහැ. සුනාමියත් එක්කම රටේ කාලයක් යනවිට ප්‍රසංග කිසිවක් පැවැත්වුයේ නෑ. අපි ළඟ ඉතුරුකරගත් මුදලකුත් නෑ. මට මතකයි ගෙදරට කන්න දෙයක් ගන්න සතයක් නැහැ. රුපියල දෙක එකතුකර පාන් භාගය, පොල් ගෙඩිය මිලට අරන් බොහොම අමාරුවෙන් ජීවත් වුණා. ඒ කාලයෙ ජීවිතය ගැටගසාගත්තේ හරිම අමාරුවෙන්.

ඇපල් දඩය 40,000යි

ඇපල් ගෙඩි 4කට රුපියල් 40,000ක් ගෙවන්න වුණොත් ඔබට මොකද හිතෙන්නේ.. හිතාගන්නත් බෑනේ. මටත් ඒ වගේ සිද්ධියකට මුහුණ දෙන්න වුණා.අපි ගියා නවසීලන්ත සංචාරයකට. එයට පෙර ඕස්ට්‍රේලියාවේ සිටයි අපි නවසීලන්තයට ආවේ. එහිදී මගේ හිතවතකු ඇපල් ගෙඩි හතරක් මිලට අරගෙන දුන්නා. ඒක අපේ බෑගයක තිබිලා ඕස්ට්‍රෙලියා ගුවන්තොටුපළේදි අසුවුණා. වෙනත් රටකින් නීති විරෝධීව පලතුරු රැගෙන ඒමේ වරදට රුපියල් 40000ක දඩයක් නියම කළා. ඒ නිසා වන්න ඇති ඒ රටවල් ඒ තරම් ලස්සන. නවසීලන්තයේ ගතකළ දින කිහිපය අදත් මතකයි.

මම හිතන්නේ ජීවිතයේ හැම වෙලේම සුන්දර වන්නේ දැන් ගතකරන මොහොත කියායි. ඒ නිසා ගෙවෙන හැම මොහොතක්ම ආසම කරන දේවල් අඛණ්ඩව කරගෙන යෑම තමයි බලාපොරොත්තුව. තාත්තගෙ කාලෙ සිටි කලා ශිල්පීන් තාත්තා නැති වුණාට සෑම අවුරුද්දකම ඔහුගේ උපන්දිනය දා එක් වී ප්‍රසංගයක් පවත්වනවා. ඔවුන්ට තාත්තාගේ මතකය අමතක නොවීම ගැන මා ඉතාම සතුටුවනවා. බිරිඳත්, දරුවාත් සමග ජීවිතේ සතුටින් ගෙවීමයි බලාපොරොත්තුව.

Comments