
කෝන්ගනීගේ ජෝශප් මැල්සි ජැක්සන් ඇන්තනී වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණය වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්යාර්ථියකුව සිටියදීය. මෙතැනින් මාරුවෙනු, මරාසාද්, ලෝමහංස, මධුර ජවනිකා, අත්, මෝරා, ඔත්තුකාරයෝ, තාරාවෝ ඉගිලෙති, ධවල භීෂණ, කුසපබා වේදිකා නාට්‍ය තුළින් ඔහුගේ රංග ප්‍රතිභාව තවත් විදහා දැක්වීය.
පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, පිටගංකාරයෝ, අකාල සන්ධ්‍යා, ඈ ටෙලිනාට්‍ය රැසකින් ද ඔහුගේ හැකියාව විශද විය. ගුරුගෙදර, අයෝමා, තරණය, බව දුක, බව කර්ම, ගිනි අවි හා ගිනිකෙළි, අස්වැසුම, අග්නිදාහය, සූරිය අරණ, රන්දිය දහර, කුස පබා, ලොකු දුව සිනමාපට ද ඔහුගේ හැකියාව මොනවට කියා පෑවේය. මේ අසහාය නළුවාගේ ‘දෛව රේඛාව’ සිත්තම් වූ ආකාරයට රසඳුනට පැවැසූයේ මෙසේයි.
‘පුංචි කාලේ හඳහනක් නොතිබුණත් උපන් වෙලාව හොයාගෙන හඳහනක් හදාගත්තේ තරුණ වියේදියි.
මගේ දෙමවුපියන් ජීවත් වුණේ රාගම පොඩි වී කුඹුරේ කතෝලික පරිසරයක. මම පුංචි කාලේ හඳහනක් ඇහැටවත් දැකලා නෑ. බාල කාලෙ ගෙව්වෙ බණ්ඩාරවෙල දෝව ප්‍රදේශයේ. උසස් පෙළ හැදෑරුවෙ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන්. මා ඉපදුණු දින වකවානු අම්මගෙන් අහගෙන රාගම රෝහලට ගිහින් උපන් වෙලාව බලාගෙන තමයි දෛවඥයකුට දීලා හඳහනක් හදාගත්තේ.
1958 ජූලි 08 මගේ උපන් දිනය... කන්‍යා ලග්නය.
මගේ මුල්ගුරු රාගම හපුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ වින්සන්ට් මැන්ඩිස් මහතා මගේ කේන්දරය බලලා අම්මටයි තාත්තාටයි කීවා මෙයා කවදා හරි නිර්මාණශීලී අංශයට යොමු වෙනවා කියලා. ඒ කාලේ අපේ හත්මුතු පරම්පරාවේ කලාකරුවෙක්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් හිටියේ නැහැ. මගේ තාත්තා විදුලිබල දෙපාර්තමේන්තුවෙ වැඩ කළේ. අම්මා කලාවට මනාපයි. මට ගුරුවරු දුන්නු අවවාදය තමයි, මිනිහෙක් වෙන්න නම් ඉගෙන ගන්න ඕනෑ. අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුයි කියලා.
අ.පො.ස. උසස් පෙළට මට කැලණිය ගුරුකුල විද්‍යාලය හා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය යන දෙකටම සුදුසුකම් තිබුණා. ගනේමුල්ල තෝරා ගැනීම මගේ ජීවිතය වෙනස් කළා. මට කුමාරි මුණසිංහ හමුවුණෙත් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේදි. මම හිතන්නේ දෛවයට අනුව ජීවිතය රටාවකට ගමන් කරනවා කියලයි.
ඔබගේ විවාහයේදි පොරොන්දම් බැලුවා...
කුමාරිලා සාම්ප්‍රදායික බෞද්ධ. මම මගේ කේන්දරය හදා ගත්තා. හඳහන් පොරොන්දම් බලලා, සාම්ප්‍රදායික වතාවත් අනුව තමයි විවාහය සිදුකළේ. දරුපල අනාගතය ගැනත් බැලුවා. ධනය ලැබෙන ප්‍රකට කීර්තිමත්, චරිතයක් වන බව මගේ හඳහන බලපු දෛවඥයා පැවසුවා. නන්නාඳුනන දෛවඥයින් මගේ අතබලලා කියන්නේ මගේ ජීවිතය හරිම ගැටුම්කාරියි හරිම නාටකීයයි. නමුත් එල්ලයක් දක්වා ගමන් කරනවා කියලා. ඇත්තට ම මගේ අත්ලේ රේඛා වැඩියි. කැපිලා කෙටිලා තියෙන්නේ. හුඟාක් අය මාව වරද්දවා ගන්නවා. මම වෙහෙස මහන්සියෙන් තමයි ජය ලබන්න කැමති. උත්සාහයෙන් තොර වාසනාව මම කොයිතරම් පිළිගන්නෙ නැද්ද කියනව නම් කවදාවත් ස්විප් අරගෙන නැහැ.
ඔබගේ දෛවයේ ගමන් මගට, දෙමාපියන්ගෙන් විශාල පිටුබලයක් ලැබුණා.
