
විමලධර්ම සර් සිංහල, ඉංග්‍රීසි සහ හින්දි යන භාෂා හොඳින් ප්‍රගුණ කළ විද්වතෙකි. ගායකයෙකි. සිතාර් වාදකයෙකි. නාට්‍ය කලාව ගැන දන්නා අයෙකි. මගේ කලා ජීවිතය ආරම්භ වන්නේ එතුමන් සමඟිනි.
‘මව්බස’ කියවීම් පොතෙහි තිබී මද්දුම බණ්ඩාර කතාව නිතර ම මගේ සිතේ රඟදෙන්නට විය. දිනක අපේ නිවස ආසන්න හංදියේ විශේෂයෙන් ඉදිකරන ලද වේදිකාවක වෙසක් නාට්‍යයක් රඟ දැක්වූයේය. ඉතාමත් ආශාවෙන් ඒ වේදිකා නාට්‍ය නරඹන විට මගේ සිතට ගලා ආවේ මද්දුම බණ්ඩාර කතාව මේ විධියට කරන්න පුළුවන් නේද කියාය.
මා මගේ මිතුරන් සමඟ මද්දුම බණ්ඩාර නාට්‍ය වේදිකාගත කළෙමි. ප්‍රධාන චරිතය ම විසින් රඟපෑ අතර බිසවගේ චරිතය ද රඟපෑවේ පිරිමි ළමයෙකි. ශත 5, 3 - 2 ආදී වශයෙන් ප්‍රවේශපත්‍ර අතින් ලියා සකස් කළේය. අපේ නැන්දා කෙනෙකුගේ නිවසක මිදුලේ කුඩා වේදිකාවක් සාදා පොල් අතුවලින් වටකර ශාලාව සකස් කළේය. මේ අපගේ ළමා නාට්‍ය නැරඹීමට පැමිණි පිරිස අතර අපේ පොඩි අක්කා ද වූවාය. ඇය මගේ රඟපෑම දැක පැහැදී විමලධර්ම සර්ට මා ගැන කීවාය. විමලධර්ම සර් එවකට ‘රේඩියෝ සිලෝන්’ හි ළමා පිටියට අප තිදෙනකු කැඳවා ගෙන ගියේය. ඒ සේරි වාණිජ ජාතකය ඇසුරෙන් නිෂ්පාදිත කදා වළලු නාට්‍ය සඳහා ය. මම දෙව්දත් ගේ චරිතය නිරූපණය කළෙමි. කුඩා ශාලාවක සුළු පිරිසක් ඉදිරියේ මේ ගුවන් විදුලි නාට්‍ය අපි රඟපෑවෙමු. ඒ ගුවන් විදුලි ළමා නාටකය මගේ ජීවිතයේ පළමු රංගනයයි. මා කොතරම් දක්ෂ ලෙස රඟපෑවේ ද කිවහාත් දණහිස් දෙකෙන් සහ වැලමිටවල් වලින් ලේ ගලන්නට විය. ඒ තරමට තාත්වික විය. රඟපෑම මවාපෑමක් බව එවකට දැන සිටියේ නැත. මගේ රංගන ජීවිතයට වැටුණ ඒ අඩිතාලම නැතහොත් පදනම ඉතාමත් ශක්තිමත් එකක් විය.
කාලය කෙමෙන් ගෙවී යද්දී විමලධර්ම සර් උමන්දාවෙන් පිටුවක් නමින් කෙටි වේදිකා නාට්‍යයක් ධර්මාලෝක වේදිකාවට ගෙනාවේය. එහි වේදේහ රජුගේ චරිතය නිරූපණය කරන ලද්දේ ම විසිනි. මා තුළ තිබූ සහජ හැකියාව ගුරුතුමා විසින් එළියට ගත්තේ ප්‍රගුණ කිරීම් තුළිනි. කුසලතාවය, ව්‍යුප්පත්තිය හා සතත අභ්‍යසය ප්‍රධාන කාර්ණාය. අපේ දරුවන්ගේ හැකියාවන් කුඩා කළ සිටම හඳුනාගෙන ඒවා වර්ධනය කිරීමෙන් පසු ප්‍රදර්ශනය කළ හැකිය. විමලධර්ම සර්ගෙන් ලත් පන්නරය ඉදිරි ගමනට ශක්තියක් ලබා දුන්නේය.
