බෞද්ධ ආගමික නියමාවලි වලින් හැඩ වුණු අපේ සිංහල සාහිත්‍යය | Page 2 | සිළුමිණ

බෞද්ධ ආගමික නියමාවලි වලින් හැඩ වුණු අපේ සිංහල සාහිත්‍යය

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා දිවයිනට වැඩම කිරීම නිසා ශ්‍රී ලාංකේය ජන සමාජය බෞද්ධාගමික ආභාසය ලැබූ බව ඓතිහාසක මූලාශ්‍රවල සඳහන් වේ. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරනු ලබන්නේ තෙවන ධර්ම සංගායනාවෙන් සකස් වූ ධර්ම පණිවිඩය ද රැගෙනය. එකී ධර්මය සඳහන් වී තිබුණේ මාගධී භාෂාවෙනි. මාගධී භාෂාව ශ්‍රී ලාංකික සමාජයට නුහුරු තත්වයක පැවති නිසා භාෂා පරිවර්තනයක් කිරීමට සිදුවිය. ඒ අනුව මගධ බසින් පැවති ධර්මය සිංහල දිවයිනේ භාෂාව වූ සිංහල බසට පරිවර්තනය කිරීම ද මිහිදු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ධර්මය පරිවර්තනය කිරීමේදී භාෂා ප්‍රයෝග පිළිබඳව ද සැලකිල්ලක් දක්වන්නට සිදුවී ඇති බව පෙනේ.

මගධ බසින් වැටෙමින් ආ
බුදු කැලි අටුවා
හෙළදිව ඇදුරෝ
හෙළු බසින් තැබූ

ධම්පියා අටුවා ගැට පදයේ සඳහන් වන එකී පාඨයට අනුව පෙනෙන්නේ මාගධී භාෂාවෙන් තිබූ අටුවා ග්‍රන්ථ සිංහල බසට පරිවර්තනය වී ඇති බවයි. බුදු රජාණන් වහන්සේ විසින් සුදේශිත ශ්‍රි සද්ධර්මය සාමාන්‍ය ජනතාවට පැහැදිලි කර ගැනීම සඳහා සරු බසින් ලිවීම අවශ්‍ය විය. අටුවා යනු ඒවාය. අටුවා නැමැති කෘතියෙහි දී සිදුකරනු ලබන්නේ ධර්මය විස්තර කිරීමයි. එය සිදු කරනු ලැබුවේ එවකට සිටි ධර්ම භාරකාරත්වය දැරූ සහ ඒ පිළිබඳ මනා වැටහීමක් තිබූ බුද්ධශ්‍රාවකයන් විසින් ය. ධර්මයට හානියක් නොවන පරිදි වඩාත් සරලව කීම අටුවාවෙහි කාර්ය භාරයයි. මුල්යුගයේදී අටුවා තිබුනේ ද මාගධී භාෂාවෙනි. අරිට්ඨ හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා මිහිඳු හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මාගධී අටුවා සිංහල භාෂාවෙන් රචනා කළහ. ‍

සිංහල රටෙහි සාහිත්‍යය ලෙස වර්ධනය වන්නේ ආගමික ධර්මෝපදේශයන් ය. ලෝකයේ බොහෝ රටවල මෙන් ම ශ්‍රී ලංකාවෙහි ද මුල් කාලයේ සාහිත්‍යය ආගමික සාහිත්‍යයක් බවට පත්වන්නේ මේ ආකාරයෙන් ය. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධාගමික කරුණු සාහිත්‍යය බවට පත්වන්්නේ මේ ආකාරයෙන් ය.

සිංහල රටෙහි ජීවත්වන සාහිත්‍ය රසිකයන් බුදු දහමට හුරු පුරුදු වන්නේ ධර්ම සාහිත්‍යය නිසාය. එකී ධර්ම සාහිත්‍යය මූලික වශයෙන් අංශ දෙකකට බෙදුණි. එනම්; 1. සත්වයාගේ සංසාර ගමන නිම කොට නිර්වාණය සඳහා ප්‍රාප්ත වීම අරමුණු කර ගැනීම. 2. මෙලොව ගත කරන පුද්ගල ජීවිතය අත්ත හිත සහ පරහිත සහ අදහස්වලින් පරිපූර්ණ වීම යන අංශ දෙකයි. එබදු ආකාරයට පුද්ගල මනස සකස් කිරීම බුදු සමයෙහි අදහසයි. බුදු රජාණන් වහන්සේ විසින් ලෝකයට දේශනා කරනු ලැබුවේ එසේ සත්වයා සකස්විය යුතු බවයි. එම නිසා එම බෞද්ධ නියමාවලි සිංහල සාහිත්‍යයේ මූලධර්ම බවට පත්විය.

