
වොෂ්රූම් ගියාට තෑග්ගක්
පසුගිය සතියේ එක්තරා සන්ධ්‍යාවක ඇමරිකාවේ පෝට්රේට් පාක් හි පිහිටි ගෘහ භාණ්ඩ පිරුණු තොග ගබඩාවකට හදිසියේ ම ගොඩ වැදුණේ සුරූපි කාන්තාවක්. ඇය ව්‍යායාම් (Jogging) කරමින් ඇවිදිමින් සිටි කෙනකු බව ඒ මොහොතේ ගබඩාවේ සේවය කරමින් සිටි ලිපිකාරිනියකට වැටහුණා. මේ ලිපිකාරිනිය වෙතට ගිය සුරූපී කාන්තාව ඇගෙන් ඉල්ලීමක් කළා. “කරුණාකරලා මට වොෂ්රූම් එකට යන්න ඉඩ දෙනවද? මේ ඉල්ලීමට ඉඩ දුන් ලිපිකාරිණිය ඇයව නාන කාමරය වෙත යොමු කළා.
මඳ වේලාවකින් පිටතට පැමිණි කාන්තාව දුටුවේ එහි තිබෙන විවිධාකාර මෙට්ට වර්ගයි. “ඔයා කැමැති මොන වගේ මෙට්ට්රස් එකකට ද” ඇය ලිපිකාරිනියගෙන් ඇසුවා. ප්‍රශ්නයෙන් අන්ද මන්ද වූ ලිපිකාරිනිය, වටිනා මෙට්ටයක් පෙන්වූයේ ඕනෑවට එපාවටයි. “මම පෙන්නුවෙ ඩොලර් 2000 ක් වටිනා මෙට්ටයක්. ඒ ගමන එයා කිව්වෙ නැතැයි, ඒක මට තෑගි කරනවා කියලා! මට මුකුත් හිතාගන්න බැරිවුණා.
ඇත්තට ම එයා ඒකට සල්ලි ගෙවලා මට තෑගි කළා. සල්ලි ගෙව්වෙ කාඩ් එකෙන් නිසා ඒකෙ තිබුණු එයාගෙ නම දැකල මට පොඩි සැකයක් ඇතිවුණා. එයාගෙ නම ඇමී ෂුමර්. පස්සෙ මම මේ නම, නෙට් එකෙන් සර්ච් කළා. හැබෑ නේන්නම්! මට මෙට්ටය තෑගි කරලා තියෙන්නෙ ජනප්‍රිය නිළි ඇමී ෂුමර්. එයාට වොෂ් රූම් යන්න ඉඩදීපු නිසයි මට ඒ තෑග්ග දීල තියෙන්නෙ.” මවිත වූ ලිපිකාරිනිය පැවසුවා.
18 පිරෙන තුරු බලා සිටින බෙන්
බෙන් ඇෆ්ලෙක් නොහඳුනන හොලිවුඩ් චිත්‍රපට රසිකයෙක්, රසිකාවියක් ඇත්තේ නැහැ. මේ ජනප්‍රිය නළුවා සමඟ විවාහ වී සිටියේ ජනප්‍රිය නිළි ජෙනිෆර් ගානර්. ඇය දැන් ඇෆ්ලෙක් වෙතින් වෙන්වී සිටියත් දෙදෙනාගේ දරුවන් තිදෙනාට තවමත් ඔහුගේ නොමඳ සෙනෙහස ලැබෙනවා.
මේ දරුවන්ගෙන් වැඩිමලී 11 වියැති වයලට්. දෙවැන්නිය, 8 හැවිරිදි සෙරෆිනා. යාලයා 5 හැවිරිදි සැමුවෙල්. ඇෆ්ලෙක් මෑතකදී ප්‍රකාශ කළේ මේ දරුවන් තිදෙනා චිත්‍රපට ලෝකයට තල්ලු කරන්නට තමන් තුළ කිසිදු අදහසක් නොමැති බවයි. “මම චිත්‍රපටවල රඟපාන්න ආවෙ පුංචි කාලෙදි.
