
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලිය (IPL) ශ්‍රී ලාංකේය අපට අලුත් දෙයක් නොවේ. 2008 ඇරැඹුණු මේ තරගාවලියේ ඉන්දීය ක්‍රීඩකයන් සමඟ ජනප්‍රිය විදෙස් ක්‍රීඩකයන් ගණනාවක්ම ක්‍රීඩා කළ නිසා ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය වුණා. පළමු තරගාවලියේ සිට අපේ සනත්, සංගා, මහේල, මුරලි, ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයින් ගණනාවක්ම නියෝජනය කළ නිසා අපේ රටේත් අයි පී එල් අතිශයින් ජනප්‍රිය වුණා කීවොත් නිවැරැදියි.
මෙවර පැවැත්වෙන 10 වැනි තරගාවලියට ක්‍රීඩකයන්ලෙස අපේ රට නියෝජනය කරන්නේ ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා පමණක් වුවත් මහේල සහ මුරලි පුහුණු කරුවන් ලෙස සහභාගි වනවා.
අයි පී එල් තරගාවලිය මේතරම් ජනප්‍රිය වීමට හේතුවක් ලෙස දැක්විය හැක්කේ විදෙස් ක්‍රීඩකයන් කීප දෙනකු දැක්වූ සුවිශේෂී දස්කම් නිසා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ක්‍රිස් ගේල්, කෙවින් පීටර්සන්, ලසිත් මාලිංග, කිරන් පොලාර්ඩ්, බ්‍රෙන්ඩන් මැකලම්, මැක්ස්වෙල් මේ අතරින් කීප දෙනෙක්.මෙම ක්‍රීඩකයන් සෑම දෙනකුම දස්කම් දක්වා ඇත්තේ තමන් ගේ සුපුරුදු තරග රටාව තුළින්මයි. එහෙත් අද මේ සටහන තැබෙන්නේ මෙවර අයි පී එල් තරගාවලියේ වාර්තාවක් තැබූ සුවිශේෂී ක්‍රීඩකයකු පිළිබඳවයි. සුනිල් නාරේයින් නම ඇසූ පමණින්ම අපේ රටේ ක්‍රීඩා ලෝලීන් හොඳින් හඳුනනවා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට කොහොමත් අපේ රටේ ක්‍රීඩා ලෝලීන් තුළ විශේෂ ආදරයක් තිබෙන බව සත්‍යයක්.
සුනිල් පිලිප් නරේයින් පිට දඟ පන්දු යවන්නෙක්. අයි පී එල් තරගාවලියේ ඔහු ක්‍රීඩා කරන්නේ සුපිරි නළු ශාරුක්ඛාන් ට අයිති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට. මෙවරත් ඔහු මෙම තරගාවලියේ මුල් තරගවලට සහභාගි වුණේ පන්දු යවන්නෙක් විදිහට. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළේ නායක ගෞතම් ගම්භීර් සහ ක්‍රිස් ලින්.ක්‍රිස් ලින් ආබාධයට ලක්වීම නිසා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ භූමිකාව සුනිල් නරේයින්යින්ට පැවරෙනවා. සුනිල් නරේයින් ගේ සුවිශේෂි හැකියාව මතුවන්නේ මේ ලැබුණු අවස්ථාවෙන් ඔහු ප්‍ර යෝජන ගත්තාට පසුවයි. ඒ අනුව තරගාවලියේ 11 වැනි තරගය මෙන්ම කොල්කටා පිලේ තුන්වැන්න වූ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමඟ පැවැති තරගයේදී හතරේ පහර හතරක් සහ හයේ පහර තුනක් සමඟ පන්දු 18 කින් ඔහු ලකුණු 37 ක් ලබාගන්නවා.
ඉන්පසු ගුජරාට් ලයන්ස් සමඟ තරගයේදී පන්දු 17 කදී ලකුණු 42 ක් ලබා ගන්නේ හතරේ පහර 9 ක් සහ හයේ පහර 1 සමගින් . ආරම්භක පිතිකරුවකුගේ භූමිකාව මනාව වටහා ගනිමින් ඉතාමත් විශ්වාසවන්ත ලෙස පන්දුවට පහර දෙන සුනිල් රෝයල් චැලේන්ජ් බැංගලෝර් පිලට එරෙහිව පන්දු 17 කදී ලකුණු 34 ක් ලබාගන්නවා.
නරේයින් ගැන මේ සටහන් තබන්නට හේතු වන්නේ පසුගිය 07 වැනිදා රෝයල් චැලේන්ජ් බැංගලෝර් පිලට එරෙහිව පැවැති දෙවැනි තරගයේ දී ඔහු ලබාගත් වාර්තාගත අර්ධ ශතකයයි.එහිදී පන්දු 16 කදී හතරේ පහර 6 ක්, හයේ පහර 4 ක් සමඟ ලකුණු 50 ක් ලබා ගන්නේ ipl තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය ලබාගත් දෙවැන්නා වෙමින්. මීට පෙර මෙම දස්කම දක්වා තිබෙන්නේ නයිට් රයිඩර්ස් කණ්ඩායමේම සාමාජිකයකු වන යූසුප් පතාන් විසින් . 2014 සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව යූසුප් පන්දු 15 කදී අර්ධ ශතකය ලබා තිබෙනවා.
මෙම සටහන තබන මොහොත වන විට නයිට් රයිඩර්ස්ලාට තවත් තරග දෙකක් සමග දෙවැනි වටයේ තරගයක් ක්‍රීඩා කිරීමට ඇති අතර,එම තරග වලදී සුනිල් මොන පෙරලියක් කරාවිද යන්න කියන්නට බැහැ.
කෙසේ වෙතත් මෙතෙක් තරමක් භයානක පන්දු යවන්නකු ලෙසට පිටියට පිවිසි මේ ක්‍රීඩකයා ඉදිරියේදී තමන්ගේ රට වෙනුවෙන් පිතිකරුවකු ලෙසිනුත් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට භීතිකාවක්ම වේවි.