• නිවන අරමුණු කරගැනීම

බුදු දහම තුළ සමාජය පිළිබඳ දර්ශනය පැහැදිලි කරනු ලබන්නේ උත්පත්තිය ආරම්භය හැටියට හෝ මරණය නිමා හැටියට සලකා ගෙන නොවේ. එවකට ලෝකයේ පහළ වී තිබූ ආගමික සම්ප්‍රදායන්ට සාපේක්ෂව නොව බුදුසමය සමාජය විග්‍රහ කරනු ලැබුවේ පුද්ගල උපත දීර්ඝ කාලීන ප්‍රවාහයක එක සාධකයක් වශයෙන් ය. විපත ද එසේය. ඉන් සත්වයාගේ ගමන නිමාවට පත් වන්නේ නැත යන අදහස මත සිට ය. ඒ අනුව සාමාන්‍ය ඇසට නොපෙනෙන දාර්ශනික විග්‍රහයක් බුදු සමය මඟින් ඉදිරිපත් විය. නැවත නැවත උපත ලැබීම සංසාර ගමන යන වචනයෙන් දක්වන ලදී. පුද්ගලයාගේ මූලික වෑයම විය යුත්තේ සංසාර ගමන නිම කිරීමට උනන්දු වීමයි. සිංහල සාහිත්‍යයේ මූලික අරමුණ වූයේ ද පුද්ගලයා විසින් පසක් කර ගත යුතු නිර්වාණය නැමති උතුම් ප්‍රාප්තිය පිළිබඳව කරුණු කාරණා සන්නිවේදනය කිරීමයි. එකී අරමුණු මූලිකත්වයෙහි තබාගෙන ‍බෞද්ධ පොතපත රචනා විය. එකී කෘති කියවන පාඨකයා තුළ හටගනු ලැබුවේ ද නිවන නමැති අදහස සම්පූර්ණ කර ගැනීම සඳහා කටයුතු කිරීමයි. “දිනුවා නම් පරලොව දිනුවාමය” වැනි අදහස් පොත පතින් කියවීමට ලැබුණේ ඒ නිසාය. නිවන් දැකීම සඳහා තම සිත, කය, වචනය නැමති තුන් දොර හැසිරවීම අත්‍යවශ්‍ය විය.

• අත්ත හිත පරහිත සංකල්පය

මෙලොව ජීවත්වන කෙනෙකුගේ වෑයම විය යුත්තේ සාර්ථක මිනිසකු වීමය. මිනිස් ජීවිතය සාර්ථක වීම සඳහා අංශ දෙකක් බලපායි. එනම්; 1. තම ජීවිතය සාර්ථක කරගැනීම සඳහා විවිධ කැපකිරීම් කිරීම. 2. තම ජීවිතය තුළ පොදු ජනතාව උදෙසා තම තුන‍්දොරින් යම් යම් පරිත්‍යාග සිදුකිරීම යනුයි. බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ තුළින් මිනිස් ජීවිතවලට කාවදින ලැබුවේ එකී අදහස්ය.

අත්වැඩ පරවැඩ සමව සිතන්නේ මෙත් සිත සව්සිත කෙරෙහි කරන්නේ යනඅදහස සාහිත්‍ය ග්‍රන්ථ තුළින් සමාජ ගත වන්නේ එනිසාය. සාහිත්‍යයේ අරමුණ වන්නේ මිනිස් සිත් සතන් අර්ථවත් බවින් පූර්ණ කොට චර්යාමය වෙනසකට මිනිසා පත් කිරීමයි. සාහිත්‍ය ඇසුරෙහි මූලික අරමුණක් වූයේ ද එයයි. තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා යන ගමනේ පොදු සමාජයට අහිත පිරිස පවතින කටයුතු නොකිරීම ද විශේෂය.