ඒත් මගේ දරුවන් ව රඟපාන්න යන්න ය කියල බල කරන්න මට බැහැ. ඒ තුන්දෙනාට අවුරුදු 18 වෙනතුරු මට ඒක කියන්න බැහැ. ඒ වයසට ආවායින් පස්සෙ නම් සිනමාවට එකතුවෙනවද නැද්ද කියල ඒ අයම තීරණය කරාවි.” ඇෆ්ලෙක් පැවසුවා.
රිහානා, මහ රැජිනව අන්දලා
මෝස්තර නිරූපණ කලාවේ රැජනක් හැටියටයි, සුපිරි ගායිකා රිහානා ව හඳුන්වන්නේ. ඇය ඡායාරූපවලට වරින්වර පෙනී සිටින්නේ එකිනෙකට වෙනස් ඇඳුම් ඇඟලාගෙනයි. රිහානා තවමත් තරුණ වයසේ සිටින නිසා නානාප්‍රකාර මෝස්තර වලින් පෙනී සිටීමේ වරදක් කියන්න බැහැ. නමුත්, තමන්ගේ ඇඳුම් වෙනත් අයට විශේෂයෙන් ම, ගෞරවනීයත්වයෙන් පිදුම් ලබන රාජකීය චරිතවලට ඇන්දවීම සුදුසුද? සමහරු මේ ප්රශ්නය අහන්නේ රිහානා මෑතකදී සිදු කළ ‘බෙල්ල ගහලා යන’ තාලයේ වැඩක් කළ නිසා.
තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට මහා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජන ගේ පින්තූර කිහිපයක් ඇතුළත් කරලා. මේවා නිකම්ම ඡායාරූප නොවෙයි. ඒවා ‘ෆොටෝෂොප්’ කළ අරුම පුදුම ඡායාරූප. විවිධ අවස්ථාවලදී නොයෙකුත් විච්චූරන ඇඳුම් ඇඳගෙන ගත් ඡායාරූපවල තමන්ගේ මුහුණ ඉවත් කළ රිහානා, ඒ වෙනුවට මහ රැජනගේ මුහුණ යොදලා! මේ ඇතැම් ඡායාරූපවල රිහානාගේ සිරුර නිරාවරණය වූ අවස්ථාවනුත් තිබෙනවා. මේ ඡායාරූප වෙනුවෙන් රිහානාට කෙබඳු ප්‍රතිචාර ලැබුණා දැයි මෙතෙක් දැන ගන්නට නැහැ.
මැරිලින් ගේ මාලිගය යළි විකිණෙයි
හොලිවුඩ් ප්රතිමූර්තයක් වූ ජනප්‍රිය සුරූපී නිලි මැරිලින් මොන්රෝ අකාලයේ මිය ගොස් මේ වන විට වසර 55ක් ගත වෙලා. ඇය මිය ගිය පසුව ගතවූ මේ කාලය තුළ ඇය සතුව තිබූ නොයෙකුත් බඩු භාණ්ඩ සහ දේපළ අලෙවි වුණේ ඉහළ මිල ගණන් වලට.
ඇය පදිංචිව සිටි නිවස පසුගියදා ඇමරිකානු ඩොලර් මිලියන 6.9 කට අලෙවි වුණා. මෙය නිවසක් නොවෙයි. මාලිගාවක්. පිහිටා තිබෙන්නේ කැලිෆෝනියාවේ බ්‍රෙන්ට්වුඩ් ප්‍රදේශයේ. මැරිලින් මේ මාලිගාව මිලදී ගෙන ඇත්තේ 1962 දී. ඒ, ඇය විවාහ වී සිටි තුන්වැනි සැමියා වූ ආතර් මිලර් ගෙන් දික්කසාද වූ පසුවයි.
මෙම දේපළ අලෙවි කිරීමේ කටයුතු භාරව සිටින ලිසා ඔප්ටිකන් පැවසුවේ මැරිලින් මිය ගිය පසුව මෙය කිහිප වතාවක් ම විවිධ පුද්ගලයන් විසින් මිලදී ගනු ලැබූ බවයි. එසේ වුවත් මෙම අලංකාර මාලිගයෙහි එදා මැරිලින් ජීවත්ව සිටියදී තිබූ සෞන්දර්යාත්මක වටිනාකම තවමත් රැඳී පවතින බවත් ඇය පැවසුවා.