තාත්තා තමයි මගේ දෙවියෝ. නැටුම් ගැයුම්වලට සුදුසු ගුරුවරුන් වෙත ඔහු මා යොමු කළා. අම්මත් මාව අගය කරමින් උනන්දු කළා. පිරිමි පස් දෙනෙකුගෙන් යුත් අපේ ගෙදරට ගමේ අය කීවෙ කොල්ලො ගෙදර කියලා. ඇත්තට ම මගේ ගමන් මගට නිවස හොඳ තෝතැන්නක් වුණා. මගේ තාත්තා පික්චර් පිස්සා. එයාගේ වීරයෝ ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා. මගේ කලා හැකියාව දුටු තාත්තා මාව ඒ පැත්තට යොමු කළා.
කොළඹ සරසවිය ඔබගේ කලා ජීවිතයට මනා තෝතැන්නක් වුණා.
මම දෙවනවර උසස් පෙළ විභාගයෙන් සමත්වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රබල චරිතයක් වුණා. සිංහල විශේෂවේදී ගෞරව උපාධිය හැදෑරුවා. අනුර වික්‍රමසිංහ, කුසුමා කරුණාරත්න, පියසීලි විජේතුංග, ජේ.බී. දිසානායක, මහාචාර්ය සරත්චන්ද්‍ර යන ගුරුවරු ඇසුරේ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව ලැබුවා. ප්‍රේමකීර්ති ද අල්විස් සමීපයේ ආයුබෝවන් වැඩසටහන් කළා. ඒ කාලේ මම චිත්‍රකතා ශිල්පියෙක්. සාතන්ගේ පුත්තු, ලිහිණින්ගේ රාත්‍රිය මම පිටපත ලියා චිත්‍ර ඇන්ද ජනප්‍රිය චිත්‍රකතා දෙකක්. කුමාරිත් සමඟ විවාහ වෙලා එයාට දුව ලැබුණු වෙලාවේ පියාගේ රස්සාව මොකක්ද කියලා හෙදිය අහද්දි වෘත්තීය කලාකරු කීවාම එයා ඇහුවා අනේ ඔයාට රස්සාවක් නැද්ද කියලා.
ඊළඟ දරුවා ලැබෙන්න කලින් රස්සාවකට යන්න ඕනෙ නිසා සහකාර පුස්තකාලාධිපති තනතුර ලැබුවා. පුස්තකාල සේවා මණ්ඩලයේ ධර්මසිරි බණ්ඩාරනායකගේ “භව දුක” චිත්‍රපටයේ රඟපාන්න මම රයිගම්පත්තුවේ මඩු නැටුම් ඉගෙන ගත්තා. හඳපාන්ගොඩ සේදර ගුරුන්නාන්සේගේ ගෙදරට ගිහින් නැටුම් ශිල්පය ඉගෙන ගත්තා. නැවත මම වෘත්තීය කලාකරු බවට පත්වුණා.
ඔබ මාධ්‍ය ක්ෂේත්රයේත් කැපී පෙනෙන භූමිකාවක් රඟපෑවා.
ජස්ටින් මීගොඩ 1996 දී සවන ගුවන් විදුලියට ආරාධනා කළා. එම ප්‍රාදේශීය ගුවන් විදුලිය ජාතික ගුවන්විදුලියක් කළා. එය ඊ.ඒ.පී. ආයතනයට සම්බන්ධ වුණාට පස්සේ ශ්‍රී කියලා නම වෙනස් කළා. පසුව ස්වර්ණවාහිනී නිර්මාණ අධ්යක්ෂ ලෙස විශාල කාර්යභාරයක් කිරීමට හැකි වුණා. වසර 2000 සිට 2010 දක්වා විශාල හෙළිදරව් කිරීම් රැසක් සිදුකළා. 1983 මගේ පළමු ටෙලිනාට්‍ය පළිඟු මැණිකේ රඟපාද්දි සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා කීවා මම හොඳ තැනකට කවදහරි යනවා කියලා. ඒත් ඒ අංකුර හැකියාවන් ඔප්නංවා ගත්තේ මගේ අපමණ උත්සාහය කැපකිරීම් නිසයි.
රාහු කාලය ගැන හිතන්නේ...
නාසා ආයතනය ඇපලෝ 11 ගුවන් ගත කළේ නැකතක් බලලා. අපරදිග භෞතික විද්‍යාඥයින් නාසා ආයතනයට එරෙහිව චෝදනා කළා. නමුත් එම කටයුත්තට කවර හෝ තත්පරයක් අවශ්‍යයයි. එම නිසා සංස්කෘත රස සිද්ධාන්තයක් වන ‘ඕ’ ශක්තිය ලැබෙන වෙලාවක් යොදා ගැනීමෙහි වරදක් නැහැ.
මේ මන්දාකිණියේ තරු වළල්ලේ මිනිසුන්ගේ දෛවය ලියවෙලා තියනවා. එය නිවැරැදි දිශානතියකට ගමන් කරවිය යුත්තේ තමාමයි.