ආනන්දය සහ මා | Page 20 | සිළුමිණ

ආනන්දය සහ මා

 ට්‍රිනිටි කොලේජ් අපි දින්නා - සෙන්ට් පීටර්ස් අපි දින්නා - සෙන්ට් තෝමස් අපි දින්නා - සෙන්ට් බෙනඩික් අපි දින්නා ඉනිංග්ස්වලින් අපි දින්නා" මෙසේ කෑ ගසමින් අටවන පන්තියේ ශිෂ්‍යයෙකුව සිටි අවධියේ දී, ආනන්දයේ ක්‍රිකට් කණ්ඩායම දිරිගන්වමින් ක්‍රීඩා පිටිය වටා දිව ගිය අයුරු මගේ සිහියට එයි. ඒ එදා, සුනිල් වෙත්තිමුනිගේ නායකත්වයෙන් අපට සිටි ප්‍රබලතම ක්‍රිකට් කණ්ඩායම, ආරම්භයේ පටන් දිගටම සියලු තරග ජයගනිමින් සිටි කාලයකි. සන්ජීව, මහිලාල්, දයාප්‍රිය, වෙත්තිමුනි, සුබාෂ් සුමනසූරිය ආදීන් මගේ මතකයට එයි.ආනන්දය හා බැඳි මගේ මතකයන් අවදි කරන සටහනක් සඳහා මට ඇරියුම් කළ අපේ ආදිශිෂ්‍ය සංගමයේ ගරු සභාපති තිලක් කරුණාරත්නයනට මගේ ස්තූතිය පළමුව පුද කරන්නෙමි.

එමෙන්ම මා ආනන්දයට ඇතුළත් කරන්නට එදා ඒ බුද්ධිමත් තීරණය ගත් මගේ දෙමාපියන්ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නෙමි.ආනන්දය හා බැඳි මතකයන් අවදි කරන්නට පෙර, ආනන්දය උදා කළ පුරෝගාමීන් කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කිරීම අප යුතුකමක් වේ.එදා යටත් විජිත පාලනය තුළ ශ්රීක ලාංකිකයනට තම පාරම්පරික ආගම් ඇදහීමට මෙන්ම තම අනන්‍යතාවන් රැක ගනිමින් නවීන අධයාපනය ලබා ගන්නටත් පහසුකම් නොතිබිණ. ඒ සඳහා තහංචි බොහොමයක් විය. එදා ඉංග්‍රිසි අධ්‍යාපනයට ඉඩකඩ තිබුණේ සීමා සහිත පැලැන්තියකටය.ANANDA COLLEGE ආනන්දය විජිත පාලකයන් සූක්ෂම අයුරින් කටයුතු කිරීම දැකිය හැකි විය.

මේ අවධියේ ශ්‍රි ලංකාවට පැමිණි අමෙරිකානු ජාතික ඕල්කොට්තුමන් බෞද්ධ දර්ශනය හැදෑරීමට උනන්දුවක් දැක්වූ උගතෙකු වූ අතර, ශ්‍රී ලංකාවේ පැවැති මේ තත්ත්වයන් එතුමා හොඳින් අවබෝධ කරගෙන තිබුණි.තම අනන්‍යතාව හා වටිනාකම් ආරක්ෂා කරගෙන ඉංග්‍රිසි හා නවීන අධ්‍යාපනය හැදෑරීමේ වැදගත්කම තේරුම් ගත් දේශීය නායකයන් හා එක්ව ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඕල්කොට්තුමන් අවශ්‍ය මඟපෙන්වීම සහ නායකත්වය එදා ලබා දී ඇති අයුරු අපට දැකිය හැක. කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා, ආනන්ද ධර්මරාජ, නාලන්ද, ධර්මපාල ඇතුළු බෞද්ධ පාසල් ගණනාවක් (465 ක් පමණ) දිවයින පුරා ආරම්භ කරමින්, බෞද්ධ දරුවනට තම අන්‍යයතාව ආරක්ෂා කර ගනිමින් නවීන අධ්‍යාපනය ලබා ගන්නට මං පාදාදීම එදා සිදු කරනු ලැබිණ.