සිංහල සාහිත්‍යය යනු බෞද්ධාගමික සාහිත්‍යයක් ම ය. එයට හේතුව වන්නේ බුදු දහමෙහි උගන්වන පණිවිඩ එලෙස ම බෞද්ධ කෘති වලට යොදා ගැනීමය.

• අටුවා ග්‍රන්ථ සාහිත්‍යය වීම

මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස සිංහල බසට නැගූ අටුවා ග්‍රන්ථ වර්තමානය වන විට අතුරුදන්ව තිබේ. එයට හේතුව ධර්ම සාහිත්‍යයේ අනෙක් ප්‍රවණතාවන් නිසාය. එය සිදුවන්නේ ද අනුරාධපුර යුගයේදී මය. එනම්; බුද්ධඝෝෂ හිමියන්ගේ සාහිත්‍ය කාර්ය භාරය නිසාය. බුද්ධඝෝෂ හිමියන් පාලි භාෂාව උගෙන ශ්‍රී ලංකාවට පැමිණ එවකට ලංකාවේ පැවති සියලුම සිංහල අටුවා ග්‍රන්ථ පාලි භාෂාවට පරිවර්තනය කරනු ලැබීය. වර්තමානයේ පවා පවතින්නේ එම ගල් අටුවා ග්‍රන්ථ කිහිපයයි. එහිදී උන්වහන්සේ ලේඛකයකු වශයෙන් තමන්ට ආවේණික ශෛලියකට හෝ තම අවශ්‍යතාව මත හෝ එය සිදු කරනු ලැබුවේ නැත. කිසියම් ලේඛකයකු යමක් රචනා කිරීමේදී ඔහුට ආවේණික ශෛලීන්ම සහ අදහස ම එයට ඇතළත් වන බව උන්වහන්සේ දැන සිටියහ.

1. බුද්ධ වධනය

2. සතර මගෝපදේශ

3. ආචරින් මතවාද

4. තම මතවාදය

යනුවෙන් කොටස් හතරකට වෙන වෙන ම බෙදා උන්වහන්සේ විසින් කරුණු කාරණා ඉදිරිපත් කරනු ලැබූහ. වර්තමානයේ වුවද ධර්මය විග්‍රහ කර පොතපත ලියන ලේඛක ලේඛිකාවන්ට වුද මෙය අනර්ඝ උපදේශයකි. යමක් ලිවීමේදී එය ලිවිය යුත්තේ කුමන පදනමක සිටගෙනද යන වග මෙමඟින් තහවුරුවෙයි. ලියන ලේඛකයා තමා පොදු වේදිකාවක් ය යන අදහසේ සිට ලිවිය යුතුය. තමා වේදිකාව යැයි සිතා නොලිය යුතුය. වේදිකාව තවත් පොදුය. නරඹන රසිකයා එහි ඇති රංගනයන් වෙන වෙන ම රස විඳියි. ලේඛකයා තමා වේදිකාව ලෙස හිතාගෙන ලියන විට කියන රසිකයා වික්ෂිප්ත බවට පත්වෙයි. ලියන දෙය කුමක් ද ලේඛනයේ දර්ශනය කුමක් ද, ලේඛකයාගේ අදහස කුමක් ද යනාදිය තෝරා බේරා ගැනීමට නොහැකිව. අසරණවෙයි.

බුද්ධඝෝෂ හිමියෝ තමන් වහන්සේගේ මතවාදය මෙන් මගේ අදහස යැයි දැක්වූශ. ගුරු මතය මෙය යයි වෙන ම දැක්වූහ. එම නිසා අටුවා ග්‍රන්ථවල ධර්මය ඉතා පැහැදිලිය. අපිළිවෙළ නැත. ධර්මය ධර්මය හැටියට විග්‍රහ කරනු ලැබූහ. එතුළට උන්වහන්සේගේ අදහස ඇතුළත් වූයේ නැත. පාලි අටුවා තුළින් ධර්මය විකෘති වූවායයි මතවාද ඉදිරිපත් කරන්නෝ තර්කවාද වල එල්බගෙන එසේ කරති. තර්කය තුළ ම රැඳී සිටිම තුළ සිදුවන එක් අභාග්‍යයක් වෙයි. එනම්; සත්‍යය සත්‍යය ලෙස දැකීමට ඇති නොහැකියාවයි. බුද්ධඝෝෂ හිමියන්ගගේ සද්භාව උත්සාහය පවා අශූභවාදීව දකින්නේ එම නිසාම ය.

