ඉදිරියෙදී මීට වඩා අලුතින් දෙයක් කරන්නට ලැබේවි කියලා විශ්වාසයක් නෑ | සිළුමිණ

ඉදිරියෙදී මීට වඩා අලුතින් දෙයක් කරන්නට ලැබේවි කියලා විශ්වාසයක් නෑ

කීර්ති පැස්කුවල් හඳුන්වන්නේ ගී ලොවේ ළයාන්විතයා ලෙසිනි. ඒ ඔහු මෙරට ගීත ලෝලී රසික සිත් වලට ආදරයෙන් ආමන්ත්‍රණය කරන ආදරණීය ගීත ගණනාවක්ම තිළිණ කර ඇති නිසාවෙනි.

ගිටාර් වාදකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පැමිණ ජනප්‍රිය වූ ඔහු ගායකයකු ලෙසත් අතිශයින් ජනප්‍රිය වූයේ ඔහුටම අනන්‍ය වූ හඬ පෞරුෂයකිනි.

මේ වනවිට ගායකයකු, වාදකයකු, සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම ගරුවරයකු ලෙස ගෙවුණු ඔහුගේ සංගීත දිවියට දශක හතරක් සම්පූර්ණ වී තිබේ.ගායක ගායිකා සංගමයේ වත්මන් සභාපතිවරයා ලෙසින් සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරන කීර්ති, ඔහුගේ සංගීත දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් කීර්ති ගී Evolution of Music By Keerthi Pasquel ( මියැසි පරිනාමයේ මිහිර පිරි නාමය) නම් ප්‍රසංගය රසිකයින්ට තිළිණ කිරීමට සූදානම් වෙයි.

ලබන 20 වැනි සෙනසුරාදා සවස 7.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන මෙම ප්‍රසංගයේදී ඔහු නවතම සංයුක්ත තැටිය ද ජනගත කිරීමට සූදානම් වෙයි.

කීර්ති පැස්කුවල් සමඟ ඒ පිළිබඳව රසඳුන කළ සංවාදයයි මේ.

ඔබ සංගීත ක්ෂේත්‍රය තුළ බොහොම සක්‍රීය චරිතයක්. ඒ වගේම වසරක් පාසා වෙනස්ම ආකාරයක සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු කරනවා. ඔබ මෙවර පැවැත්වීමට සූදානම් වන්නේ මොනවගේ ප්‍රසංගයක්ද?

මේ වන විට මාගේ සංගීත ගමන් මඟට වසර 40ක් පමණ වෙනවා. මා පැමිණි ගමන් මඟ පැහැදිලි කිරීම පිණිස ප්‍රසංගයක් පැවැත්විය යුතුයැයි මා විශ්වාස කළා.මේ වසරේ මා පවත්වන ප්‍රසංගයේ නමත්, යොදලා තියෙන්නේ කීර්ති ගී නමින්මයි. නමුත් මම මෙයට විශේෂණයක් යොදලා තියනවා. Evolution of Music By Keerthi Pasquel කියලා. පසුගිය කාලේ මම විවිධ තේමාවන් යටතේ සංගීත ප්‍රසංග පැවැත්වූවා. Tribute to the Legends, Keerthi Acoustica, Unplugged Live concert වැනි නම් වලින්. මේ හැම ප්‍රසංගයකින්ම මා උත්සාහ කළේ ප්‍රේක්ෂකයින්ට අලුත් අත්දැකීමක් ලබා දෙන්නයි. මම කුඩාකල සිටම ගායනයට ලොකු කැමැත්තක් දැක්වූවා. පසුව මම වාදනය පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්තා. මුල්කාලයේ සිට ඒ ඒ කාලයේ තිබුණ සංගීත රටාවන්, සංගීත ශෛලීන් වලට අනුගත වෙමින් හා ඒවා හදාරමින් තමයි මගේ සංගීත ගමන ඉදිරියට ආවේ. මගේ සංගීත දිවියේ මුල් ආරම්භයේ සිට මේ දක්වා සංගීත ගමන තුළ සිදුවුණ සංගීත පරිනාමය තමයි මේ ප්‍රසංගය තුළින් මා පෙන්වීමට අදහස් කරන්නේ.

