ඔබ සිටින්නේ කොතැනද | සිළුමිණ

ඔබ සිටින්නේ කොතැනද

අස්වනු කැපූ, පරක් තෙරක් නොපෙනෙන වෙල්යායේ නියරක් මත ඉඳගෙන මඳ අන්ධකාරය මැදින් මම නිසල අහස්තලය මත රන්වන් පැහැයෙන් බබළන සඳවතිය දෙස බලා හුන්නෙමි. වෙල්යායේ එක් කෙළවරක ඊළඟ කන්නයට වැපිරීම සඳහා සකස් කර තිබෙන ඉසව්වේ කළු පැහැ මඬ පිඬැලි මතට රන්වන් සඳකිරණ වැටී දිලිසෙමින් තිබිණි. වෙල්යායේ මෑත කෙළවරේ තිබෙන කඳුරු, ගොඩපර හා කුඹුක් ගස් මත සුදු මල් පොහොට්ටු මෙන් දිස්වෙන නිදා සිටින කොකුන් මතට වැටෙන සඳ එළිය සුදෝ සුදු රැස් විහිදමින් ඇළ පාරේ ජල තලය මතට වැටී රිදී රේඛා මවමින් සැඟව යයි.

සඳේ ප්‍රභාවත් ආලෝකයෙන් සිය ප්‍රභාව යටපත් වෙතැයි බියෙන් තාරකා තොමෝ සඳෙන් මඳක් ඔබ්බට වන්නට නිල් අහස්තලය පුරා අතිශය සුන්දර වියමනක් තනන්නී ය. සෞම්‍ය එහෙත් දරා ගත නොහුණු තරම් ප්‍රභාවත් සඳ‍ වෙස‍‍ෙඟ් පින්බර අසිරියෙන් තව තවත් සෞම්‍ය වූ කිරණ මිහිතලයට පතිත කරයි. වෙසක් සඳ අන් කවරදාටත් වඩා සිත නිවා සනහාලමින් පින්බර ව අහසේ දිලෙයි.

වෙසක් පුන් පොහෝදා බෝධීන් වහන්සේගේ සෙමෙන් සැලෙන බෝපත් අතරින් සඳ කිරණ ගලා එන අපූරුව බලන්නට එදවස මම වසර පුරා බලා සිටියෙමි. අද බෙල්ලන්විල රජ මහා විහාරයේ දෙනෝදහක් සෙනග මැද තනිවන මම නිසල ව ඉර බැස යන සැඳෑවේ සඳ පායා එන අපූරුව බලා සිටින්නෙමි. සෙමෙන් සැලෙන සුළඟ හා ගීතවත් වෙමින් රඟ දෙන බෝපත් අතරින් පෙරෙන වෙසක් සඳ කිරණ මිහිතලය මත පතිත වෙයි. වැලි මළුවේ සුදු වැලි කැට මතට වැටෙන සද එළිය නොයෙක හැඩතල මවමින් වන්දනාමාන කරන බැතිමතුන්ගේ සිත් සෞම්‍ය බවෙන් සනහාලමින් ඔවුන් සිතට ශාන්තිය එක් කරයි. සුදෝසුදු චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කාන්තිය තවතවත් ඔපලමින් වෙසක් සඳ පින්බර ව අහසේ දිලෙයි.

විසරණය වූ සිතිවිලි එක්තැන් කරමින් සිත නිවා සනහාලමින් වෙසක් සඳ කිරණ හාත්පස ගලා යද්දී දෙනෝදහක් ජනයා වැඳුම් පිදුම් කරන බෝධීන් වහන්සේ ද නිසල ව ශාන්ත ව වැඩ සිටිති. බෝධීන් වහන්සේට පුදන්නට ගෙන ආ මල් අතැති ව මම මල් ආසනය වෙත පියමැන්නෙමි. මීට දවසකට පෙර පෙති විහිදා සුන්දර ව හිනැහෙමින් අපමණ සන්තුෂ්ටියෙන් යුතු ව, බෝධීන් වහන්සේ අබියස පේවී සිටින සිය ගණන් පුෂ්පයෝ අද පරවී, හැකිළී මල් ආසනය මත දුක්බර ව බලා සිටිති. මම ඒ මල් එකින් එක ඉවත් කළෙමි. ඉවත් කළ මල්, පරවූ මල් එක්රැස් වන කසළ ගොඩ මතට දැමුවෙමි. දහස් ගණන් පුෂ්පයෝ මැලවී, පරවී දුර්ගන්ධය විහිදුවමින් ඒ කසළ ගොඩ මත වෙති.