ක්‍රමයෙන් ධර්මය විග්‍රහ කර ලියන පොත පත ප්‍රමාණාත්මකව වර්ධනය විය. අටුවාපොත් ලිවීම ඇරඹුණේ බුද්ධඝෝෂ හිමියන් අතින් වුවද පසුව තවත් තෙරවරු එම කාර්යය සඳහා ලේඛයන් වශයෙන් ඉදිරිපත් වූහ.

ලේඛකයා ලේඛන ශක්තියෙහි පමණක් නිපුණවීම ප්‍රමාණාත්මක සාධකයක් ලෙස නොසැලකීය යුතු බව අටුවා ග්‍රන්ථකරණයෙන් ද පෙනේ. ධර්මය පිළිබඳ මනා පරිචයක් ද ධර්මය විග්‍රහයෙහි නිපුණබවක් ද අටුවාචාරීන්වහන්සේලාට පැවති නිසාම ධර්මය විග්‍රහයේදී උන්වහන්සේලා තත්පර වූහ. ධර්මශ්‍රාවකයන් ධර්ම විග්‍රහයට එන්නේ අටුවා විග්‍රහය පාදක කර ගනිමින් ය. ලේඛකයා දාර්ශනිකයකු විය යුතුය යන අදහස ද වැදගත් ය.

සිංහල ධර්ම සාහිත්‍යය ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. එය අංශ කිහිපයකින් ම සිදුවිය. එනම්.

1. අටුවා ග්‍රන්ථවලට ටීකා ග්‍රන්ථ බිහිවීම

2. ටීකා ග්‍රන්ථවලට ටිප්පනි බිහිවීම

3. කෝෂ ග්‍රන්ථ බිහිවීම

4. විවරණ ග්‍රන්ථ බිහිවීම

5. පරිකතා ග්‍රන්ථ බිහිවීම

6. ගැටපද හා සන්න බිහිවීම

මේ සියලු ග්‍රන්ථවල ඒකායන අරමුණ වූයේ බුද්ධ දේශනාවන්ට අර්ථ සපයමින් විග්‍රහ කිරීම ය. මිනිස් මනසට වැටහෙන අයුරින් එකී කාර්ය භාරය ඉටුකිරීමය. ධර්මය මෙසේ ලේඛන ගතවීම තුළ බිහි වූයේ ධර්ම සාහිත්‍යයකි. එය සිංහල සාහිත්‍යය ලෙස අර්ථ ගන්වා තිබේ. ධර්ම අර්ථයට හානියක් නොවන අයුරින් එය විග්‍රහ කිරීම තරමක් අසීරුය. ඒ සඳහා භාෂා නෛපූණ්‍යය ද ජන විඥානය පිළිබඳ මනා වැටහීමක් ද තිබිය යුතු වෙයි. සාහිත්‍ය කරුවා ප්‍රඥාවෙන් පිරිපුන් කෙනකු විය යුතු බව සාහිත්‍යයේ නියමාවලී බවට පත්වූයේ ද බෞද්ධ දෘෂ්ටියේ ආභාසයෙනි.

‍බෞද්ධ සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීමෙහිලා ඇප කැපවී කටයුතු කිරීම ගිහි පැවිදි දෙපක්ෂය අතින් ම සිදුවිය. පූර්ණකාලීන වශයෙන් සසුනට කැපවී සිටින භික්ෂූන් වහන්සේලා අතින් ද ධර්ම මාර්ගයේ ගමන් කළ ගිහි ඇත්තන් අතින් ද ධර්ම විග්‍රහත්මක ග්‍රන්ථ බිහිවිය. එකී ග්‍රන්ථ ප්‍රමාණය එකතුවක් වශයෙන් ගත් කල අතිවිශාලය. සෑම ග්‍රන්ථ කතුවරයකු තුළට පැවති ගුණාංගය වූයේ තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධා භක්තියයි. සෑම කෘතියක ම ආරම්භය සිදු වන්නේ තුනුරුවන්ට වන්දනා කිරීමෙන් අනතුරුවය. එසේ ආරම්භවන කෘතිය පුරා පාඨකයා ලබන‍්නේ බුදු සමය මගින් උගන්වනු ලබන චින්තනයයි. අස්සාද, ආදීනව, නිස්සරණ යන ධර්ම සංකල්පය බුදුසමය මඟින් නිර්දේශිත අතර චිරන්තන සෑම කෘතියක් ම වාගේ එහි අග්‍රඵලයයි.