ඔබ සංගීත ක්ෂේත්‍රයට පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බැලුවහොත්.

ඒ කාලෙදී ගිටාරය ජනප්‍රිය සංගීත භාණ්ඩයක් බවට පත්වීගෙන ආවා. මමත් මගේ සහෝදරයා නිසා මේ ගිටාර් වාදනයට පෙළඹුණා. මගේ අයියා තමයි අපේ ගෙදරට මුලින්ම ගිටාර් ඒකක් අරගෙන ආවේ. මටත් ඉතිං ඔය ගිටාර් එක අත පත ගාන්නට නිතර අවස්ථාව ලැබුණා. පසුව ගිටාරයේ කෝඩ් දෙක තුනක් අල්ලාගෙන, ඒවා වාදනය කළ හැකි ගීත තෝරාගෙන, ගායනා කරමින් වාදනය ප්‍රගුණ කළා. පසුව යම් අවබෝධයක් ගිටාරය තුළ දැනගත්තාට පසුව මේ ගීතවල තිබෙන ගැඹුරු දේවල් පිළිබඳවත් අධ්‍යයනය කරන්න මට ඉඩ ලැබුණා.

ඔබ මුලින්ම කරලියට එන්නේ කණ්ඩායම් සංගීතයෙන්.

70 දශකයේදී මට අවස්ථාව ලැබුණා සංගීත කන්ඩායමක වෘත්තිය වාදකයකු ලෙස කටයුතු කරන්න මගේ ගම මහනුවර. මම අධ්‍යාපනය හැදැරුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. මේ මහනුවර ප්‍රදේශයෙන් බිහිවුන, ප්‍රවීණ සංගීතවේදියෙකු වූ ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ ප්‍රධානත්වයෙන්, ගැලැක්සීස් කියන සංගීත කණ්ඩායම ආරම්භ වුණා. 70 දශකයේ ඉතාමත් ජනප්‍රියව තිබුන සංගීත රටාව තමයි, කැලැරැන්ස් විජේවර්ධන මහත්මයා, කැලිප්සෝ කියන සංගීත ආරයට නව අර්ථකතනයක් දෙමින්, එතුමා බටහිර සංගීත භාණ්ඩ වාදනය කරමින් ආරම්භ කළ කණ්ඩායම් සංගීතය. ඒ කාලයේ මූන්ස්ටෝන්, ගෝල්ඩන් චෛම්ස්, සුපර් ගෝල්ඩන් චෛම්ස් නමින් එතුමාගේ ප්‍රධානත්වයෙන් සංගීත කන්ඩායම් ආරම්භ වූවා. ඉතිං එම සංගීත කණ්ඩායම් වල තිබුණු සංගීත රටාවන්මයි, මම ගැලැක්සීස් සංගීත කණ්ඩායම සමඟ වාදනය කළේ. මහනුවර ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය වෙන්නට අපට හැකිවූවා.

වාදකයකු වුණු ඔබ ගායකයකු ලෙසත් කලඑළි බසිනවා.

වාදකයෙක් හැටියට මාගේ සංගීත ගමන ආරම්භ කළත්, මම හිතුවේ නැහැ ගායන ශිල්පියෙක් වෙන්න ඕනෑ කියලා. නමුත් මට ගීත ගායනා කරන්න තිබුණ හැකියාව තුළ, මා එයට පෙළඹුණා. ඒ අනුව ඒ ඒ කාලවලදී මට සංගීතය පිළිබඳ අවබෝධයක් ලද කාලයේ 60 දශකයේදී ගොඩාක් ජනප්‍රිය වෙලා තිබුණේ කණ්ඩායම් සංගීතය. මම බොහොම ප්‍රියකළා කණ්ඩායම් සංගීතයට අදාලවූ ඒ ගීත අනුකරණය කරන්න. ඒ ගීත ගායනා කරන්න. ඒ ගීත ශෛලීන් හදාරන්න.