මේ පාසල්වලට බෞද්ධ පමණක් නොව අන්යී ආගමික සිසුන්ද එක්ව තිබිණ.එදා ආනන්දයේ අභිවෘද්ධිය සඳහා අමෙරිකානු ජාතික ඕල්කොට්තුමන් මෙන්ම ප්‍රිට්ස් කූන්ස්, මුවර් ලෙඩ්බිටර් වැනි විදේශීය ජන්මයක් තිබූ විදුහල්පතිතුමන්ලාගේද, ටී.බී. ඡයා, පනික්කාර් තනබාලසිංහම් වැනි ද්‍රවිඩ, මුස්ලිම් ගුරු උතුමන්ලාගේද විශිෂ්ට දායකත්වය ආනන්දයට ලැබිණ.

එදා පී. ද එස්. කුලරත්න විදුහල්පතිතුමන්ගේ මූලිකත්වයෙන් ආනන්දයෙන් ලැබුණු ආභාසය ඉවහල් කරගත් ටී. බී. ඡායා මැතිතුමන් තම සංස්කෘතික අනන්‍යතාව සහ වටිනාකම ආරක්ෂා කරගෙන නවීන අධයාපනය ලබාදෙනු වස් රටපුරාම සහිරා විද්්‍යාලයන් ගොඩනැගූ අයුරු අපට දැකිය හැක. එදා ඕල්කොට්තුමන්ගේ නායකත්වයෙන් ඇති වූ මේ අධ්‍යාපනික විප්ලවය හේතුවෙන් රට තුළ සමාජ පෙරළියකට මං පෑදීම සිදුවිය. අයිවෝ ජෙනිග්ස්ලා, වෙස්ටර්ලා වෙනුවට අපේම බැංකු අධිපතිවරු, උපකුලපතිවරු, සිවිල් සේවකයන්, හමුදාපතිවරු ඇතුළු විවිධ ක්ෂේත්රිවල ගමෙන් බිහිවූ අලුත් පරපුරක උදාව අපට දැකගත හැකිවිය.ආනන්දයේ ගත කළ මගේ ශිෂ්‍ය අවධිය මාගේ ජීවිතයේ සන්ධිස්ථානයක්ම විය. මා මුලින්ම "අ", "ආ" යනු කීවේ කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාකරාමයෙනි. අනතුරුව කළුතර සිරිකුරුස සහ ගම්පොල සහිරා විදුහල්වල උගත් මම අටවන ශ්‍රේණියට ආනන්දයට ප්‍රවේශ වූයෙමි.