ඉන්පසු මගේ හැකියාවන් දුටු ඉවස්ටස් විජේතුංග නමැති ගුරුතුමා කේයස් ගේ සුදෝ සුදු කවි කතාවෙන් නාට්‍යයක් නිර්මාණය කරන ලෙසට ඉල්ලීමක් කළේය. එම කතාව තුළ මට ගැළපෙන චරිතයක් නොවීය. රඟපෑම අභිරුචියෙන් කාලය ගෙවීමට ප්‍රිය කළ මා අතිරේක චරිතයක් කතාපුවතට එකතු කළෙමි. වඩාත් ජනප්‍රිය චරිතය වූයේ මා අතිරේකව මැවූ බබා මාමා ගේ චරිතය විය. නවපරපුරේ අපේ දරුවන්ට කිවයුතු දෙයක් ඇත. එනම් ඔබ ඔබතුළින් දැකගන්න. එවිට ජයග්‍රහණය ලබා ගත හැකිය යන්නයි. නමුත් වඩා ආශා කරන දේ කරන්න. තමන් දන්නා දේ වඩාත් දියුණු කරගන්න. කරන සියලුම දේ සතුටින් වගකීමෙන් හා කැපවීමෙන් කරන්න. හෙට ඉර පායනවා සේ සියල්ල ඉටුවනු ඇත ධනාත්මකව සිතිය යුතුය. අධිෂ්ඨානය ජය ගැනීමට නිතරම පියවි සිහියෙන් සිටිය යුතුය. තම ජීවිතය ජය ගත හැක්කේ තමාට ම බව මතක තබාගත යුතුය.
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ශිෂ්‍යයෙක් හැටියට කලා කටයුතුවල නිරත වන බව දන්නා නිසාත් රඟපෑමේ හැකියාවක් තිබෙන නිසා කැලණිය අවට කවුරුන් වුවද මා ගැන දැනගෙන සිටියේය. දළුගම ක්‍රීඩා සංගමයේ මම සාමාජිකත්වය දරුවෙමි. එම ක්‍රීඩා සමාජයේ සංවත්සරයක සැමරීමේ උත්සවයක් විය. එදින රාත්‍රියේ ප්‍රසංග වේදිකාවේ කෙටි විකට නාට්‍යයක් ඉදිරිපත් කිරීමට පැවරුණේ මා හටය. වාමාංශික දේශපාලන අදහස් දරණ මගේ ගුරුතුමකුට මේ බව කීවේ නාට්‍ය රචනය සඳහා කිසියම් උපදේශයක් ලබා ගන්නා අටියෙනි. එතුමන් සමඟ කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලය වූයේ වස්තු බීජයක් ලැබීමයි. 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබීමට ගුවන් විදුලියෙන් ඡන්ද ප්‍රතිඵල අසා වලව්වේ සතුටු වන ආකාරයෙන් තම දේශපාලන සගයන් අමතා කතා කොට ගෑරුප්පුවෙන් කිරිබත් කන හැටි නිරූපණය කරමින් ප්‍රධාන භූමිකාව නිරූපණය කළේ මා විසිනි.