70 දශකයේදී රසවත් ගීත නිර්මාණ රැල්ලක් බිහිවුණා. සංගීත කණ්ඩායමක ශිල්පියකු හැටියට මමත් නිරතුරුවම මේ ගීත ගායනා කළා. ඉන් අනතුරුව 80 දශකය වනවිට මා කොළඹට පැමිණෙනවා. ඒ ආ ගමනේ මට මුලින්ම ලැබුන අවස්ථාව තමයි, ප්‍රවීණ සංගීතවේදී පැට්‍රික් දෙනිපිටිය මහත්මයාගේ සංගීත කණ්ඩායමේ ගායකයකු ලෙස කටයුතු කරන්නට ලැබීම. මේ කාලය තුළ මම බේස් ගිටාරයත් වාදනය කළා. ඉන් අනතුරුව තවත් සංගීත කණ්ඩායම් කිහිපයකම වාදකයකු ලෙස කටයුතු කරන්නට මට අවස්ථාව ලැබුණා. මවුන්ට් චෛම්ස්, හේලියන්ස්, කලර්ලයිට්ස් ඉන් කිහිපයක්.

එදා කැසට් පට ක්ෂේත්‍රය තුළ වාදකයකු ලෙස ඔබ බොහෝ ජනප්‍රිය වනවා.

1983 දී තමයි නැවත වතාවක් මේ ෆෝචුන්ස් කියන සංගීත කණ්ඩායම ක්‍රියාත්මක කිරීමට අපට අවස්ථාව උදාවන්නේ. මුල් කාලයේ දී මගේ අයියා ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ වාදකයකු ලෙස කටයුතු කළා. පසුව මේ කණ්ඩායම අකර්මන්‍ය වෙලා තිබුණු අවදියක නැවත වාරයක් මමත් තවත් වාදක පිරිසක් එකතුවෙලා නවතාවයකින් යුතුව ෆෝචූන්ස් සංගීත කණ්ඩායම ආරම්භ කළා. මේ අවධියේදී සංගීත ක්‍රම තවත් දියුණු තත්වයකට පැමිණ තිබුණා. සැක්ෂෆෝන්, වයලීන්, තබිලා මේ ඉලෙක්ට්‍රික් භාණ්ඩවලට තවත් අමතර සංගීත රසයක් එක්කර මින් මනා පිරිපුන් භාවයක් එක්කර තිබුණා. මේ යුගයේ සංගීත කණ්ඩායම තුළින් මා බොහොසෙයින් තෘප්තිමත් වී සිටියා. බොහෝ ප්‍රවීණ ශිල්පීන්ගේ කැසට්පට ගීත වලට, වාදකයකු ලෙස සහභාගී වෙන්නට මට අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි, කැසට් පට ක්ෂේත්‍රය තුළින් අපේ ගීත ඉතිහාසයට විශාලම ගීත ප්‍රමාණයක් එකතු වුණ යුගය විදියට 80 දශකය මා දකින්නේ. 80 දශකයේදී ගීත දහස් ගණනකට බේස් ගිටාර් වාදකයකු වශයෙන් ඒ මුල් ගීතයන්ට සහය ලබාදෙන්නට මට අවස්ථාව ලැබුණා. මේ සංගීත රටාවත්, මා ඉතාමත් ප්‍රියකළ සංගීත ක්‍රමයක්.

එදාට වඩා අද සංගීතයේ කිසියම් වෙනසක් වෙලාද?