සැමදා පන්තියේ අන්තිම දස දෙනාගෙන් කෙනකු ලෙස පන්තියේ වාර්තාව දෙමාපියනට පෙන්වූ මට, ආනන්දයට පැමිණ පසු නමවන ශ්‍රේණියේ පටන් සැමදා පන්තියේ පළමු පස් දෙනා අතරට ඒමට හැකි විය. ශිෂ්‍ය නීති හා අනිවාර්ය පාඩම් කාලයන් සහ එහි සිටි දීප්තිමත් සිසුන්ගේ ආභාෂයද මෙයට හේතුවන්නට ඇතැයි මම සිතන්නෙම‍ෙගුරු වෘත්තීය රැකියාවක් කරනොගත් ගුරු පරපුරක් මම ආනන්දය තුළ දුටුවෙමි. සිංහල විෂයට විශිෂ්ට සාමාර්ථයක් ලබාගන්නට තිබූ ආසාව හේතුවෙන් බර්ටි විජේසිංහ ගුරුතුමන්ගේ අමතර පන්තිවලට සහභාගී වූයෙමි. මාසයක් අවසානයේ දී ටියුෂන් ගාස්තුව වශයෙන්මගේ පියතුමන් දුන් චෙක්පත එතුමන්ට දුන්විට, ලැබුණු පිළිතුරු වූයේ, "පුතාට අමතර උදව් ඕනෑ බව කී නිසයි ටියුෂන් දුන්නේ, සල්ලිවලට නොවෙයි. චෙක් එක තාත්තට ගිහින් ආපහු දෙන්න."ශිෂ්‍ය නිවාසයේ දී එවැනිම කැපවීමකින් ඉංග්රීෙසි අමතර පංති පැවැත්වූ ලක්ෂ්මන් පෙරේරා ගුරුතුමන්ගෙන්ද එවැනිම පිළිතුරක් ලද්දෙමි.ගෝලයනට ඉහළම දැනුම ලබා දී, ඔවුන් තමන්ට ඉහළින් සිටිනු දැක්ම, ඔවුන්ගේ ලොකුම සතුටවූ බවයි මා දකින්නේ.අදත් තම ගෝලයන් දුටුවිට පුදුම ලෙන්ගතුකමකින්, උණුසුම් බවකින්, ආදරයෙන් සුවදුක් විමසන ඒ ගුරු උතුමන් මා සිහිපත් කරනුයේ ඉමහත් ගෞරවයෙනි. මුස්ලිම් දරුවකු වූ මට, බෞද්ධ ආනන්දය තුළ කිසිවිටෙකත් ආගන්තුක බවක්, වෙනසක් නොදැනිණ. ශිෂ්‍යව නිවාසයේ ප්‍රධාන ශිෂ්‍යය නායකයා ලෙස මා තෝරාගත් ශිෂ්‍යයෝ නිවාසයේ පරිපාලක බර්ටි ප්‍රනාන්දු ගුරුතුමන්, ස.ගා. ධර්මසේන ගුරුතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය කෘතවේදීව සිහිපත් කරනු කැමැත්තෙමි. ශිෂ්‍ය නිවාසයේ කණිෂ්ඨ ශිෂ්‍ය සභාවේත්, ජ්‍යෙෂ්ට ශිෂ්‍ය සභාවේත් සභාපති ධූරයනට මා තෝරාගත් සමකාලීන ආනන්දියයන්ද මට සිහිපත් වෙයි. බුදුදහමේ මූලික හරයවූ සමානාත්මතා දැක්ම, මම එදා ආනන්දය තුළ දුටුවෙමි.බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී සියලු ශිෂ්යතයන් ආනන්දය තුළ මට හමුවිය. මා දුටුවේ බෙදීමක් නොව විවිධත්වයකි. එම විවිධත්වය තුළ රැඳී පවතින ශක්තිමත් එකමුතුව මට පෙන්වා දුන්නේ ආනන්ද මෑණියන්ය.

ආනන්දයෙන් මම ශ්‍රී ලාංකික අනන්‍යතාව හඳුනාගත්තෙමි. ශ්‍රී ලංකාවේ උරුමයන් හොඳින් පසක් කරගත්තෙමි.

ජයග්‍රහණයන් හමුවේ උඩඟු නොවන්නටත්, පරාජයක් හමුවේ කම්පා නොවන්නටත් මා හුරු පුරුදු වූයේ ආනන්දයේ දීය. තමන් විශ්වාස කරන, තමන් අදහන මතවාදයන් වෙනුවෙන් අවංකවත්, නිර්භීතවත් පෙනී සිටින්නට මට ශක්තිය ලැබුණේ කුඩා කල පටන් ආනන්දයේ දී ලද අත්දැකීම් හේතුවෙනි. තනතුරු පසුපස හඹා නොගොස්, තමන් වෙත පැවරෙන වගකීම් හෘදසාක්ෂියට අනුව ඉටු කරන්නට මා පෙළඹ වූයේ ආනන්දයයි. මෙහිලා අපේ ජීවිතවලට ආදර්ශ සැපයූ ආනන්දයේ ගුරු උතුමන්ලා මගේ සිහියට එයි. කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ විදුහල්පතිතුමන් මට කිසිවිටෙකත් අමතක නොවන, මගේ ජීවිතයට පාඩම් ඉගැන්වූ ගුරු පියෙකි. මා නවවන ශ්‍රේණියේ සිටිය දී, පාසලේ ත්‍යාග ප්‍රධානනෝත්සවයට පෙර, ඒ සඳහා පැවැති පෙරහුරුව මගේ මතකයට එයි. ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා වන්නට සිටියේ ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිඳුන්ය. ඔහුගේ භූමිකාව වෙනුවෙන් පෙනී සිටියේ විදුහල්පතිතුමන්ය.