මෙම නාට්‍ය නරඹන පිරිස අතර බණ්ඩාරනායක මැතිතුමාගේ හිතවත් පාක්ෂික මන්ත්‍රීවරයෙක් සහ සහායකයින් සිටියේය. තම නායකයාගේ චරිතයට අපහාස වන අන්දමින් චරිතය නිරූපණය කිරීම වැරැදි බව පවසමින් වේදිකාවට ගල්මුල් ප්‍රහාරයක් වැලි බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවක් සංවිධායක මඬුල්ලට දැනගන්නට ලැබුණි. මා රඟපාමින් සිටිය එක පාරටම ප්‍රධාන තිරය වැසුණි. කෙනෙක් මා වෙත පැමිණ ඇදගෙන ගියේ හොරෙකු පොලිසියෙන් රැගෙන යන අයුරිනි. අපේ තාත්ත ද නරඹන්නන් අතර විය. එතුමා ද වේදිකාවේ පිටුපසට පැමිණියේ ය. තාත්තා වහාම මාව එතුමාගේ කාර් එකෙන් නිවසට කැඳවාගෙන එන අතරවාරයේ මට මෙසේ කීවේය. “ඔය ළමයාගේ රඟපෑම හොඳයි. ඒත් මීට පස්සේ රඟපාන චරිතය තෝරාගන්න කොට හොඳට හිතල බලල තෝරාගන්න ඕනෑ, කවුරු කිව්වත් නොගැළපෙන නුසුදුසු චරිත රඟපාන්න එපා. ඒ අදහස මා අදත් පිළිපදින නිසා මට සමාජයෙන් ලැබෙන්නේ ආදරයට වඩා ගෞරවයකි. ජනප්‍රිය රංගන ශිල්පියෙකු වීමට වඩා ගෞරවනීය මෙන් ම අභිමානනීය ශිල්පියකු වීම උතුම් බවත් ශ්‍රේෂ්ඨ බවත් මට වක්‍රව කියා දුන් අපේ තාත්තාට අදත් පිං දෙමි. තාත්තාගේ අවවාදයෙන් පසු මගේ පෞද්ගලික චරිතය නිසි ලෙස පවත්වාගෙන යාමට මම පුරුදු වී සිටිමි.
ඒ සමඟම තාත්තාගෙන් ලත් තවත් මහඟු අවවාදයක් තිබේ. වරාගොඩ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේදී විවේක කාලයට විද්‍යාලය ඉදිරිපිට තිබූ වීරසිරි හෝටලයට යන්නේ තේ බීම සඳහාය. අපට වඩා වයසින් වැඩි අයියලා හොරෙන් සිගැරට් බීම පුරුද්දක් වශයෙන් කරති. එවකට කුඩා ළමයකු වූ මට සිගැරට් කොටයක් දී බොන ලෙසට තරවටු කළේ වැඩිහිටි ශිෂ්‍යයෙකි. මා එය ප්‍රතික්ෂේප කළ විට පහරදීමට සූදානම් විය. බයට ඒ සිගැරට් කොටය ගත්තෙමි. එවිට මගේ ලොකු මල්ලී නිමල් මා අභියසට පැමිණියේ ය. “ආ පොඩි අයියා සිගැරට් බොනවා නේදැයි” කියා පිටව ගියේ පාසලට නොවේ. නිවසටය. අම්මාට දැන ගැනීමට ලැබුණ ආරංචිය තාත්තාට ද දැනගන්නට ලැබිණ. අපේ තාත්තා අප කාහට වුවත් පහරදී නැත. බැණ වදින්නේ නැත. එහෙත් එක දඬුවමක් දීමත් තදින් අවවාද කිරීමත් එතුමාගේ සිරිත හා සම්ප්‍රදාය විය. දඬුවම් තමා සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා තාත්තා නිදාගන්න ඇඳ යටට යැවීමය. මේ පැය දෙක එතුමා වෙන්කර ඇත්තේ පත්තරය හෝ පොතක් කියවීම සඳහාය.
මගෙන් සිගැරට් බීවාදැයි තෙවරක් ඇසුවේය. පිළිතුරු දුන්නේ නැත. ඇඳ යටට යැවීය. පැය 1/2 කට පසු කතාකොට නැවතත් ඒ ප්‍රශ්නය ඇසුවේය. මම ගොළුවත රැක්කෙමි. යළිත් ඇඳ යටට යැව්වේය. එලෙස තුන් වතාවක් ප්‍රශ්න කොට ඇඳ යටට යවා හරියට ම අටට තාත්තා ඇඳෙන් නැඟිට මට වාඩිවෙන්නට යැයි කියා මෙසේ අවවාද කළේය.
“ඔය ළමයාගෙන් කවුරු හරි ඇහුවොත් කොහේද ගියේ කියා - කියන්න පුළුවන් තැනකට යනවා. එහිදි කළේ කුමක්දැයි ඇසුවොත් කියන්න පුළුවන් දෙයක් කරනවා. මොනවද එහිදි කතා කළේ කියා ඇසුවොත් කියන්න පුවවන් දෙයක් කතා කරනවා.” මේ ප්‍රශ්න තුන මගේ ජීවිතය සාර්ථක කළ අත්තිවාරමයි.
ලබන සතියට...