සංගීත අද දවස වනවිට යම් යම් වෙනස්වීම් වලට භාජනය වෙමින් පවතිනවා. පැරැණි ගීත නව සංගීත ආකාරයන්ට නිර්මාණය වීම මේ කාලයේ අපේ රසිකයන් තුළ ජනප්‍රිය වෙමින් පවතිනවා. එහෙම බලන කල පැට්‍රික් දෙනිපිටියගේ පුත්‍රයා, මහේෂ් දෙනිපිටිය, මෙම වෙනස්වීම් වලට නව ආරක් එක්කරලන්නට මේ යුගයේදී සමත්වෙලා තියෙනවා. මටත් හැකියාව ලැබුණා මගේ පැරැණි ගීත කිහිපයකට ඔහුගේ නව සංගීත රසය එක්කර ගැනීමට. ඉතිං මගේ මෙම සංගීත ප්‍රසංගයට, විවිධ සංගීත ශෛලීන් හතරක් යොදා ගන්නට මම බලාපොරොත්තු වෙනවා. ඉහතින් සඳහන් කල දශක අනුව. කැලිප්ස්සෝ සංගීතය, 70 දශකයේ සංගීතය, 80 දශකයේ සංගීතය හා වත්මන් නව ආරයේ සංගීත රටාවන් අනුව විවිධ අත්හදා බැලීම් සමඟ මෙම ප්‍රසංගයේදී ගීත ඉදිරිපත් වෙනවා. මෙය තමයි මෙවර මාගේ ප්‍රසංගය තුළ මා ඉදිරිපත්කරන වෙනස.

මෙම ප්‍රසංගයේදී විශේෂ යමක් සිදුවෙනවා ද?

මේ ප්‍රසංගය තුලදී සිදුවන විශේෂම දේ තමයි, ඒ ඒ කාලවකවානු වලට අදාලව මා විසින් පෙන්වන්නට යෙදෙන විශේෂ පුද්ගලයන්ට මම ආරාධනය කරනු ලබනවා මාත් සමඟ ගීත ගායනා කරන්න. උදාහරණයක් විදියට කියනවානම්, කැලිප්සෝ කන්ඩායම් සංගීතය ආරම්භකළේ නෙවිල් ප්‍රනාන්දු කියන ප්‍රවීණ ශිල්පියා. ඔහු අද ජීවතුන් අතර නැහැ. එතුමාගේ සහෝදරයා ඉන්නවා එරල් ප්‍රනාන්දු. එරල් ප්‍රනාන්දු කලකදී මා සමඟ සංගීත කණ්ඩායමක කැලිප්සෝ සංගීතය වාදනය කළා. ඒ සම්බන්ධතාවය මත මා බලාපොරොත්තු වෙනවා එතුමාව කැඳවලා, ඔහු සමඟ ගීත කිහිපයක් ගායනා කරන්න. කොටස් හතරකින් යුක්ත ප්‍රසංගයේ මුල් කොටස වෙන් වෙන්නේ කැලිප්සෝ කියන සංගීත ආරයටයි.

ඒ වගේම 70 දශකය නියෝජනය කරන්න මා ආරාධනය කරනවා. ඇනස්ලි මාලේවන කියන මගේ සහෝදර ගායන ශිල්පියාට. ඔහු සමඟත් මම ගීත කිහිපයක් ගායනා කරනවා. ඔහුගේ ගීතත් මගේ ගීතත් එකතුව 70 දශකයේ සංගීත රසය උද්දීපනය කිරීමට අප මෙම දෙවන කොටසේදී උත්සාහ ගන්නවා.

ඒ වගේම 80 දශකයේදී තමයි සංගීතය විවිධ වෙනස්කම් වලට භාජනය වුණේ ඒ යුගය නියෝජනය කිරීම සඳහා මම ප්‍රවීණ ශිල්පිනියන් කිහිප දෙනකුට ආරාධනය කරනවා මා සමඟ ගීත ගැයීමට. ඒ අනුව නෙළු අධිකාරී, සමිතා මුදුන්කොටුව හා නිරෝෂා විරාජිනී යන ශිල්පිනියන් මා සමඟ සම්බන්ධ වෙනවා. ඒ වගේම මගේ දියණිය චාරුණී පැස්කුවල් හා මගේ පුතු කසුන් පැස්කුවල් වගේම ලේලිය චේතනා රණසිංහත් මේ ප්‍රසංගයේදී යුග ගීත ගායනා කරනවා.

ඉන් අනතුරුව නව සංගීත ආරට ගැයෙන අවසන් කොටසේදී ධම්මිකා බණ්ඩාර හා මරියසෙල් ගුණතිලක ගායනයෙන් සහය වෙනවා.මෙම සංගීත ප්‍රසංගයේ දී මෙම විවිධ යුග ගීතත්, සමඟ විවිධ සංගීත ක්‍රම ඔස්සේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත් දැකීමක් ලබාගන්නට හැකිවේවි කියා මා විශ්වාස කරනවා.