මට පෙර ත්‍යාගය ලබාගන්නට සිටි ශිෂ්‍ය, පෙරහුරුවේ දී විදුහල්පතිතුමන් ඉදිරියේ ත්‍යාග ලබාගන්නට පෙනී සිටි ආකාරය දැක, රාජපක්ෂ විදුහල්පතිතුමන් කළ ප්‍රකාශය මට කිසි දිනෙක අමතක නොවේ."පුතා ආනන්දයේ දරුවෝ කාටවත් කොන්ද නමන්නේ නැහැ. පොඩ්ඩක් ඔලුව නවලා ගරුත්වය පෙන්නුවොත් ඇති"රාජපක්ෂ විදුහල්පතිතුමන් එදා ආනන්දියයන්ගේ ඔළු හැඳු අයුරු අපට කෙසේ අමතක වේද?1972 පාසල් ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ශිෂ්‍යයන් වෙනුවෙන් යෝජනාව ස්ථිර කිරීම පැවරී තිබුණේ මටය.

ප්‍රධාන අමුත්තා ලෙස ඇර­ියුම් ලබා සිටියේ කීර්තිමත් ආදි ආනන්දියයකු වූ එවකට මුදල් අමාත්‍යව සිටි ගරු ආචාර්ය එන්. එම්. පෙරේරා මහත්මායි. පාසල් කාලයේ පටන් දේශපාලනය කෙරේ මගේ තිබු දැඩි උනන්දුව හොඳින් දැන සිටි රාජපක්ෂ විදුහල්පතිතුමන් මා කැඳවා, ස්තූති යෝජනාව ස්ථිර කරන විට පෞද්ගලික දේශපාලන මතවාද කථාව තුළට කිසිසේත් ගාවා නොගත යුතු බව ආදරයෙන් මතක් කර, එදින කරන කථාව තමාට ඊට පෙර ඇසීමට අවශ්යය බව දන්වා සිටියේය. ඒ අනුව ඒ කථාව එතුමන් ඉදිරියේ, එතුමන්ගේ කාර්යාලයේ දී මා කරන විට, එය පටිගත කර, ඉන් වචනයක් හෝ බැහැර නොයා යුතු බව මට කියා සිටින ලදී.එහෙත් මුදල් අමාත්‍ය තුමන්ගේ කථාවේ දී විදුහල්පතිතුමන් කළ සඳහනකට පිළිතුරු වශයෙන් කළින් පටිගත කළ කථාවට බැහැරව ගොස් කථා කරන්නට මට සිදුවිය.

එහෙත් ඒ කළ කථාවෙන් විදුහල්පතිතුමන් සතුටට පත්වතිබුණි. උත්සවයෙන් අනතුරුව ත්යාපග ප්‍රදානෝත්සවය සඳහා මුද්‍රණය කළ සමරු පොතක විදුහල්පතිතුමන් තම අත්සන යොදා පහත සඳහන් වැකිය එහි ලියා එම සමරු පොත මට දෙන ලදී. එහි ලියා තිබුණේ පහත වැකියයි."ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ඔබ කළ කථාව සදා අප මතකයෙන් ඈ නොවේ."විදුහල්පතිතුමන්ගේ අත්සනින් ඒ ලබාදුන් සමරු පොත මම අදද සුරැකිව තබා ඇත්තෙමි. පත පොතේ දැනුම සහ බාහිර ක්‍රියාකාරකම් තුළින් අපේ ජීවිතයට ආනන්දය එක් කළේ විශාල ශක්තියක්.සමස්ත ලංකා අන්තර් පාසල් කථික තරඟයන් සඳහා 1966 දී ආනන්දියයන් තිදෙනකු යැවීමට විද්‍යාලය කටයුතු කර තිබිණ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ අංශයෙන් රත්නසිරි රාජපක්ෂද, මධ්‍යම අංශයෙන් ඔසී අබේගුණසේකරද, කනිෂ්ඨ අංශයෙන් මා ද තෝරා ගැනිණ.