බුදුන්ට පූජා වීමේ අපූර්ව සතුට විඳිමින් මා ගෙන ආ මල් සුන්දර ව හිනැහේ. එහෙත් ඒ මල් ද අද මා ඉවත් කළ මල් මෙන් හෙට තවත් උවැසියක අතින් ඉවත් කෙරෙනු ඇත. ඒ සුගන්ධවත් මල්, පර මල් ව දුර්ගන්ධය විහිදුවනු ඇත.

දින කිහිපයකට පෙර සිත නිවන කොළ පැහැයෙන් දිස් වූ ළපටි බෝපත් අද මෝරා දුඹුරු පැහැ ව වැලිතලය මත වැටී බැතිමතුන් පයට පෑගේ. ඊයේ උදෑසන සඳ රැස් වැටී පිනිිබිදු වැටී දිලිසුණ බෝපත් අද බිමට වැටී වැලිකැට සමඟ පෑඟී කසළ ගොඩට එක් වේ. බුදු පුදට ආ උවැසියක ඒ බෝපත් ලතාවකට ඇමද බෝ මළුවෙන් ඉවත් කරයි. අනිත්‍යය පිළිබද උපේක්ෂාව නෙත සනහන සෞන්දර්යය යටපත් කරමින් ම සිත දැහැන්ගත කරයි.

සියලු සෞන්දර්යයන් මොහොතින් මොහොත වෙනස් වන බවත්, අනිත්‍ය බවත් තේරුම් ගත් සබුද්ධික බෞද්ධයෝ කී දෙනෙක් මේ විහාර භූමිය මත වන්දනාමාන කරත් ද? පරිසරයේ සුන්දරත්වය අත්විදීම, ඒවා නෙතට රසඳුනක් කර ගැනීම පාපයක් ද? ඇලීමකින්, අත්පත් කර ගැනීමකින් වින්දනය කළ හැකි නම් සුන්දරත්වය දැකීම පහත් හැගීමක් නොවේ. සුන්දරත්වය විඳීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?

ලොව පවතින සියලු වස්තූන් පිළිබද යථාර්ථවාදී ඇසකින් බලන්නට හැකි මනසක් අපට නිර්මාණය කර ගත හැක්කේ නම්, මේ ලොව පවතින අනේකවිධ සුන්දරත්ව අබියස දැහැන්ගත ව ඒවා අවබෝධයෙන් විදින්නට අපට හැකි වනු ඇත. යම් වස්තුවක් දෙස බලන අරමුණ අනුව එහි ඇලීම හා නොඇලීම පිළිබඳ සංඥාව අපට ලැබේ. මලක සුන්දරත්වය දැකීම වඩා අර්ථවත් වන්නේ එය තව මොහොතකින් පරවී, හැකිළී යා හැකි බව තේරුම් ගන්නේ නම් පමණී. සිලි සිලි හඬින් සැලෙන බෝපත් දෙස නිසල ව බලා සිටිමින් අප අවබෝධ කර ගත යුත්තේ ද මේ සත්‍යම ය.

ලොව සුන්දරත්වය තත්ත්වාකාරයෙන් දුටු රහතන් වහන්සේලා ඒ සුන්දරත්වයේ ඇලී ගැලී නොසිට නිරාමිස ව එය විදගත් අයුරු මොහොතක් සිතන්න.

භාවනායෝගී ව වැඩ හුන් නන්දක රහතන් වහන්සේ සිය කුටියෙන් එළියට විත් බලන විට හාත්පස අන්ධකාර වෙමින් මහ වැසි කඩා වැටෙනා අයුරු දැක මෙසේ පැවසූහ.

“වස්සති දේවෝ යථා සුගීතං“

“මහ වැස්ස ගීතයක් වගේ“ වැස්සේ සෞන්දර්යය නන්දක රහතන් වහන්සේ වින්දනය කරමින් ඒ දෙස ඇලීමකින් තොර ව බැලීමෙන් නිරාමිස සුවයක් ලැබූ අයුරු එමඟින් පෙනේ. ගැටලුව ඇත්තේ සෞන්දර්යයේ නොව අප ඒ දෙස බලන අරමුණ අනුව බැව් තේරුම් ගත හැකිනම් මේ සියලු සෞන්දර්යයන් වීතරාගී ව විදින්නට අපට හැකි වනු ඇත.

[email protected]

Comments