මේ ප්‍රසංගයට සමගාමීව ඔබගේ නවතම ගීත එකතුවක් නිකුත් වෙනවා ඒ පිළිබඳව යමක් පවසනවානම්,

ඔව් මේ ප්‍රසංගයේදී මගේ නවතම ගීත 18ක් අඩංගු සංයුක්ත තැටියක් නිකුත් වෙනවා “තරුපොකුරු” නමින් තරු පොකුරු කියන ඉතාමත් මියුරු ගීතයේ නමින් තමයි මෙම සංයුක්ත තැටිය නම්කළේ. එහි අඩංගු ගීත පිළිබඳව යමක් පවසනවා නම්, මෙයට සම්බන්ධ බොහෝ පිරිස ආධුනිකයින්. නමුත් ඒ අය බොහෝම නිර්මාණශීලියි. මෙයට යුග ගීත 6 ක් ඇතුළත් වෙනවා. එයින් වැඩි ගීත ප්‍රමාණයක් මා ආධුනික ශිල්පිනියන් සමඟ තමයි ගායනා කර තිබෙන්නේ. මෙහිදී මා අදහස් කළේ, නව පරපුරේ ශිල්පීන්ට නිර්මාණකරුවන්ට සහයෝගය දැක්වීම හා ඒ අය සමඟ එකට කටයුතු කිරීම හරහා ප්‍රවීණයකු ලෙස අනෙකුත් අයට ආදර්ශයක් ලබා දෙනවා සේම, නව පරපුර දිරිමත් කිරීමක් මේ තුළින් සිදු වෙනවා යන්නයි.

ආධුනිකයන් සමඟ වැඩකිරීමට සිතුවේ ඇයි?

මම ආධුනිකයෙක්ව සිටියදී ආශාවෙන් හිටියා ප්‍රවීණයන් සමඟ වැඩ කරන්න. නමුත් සමහර ප්‍රවීණයන් මාව ප්‍රතික්ෂේප කළා. නමුත් අද දවසේ මම ඒ දේ කළොත් එය ආධුනිකයන්ගේ මඟ ඇහිරීමක් ලෙසයි මා දකින්නේ. ඒ නිසා මා නිර්මාණකරණයේදී ගීත රචනය, සංගීත නිර්මාණය හා යුග ගායනය කරන ආධුනිකයන්ට අත දෙන්නට පසුබට වන්නේ නෑ. හොඳ නිර්මාණයක් නම්, දක්ෂතා තියෙන අයනම්, ඒ අයට උපරිම සහයෝගය දෙන්නට මා සැදී පැහැදී සිටිනවා. මේ ගීත පිළිබඳව මට තව දෙයක් සඳහන් කරන්න ඕනෑ. මේ ගීත සඳහා මම ලොකු මුදලක් වියදම් කරලා නැහැ, සංගීතවත් කරන්නට පටිගත කරන්නට හෝ අනෙකුත් කිසිම දේකටවත්. මොකද ඔවුන්ගේ බොහෝ නිර්මාණවලට මාගේ දායකත්වය ලබා ගන්නට ඔවුන් කැමැත්තක් දක්වනවා. ඒ අයුරින් නිර්මාණය වුණ ගීත බොහෝමයක් මෙයට ඇතුළත් වෙනවා. ඒ හැර ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ගැයූ නවතම ගීත කිහිපයකුත් මෙයට ඇතුළත් වෙනවා. මෙම ගීත සංයුක්ත තැටියකට ඇතුළත් කරලා ජනතාගත කිරීම තමයි මගේ බලාපොරොත්තුව. යම් ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීම මගේ පරමාර්ථය නොවේ. මේ තුළින් තව කෙනකුට අත හිත දීමත්, ගීත ජනගත කිරීමත් තමයි මගේ පරම පවිත්‍ර චේතනාව වන්නේ.

මෙම ප්‍රසංගයේ පැවැත්වීමේ විශේෂ අරමුණක් තිබේද ?