අප සූදානම් කිරීම භාරව තිබුණේ බර්ටි විජේසිංහ ගුරුතුමන්ටයි. කථා කරන අවස්ථාවල දී මා තුළින් කුඩා තැතිගැන්මක් දුටු එතුමා, විදුහල්පති කාමරය ඉදිරිපිට කුඩා සිමෙන්ති කොටයක් උඩට මා නංවා, දැන් අදාළ කථාවපවත්වන ලෙසත්, වෙව්ලීමක් සිදු වුවහොත් බිම වැටිය හැකි බවත් කියමින් කථාව පුහුණු කළ අයුරු මට සිහිපත් වෙයි. අවසානයේ දී ආනන්දයෙන් කථික තරඟයට ගිය අපි රන් පදක්කම් තුනම ආනන්දයට ගෙන ආවෙමු.එක් අවධියක ආනන්දයේ විවාද කටයුතු භාරව සිටි ගුණදාස පතිරාජ මහත්මා, මා ඇතුළු විවාද කණ්ඩායමේ සිටි සරත් කොන්ගහගේ, සිතේන්ද්‍ර සේනාරත්න, මොහාන් ලාල් ග්‍රේරු, කුලසිරි සොයිසා, කිංස්ලි රොඩ්රිගු, බන්දුල පරාක්‍රම සහ හපුආරච්චි ආදීන් ඒ සඳහා සූදානම් කිරීමට ගත් උනන්දුව, එතුමන් අද ජීවතුන් අතර නොසිටියද මට සිහිපත් වෙයි.

එදා අ.පො.ස. (සා.පෙළ) සඳහා අප පන්තියේ පාලි විෂය හැදෑරුවේ මා සහ සරත් කොන්ගහගේ පමණි. අපට පාලි ඉගැන්වූයේ රෑකඩහේනේ චන්ද්ර්ජෝති හිමියන්ය. උන්වහන්සේ ඇතුළු ආනන්දයේ මා සිටි අවධියේ සිටි කොටගම වාචිස්සර, හිමියන්, හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි හිමියන්, කහතුඩුවේ හේමසිරි හිමියන් සහ දිවියාගහ යසස්සී හිමියන් වැනි ගරුතර නායක ස්වාමීන් වහන්සේලාගෙන් ගුරුහරුකම් සහ උන් වහන්සේලාගේ අභාසය ලබන්නට අපි වාසනාවන්ත වීමු.

ආනන්දයේ සිටි මුස්ලිම් සිසුවකු වුවද, කිසිඳු වෙනසක් නොමැතිව ආනන්ද විවාද කණ්ඩායමේ නායකත්වය දරන්නටත්, හොකී සහ ටේබල් ටෙනිස් කණ්ඩායම්වල නායකත්වය දරන්නටත්, පාසලේ "කිරණ" සඟරාවේ සහ පාසලේ වාර්ෂික ක්රීරඩා සඟරාව ප්‍රධාන සංස්කාරක ධූරය දරන්නටත් ආනන්දය මට අවස්ථාව ලබා දුන්නේය ආනන්දය සමාජය තුළ අප මුහුණ, දෙන විවිධ බාධා, අභියෝග හමුවේ නොසැළී, උපේක්ෂාවෙන් කටයුතු කරන්නටත්, සතුරු සිත් ඇත්තවුනට පවා මෙත් සිත පතුරන්නටත්, අප පුරුදු පුහුණු කළේ ආනන්ද මාතාවයි. ආනන්දයේ දී මා උගත්, මා බෙහෙවින් ප්‍රියකරන ධම්ම පදයේ ගාථාවන් දෙකකින් මේ සටහන සමාප්ත කරනු කැමැත්තෙමි."න තං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පත යස්ස අස්සුමුඛො රොදං -, විපාකං පටිසෙවතීතං ච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පතියස්ස පතිතො සුමනො - විපාකං පටි සෙවතී "යමක් කොට පසුතැවෙන්නට වේද, යමක විපාක කඳුළු පිරුණු මුහුණින් යුක්තව අඬමින් විඳින්නට සිදුවේද, එබඳු දේ නොකිරීම යහපත්ය.", "යමක් කොට පසුතැවෙන්නට නොවේද, යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකිද, එබඳු දේ කිරීම යහපත්ය.

Comments

සැබෑ ආනන්දීයකුගේ සොදුරු මතක ❤️ ඔබට අනද මාතාවගේ සරණයි සර්!

පිටු