• නව සාහිත්‍ය ප්‍රවණතා

දහනවවන වන සියවසත් සමඟ ලෝක සාහිත්‍යය තුළ නව ප්‍රවණතාවක් මතු වී එයි. එනම්; එතෙක් ලෝක සාහිත්‍යය තුළ පැවති ආගමික සාහිත්‍යය වෙනුවට නව නිර්මාණාත්මක සාහිත්‍යයක් ඇතිවීමයි. එකී ලෝක සාහිත්‍ය ප්‍රවණතාව ශ්‍රී ලංකාවට ද බලපෑම් කරනු ලබයි. ශ්‍රී ලංකාව තුළ එතෙක් පැවති ආගමික සාහිත්‍ය නවෝදය වෙනත් අංශයකට යොමුවන්නේ එම දහනව වන සියවස තුළය. එතෙක් පැවති ධර්ම කරුණු විග්‍රහ කරමින් කෘති රචනා වූ ආගමික සාහිත්‍යය වෙනත් අංශයකට හැරෙන්නට පටන් ගැනිණ. ඒ අනුව නව නිර්මාණාත්මක සාහිත්‍යයක් ද වර්ධනය වනු දැකිය හැකි වෙයි. එකී තත්වය සිංහල සාහිත්‍යයේ නව ප්‍රවණතාවක් ලෙස දැකිය හැකිය.

එම නිර්මාණාත්මක සාහිත්‍යය අංශ කිහිපයකින් යුක්තය. එනම් නවකතාව, කෙටිකතාව, නිසදැස් පද්‍යය, ගීතය, ගුවන් විදුලි නාට්‍යය, පුවත්පත් තීරුලිපිය යන සාහිත්‍ය අංගයන්ය. එකී සාහිත්‍ය අංගවලත් ප්‍රාරම්භක යුගය ආගමික මුහුණුවර ඇතුළෙහි වර්ධනය වන්නට විය. ඒ අනුව එකි සාහිත්‍ය අංග පවා මූලික වශයෙන් බුදුසමයේ ආභාසයෙන් පෝෂණය විය. පසුකාලීනව එකී සාහිත්‍යාංග ක්‍රමයෙන් ධර්ම සාහිත්‍යයෙන් ඈත් වන්නට විය.

එක්දහස් නවසිය පනස් හතර වසරේ පමණ රචනා වූ ‘සිංහල පද්‍ය බන්ධනය’ නම් වූ ග්‍රන්ථයට සිංහල සාහිත්‍ය සමාජය තුළ තරමක් අප්‍රකට එකක් වුවද නව සාහිත්‍යංග පිළිබඳ අධ්‍යයනයක යෙදෙන විට අත්‍යවශ්‍ය මූලාශ්‍රයකි. සිංහල පද්‍ය බන්ධනයට කෘතිය සිංහල ඡන්දස විෂයෙහි මෙතෙක් ලියවී ඇති අගනා කෘතියකි. මල්බෝලානේ වික්‍රමශිලා පිරිවනේ අධිපතිව සිටි පණ්ඩිත ඕවිටිගල වජිරඥාන හිමියන් විසින් සිංහල පද්‍ය බන්ධනය නම් කෘතිය රචනා කරන ලදුව ප්‍රාචීන භාෂෝපකාර සමාගම මඟින් ග්‍රන්ථ විශාරද උපාධිය පිරිනමන ලදී. පසුකාලීනව නැඟි ජනප්‍රිය වී ගිය ගීත සාහිත්‍යය කෙරෙහි ඉමහත් බලපෑමක් මේ කෘතිය මඟින් සිදු විය. මහා කාව්‍යයක් තරමට අගය කළ හැකි මෙය සිංහල ඡන්දස් විභාග ඉතා මැනවින් දක්වනු ලැබ තිබේ. ඡන්දස් අලංකාර විෂයයෙහි ප්‍රාමාණික ග්‍රන්ථයක් වශයෙන් අගය කළ හැකි ය. විවිධ ඡන්දස අලංකාර දැක්වීම සඳහා යොදා ඇති ඇතැම් නිදසුන් කෘතිය අවුරුදු හැටක් පමණ පැරණි වුවද කාලීන බවින් පිරිපුන්ය. ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