ඇත්තෙන්ම මම හැම ප්‍රසංගයක්ම පවත්වන්නේ යම් කිසි සද් ක්‍රියාවක් පාදක කරගෙනයි. මෙවර මාගේ බලාපොරොත්තුව අනුරාධපුර, එහෙම නැත්තම් උතුරු ප්‍රදේශයේ වෙසෙන වකුගඩු රෝගයෙන් පෙළෙන අපේ සහෝදර ජනාතාවට යම් කිසි සේවාවක් කරන්න. මට දැනගන්ට ලැබුනා, එම රෝගයට ප්‍රතිකාර ලැබීමට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගී ජනතාවට නවාතැන් පහසුකම් නගරය තුළ අවමව ඇති බව. ඒ නිසා මා සැලසුම් කරගෙන යනවා පිටතින් එන රෝගීන්ට නවාතැන් ගැනීමට පහසුකම් සලසාදීම සඳහා විශ්‍රාම ශාලාවක් ගොඩ නැංවීමට . මේ කටයුත්ත සඳහා මට බොහෝ පිරිසකගේ සහයෝගය ලැබෙනවා. ඉතිං මම බලාපොරොත්තුවෙනවා මෙම ප්‍රසංගයෙන් යම් ලාභයක් ලැබුණහොත් එයින් යම් කොටසක් මෙම සද්ක්‍රියාව සඳහා යොදවන්නට.

අවසාන වශයෙන් මෙම ප්‍රසංගය පිළිබඳව ඔබගේ රසිකයින්ට පවසන්නට ඇත්තේ කුමක්ද?

ඇත්තටම මෙම ප්‍රසංගය මගේ ජීවිතකාලයේදී එක්වරක් පමණක් පැවැත්විය හැකි ප්‍රසංගයක් කියලා මම කියන්නට කැමැතියි. එයට හේතුව කෙනෙකුගේ අතීතය ආවර්ජනය කරමින් ජීවිත කාලය තුලම සංගීත ක්ෂේත්‍රයේ ලක්වුන වෙනස් කම්වලට භාජනය වෙමින් මේ ආපු ගමන් මඟ මට හැමදාමත් නැවත නැවත පෙන්වන්ට බැහැ. ඒ නිසා මම හිතනවා යම් කිසි සංධිස්ථානයකට අද දවසේ පැමිණ ඉන්නවා කියලා. මම මේ සංගීත ක්ෂේත්‍රය තුල ගමන් ආරම්භ කරපු විධිය, කෙමෙන් කෙමෙන් මෙම ගමන දියණු කර ගත්ත විධිය සහ අද දවසටත් ජනතාව තුල මගේ ජනප්‍රියත්වය රඳවාගනිමින්, ඕනෑවට වඩා ඉහළට යන්නෙත් නැතිව ඕනෑවට වඩා පහළට යන්නෙත් නැතිව, මගේ දක්ෂතාවය රඳවා ගැනීමට හැකිවූ කලා කරුවෙක් විධියට තමයි මම මා ගැන දකින්නේ. ඉතිං මට ඉදිරියෙදී මීට වඩා අලුතින් දෙයක් කරන්නට ලැබේවි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා මෙම සංගීත ප්‍රසංගය මට ඇත්තටම සුවිශේෂීයි. ඒ වගේම මගේ රසිකයන් හෝ ගීත ප්‍රියකරන කවුරුන් හෝ ඉන්නවානම් මේ අයටත් මෙම ප්‍රසංගය වැදගත් වේවි කියලා මා විශ්වාස කරනවා. ඒ නිසා මම හිතනවා මගේ දයාබර රසිකයන්, මට ආදරය කරන පිරිස මෙම ප්‍රසංගය නරඹලා එදා දවසේ මගේ ජීවිතයේ කොටස්කරුවන් බවට පත්වන්නට සාක්‍ෂිකරුවන් වේවි කියලා මා විශ්වාස කරනවා. ඉතිං මා ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා. 2017 මැයි 20 වෙනිදා සවස 7.00 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට එන්න මේ ප්‍රසංගය නරඹන්න මා හා සතුට බෙදාගන්න කියලා ඉතාමත් දයාවෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

Comments