ලාලනියන් රූපෙ නිසා මේ
යෞවනයෝ මෝඩ වෙලා බෝ
රාසෙම පෙම් බැම්ම බැදීලා
ලෝක එපා වී මැරෙතී දැන්

සංසාරේ පීනන්නේ කොයි දේසේ යන්නේ දෝ නෑ දන්නේ
කොයි කාලේ දුක් පීඩා වන්ගෙන් අස්වේදෝ නෑ දන්නේ
කොයි වේලේ කොයි ලෙස්නෙන් මේ ජීවේ සුන්වේදෝ නෑ දන්නේ
මින් පසසේ කොයි ලෝකේ උත්පත්ති වේදෝ හෝ නෑ දන්නේ

කිකිළි කිකිළි පුදුම කිකිළි
කුඩු කුල්ලක් ගිලින කිකිළි
කිකිලිගෙ තනපුඩු බිම ගෑවෙනවෝ
කිකිළි කිකිළි පුදුම කිකිළි
රන් බිත්තර දමන කිකිළි
කිකිළිගෙ කරමල අහසේ ගැටෙනවෝ
කිකිළි කිකිළි පුදුම කිකිළි
තුන් ජාමෙට අඩන කිකිළි
කිකිළිගෙ කටහඬ ගමට ඇසෙනවෝ
කිකිළි කිකිළි පුදුම කිකිළි
කෙකර ගගා නටන කිකිළි
කිකිළිගෙ හැටි දුට පුදුම හිතෙනවෝ

සිංහල පද්‍ය බන්ධනය නමැති කෘතිය තුළ දක්නට ලැබෙන නිදසුන් සංගීතය සමඟ යොදා ගත හැකිවෙයි. එසේ ම ඒ තුළින් නිර්මාණාත්මක නව සංගීත මාර්ග පාදාගත හැකිවෙයි. පද රචනය, ගීත රචනය, ගේය කාව්‍ය රචනය යන නම් වලින් සැරසී සමාජයට කළඑළිබඩ වර්තමානය වනවිට වඩාත් ජනප්‍රිය වූ ගීත රචනා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ද සිංහල පද්‍ය බන්ධනය කෘතිය හේතු වෙයි. නිදහස් යුගයේ ලියවුණු සිංහල ඡන්දස පිළිබඳව අගනා කෘතියක් ලෙස ඕවිටිගල වජිරඥාන හිමියන් විසින් රචනා කරනු ලැබ ඇති සිංහල පද්‍ය බන්ධනය නැමති කෘතිය දැක්විය හැකිය.

• සමාලෝචනය

මෙම ලිපියෙහි ලා අපගේ අවධානය යොමු වූයේ සිංහල සාහිත්‍යයට නියමාවලි සකස් වීම කෙරෙහි බලපෑ බුදු සමයේ ආලෝක ප්‍රභාව පිළිබඳවයි. සිංහල සාහිත්‍යය එක්තරා ආකාරයක බෞද්ධ ආගමික සාහිත්‍යයක් වීම සිදුවී ඇති ආකාරයයි. දහනව වන සියවස අග දක්වා ම එකී බෞද්ධාගමික නියමාවලි අනුව පුළුල් වෙමින් සාහිත්‍යයේ වර්ධනය ද ජනතාව කෙරෙහි වඩාත් වැඩි ලෙසින් සමීපවීම ද දැකිය හැකිය. දහනව වන සියවසින් පසුව බිහිවන නව සාහිත්‍යංගයක ප්‍රාරම්භක යුගයේ ඇතැම්විට බෞද්ධාගමික ලක්ෂණ පෙන්නුම් කරනු ලැබූ අතර පසුව එය ක්‍රමයෙන් ඈත්ව බටහිර ගැති වාදයකට හුරුව අනාථව ගියේය.

Comments