
සොනාක්ෂිත් ගායිකාවක් ද?
යෞවන පරපුරේ ප්‍රසාදය දිනාගත් ගායක, ජස්ටින් බීබර් ඉන්දියාවේ සංගීත සවාරියකට පැමිණෙන්නට නියමිතව තිබුණේ පෙබරවාරි 15 දා. මේ වන විට එය වෙනස් වෙලා. ඔහු ඉන්දීය ගීත ලෝලීන්ගේ මනදොල සපුරන්නට එන්නේ මැයි 10 දා බවයි අලුත් ආරංචිවල දැක්වෙන්නේ.
බීබර් සමඟ එකම වේදිකාවේ සිට ගී ගයන්න, නටන්න බොලිවුඩ් තරු රැසක් ම දැන්ම පෙළ ගැසී සිටිනවා. ඒ අතරින් දැඩි උනන්දුවක් දක්වන සුරූපී නිළියක් තමයි, සොනාක්ෂි සිංහ. ඇය පෙරුම්පුරමින් සිටින්නේ තමන් ගැයූ ගීයක් බීබර් සමඟ ගායනා කරන්නටයි. ඒත් සොනාක්ෂි ගේ මේ වෑයම බොලිවුඩ්පුර සංගීත අධ්යක්ෂවරුන් සහ ගායක ගායිකාවන්ගේ නොසතුටට හේතුවෙලා. මේ ගැන අදහස් දැක්වූ ගායක කයිලාශ් යෙර් පැවසුවේ මෙවැනි කටයුතු නිසා ඉන්දියාවෙන් ජාත්‍යන්තරයට යන්නේ වැරදි පණිවුඩයක් බවයි. “පිටරට මිනිස්සු හිතයි, සොනාක්ෂි සිංහ කියන්නෙ ඉන්දියාවෙ මහ ලොකු ගායිකාවක් කියලා. ඊට පස්සෙ එයාට ප්රසංගවලටත් ආරාධනා ලැබේවි. එතකොට එයාට කියන්න වේවි, ‘අනේ මම ගායිකාවක් නෙමෙයි, නිළියක්’ කියලා.” කයිලාශ් උපහාසාත්මකව පැවසුවා. කයිලාශ් ගේ අදහස අනුමත කරමින් ට්විටර් පණිවුඩයක් සටහන් කර තිබුණේ ජනප්‍රිය ගායක ආමන් මලික්. ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබුණා. “නළු නිළියන්ට තියෙන්නෙ රඟපාන්නයි. සින්දු කියන්න ඕනෙ ගායක ගායිකාවො. ප්‍රසංග වේදිකාවයි මයික් එකයි අපිට දෙන්න. මේක අපේ තැන. නළු නිළියන්ගෙ නෙමෙයි!”
සම්මුඛ සාකච්ඡාවකට එක්වූ කයිලාශ් ඛෙයර් පැවසුවේ ලෝක ප්‍රකට ගායකයෙකු හෝ ගායිකාවක ඉන්දියාවේ ප්‍රසංගයක් පවත්වන්නේ නම් ඔවුන් සමඟ වේදිකාවේ ගී ගායනා කළ යුත්තේ ඉන්දීය ගායක ගායිකාවන් බවයි. එසේ නොවුණහොත් විදේශිකයන් සිතන්නේ ඉන්දියාවේ ගායක ගායිකාවන් නැති බව යැයි ද ඔහු පැවසුවා. “නළුවෙක් හරි නිළියක් හරි එයාට සින්දු කියන්න පුළුවන් නම් ඇයි ඒකට බාධා කරන්නෙ?” විවේචනවලට ප්‍රතිචාර දක්වන සොනාක්ෂි, එලෙස විමසනවා.
මාධ්‍ය හමුවලට වෙනම නිවසක්
‘බේ වොච්’ හොලිවුඩයේ ජනප්‍රිය ටෙලිකතා මාලාවක් ලෙසින් ලොව පුරා රසික ජනතාව හඳුනාගෙන සිටියා. දැන් එය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වෙලා. මෙය හොලිවුඩ් නිර්මාණයක් වුවත් එයට බොලිවුඩ්පුරයේ සුපිරි තාරකාවියක් ද එක්ව සිටින බව රහසක් නොවෙයි. මේ තරුව තමයි, ප්‍රියංකා චොප්රා.
ඇය මෙතෙක් බොලිවුඩ් නළුවෙකු හෝ නිළියක නොකළ දෙයක් කරලා. ‘බේ වොච්’ චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් ම මුම්බායි නගරයෙන් නිවසක් ඇය මිලදීගෙන තිබෙනවා. එහි එක් විශාල කාමරයක් මුළුමනින් ම වෙන්කර ඇත්තේ මාධ්‍ය සාකච්ඡා සහ අනෙකුත් සියලුම මාධ්‍ය කටයුතු වෙනුවෙන්. ‘බේ වොච්’ හි ප්‍රධාන චරිතයක් රඟපෑ ඩ්වේන් ජොන්සන් ද මෙහිදී මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.
මෙහි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රියංකා පැවසුවේ ඇයට ‘බේ වොච්’ චිත්‍රපටයේ රඟන්නට ඉඩ ලැබුණේ ‘ක්වොන්ටිකෝ’ නම් වූ ඉංග්‍රීසි ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑම නිසා බවයි. ප්‍රියංකා ‘බේ වොච්’ හි නිරූපණය කරන්නේ දුෂ්ට චරිතයක්. “මම බොලිවුඩ් චිත්‍රපටවලත් මේ වගේ ‘කළු’ චරිත රඟපාලා තියෙනවා. නමුත්, ‘බේ වොච්’ චිත්‍රපටයේ මම රඟපාන්නෙ ඒවාට වඩා වෙනස් නපුරු චරිතයක්.” ප්‍රියංකා මාධ්‍ය හමුවේදී පැවසුවා.
මේ චිත්‍රපටය නිසා ප්‍රියංකාට ලැබුණු බොලිවුඩ් චිත්‍රපට තුනක රඟපෑමේ අවස්ථාව අහිමි වුණා. “මට අහිමි වූ මේ චිත්‍රපටිවල රඟපාන්න යනවද නැද්ද කියල හරියට ම කියන්න මට බැහැ. කොහොම වෙතත් මම බොලිවුඩ් චිත්‍රපටවල රඟපානවා. ‘මගේ ගෙදර’ ට (බොලිවුඩයට) මම ආයෙත් ආවා. මේක හරියට අපූරු ‘හෝම්කමිං’ එකක් වගෙයි.” ප්‍රියංකා සුපුරුදු සිනහව පාමින් කීවා.
සල්මන්ගේ රහස් පිටකරලා
සල්මන් ඛාන්, තමන් ළඟ සේවය කරන අයට සලකන්නේ මුළු හදවතින්මයි. ඔවුන්ට ඔහුගෙන් වේතනයක් ලැබුණත් ඔහු කිසි විටෙක දුරස්ව සිටියේ නැත. ඔවුන් කෙරෙහි දැඩි විශ්වාසය තබමින් ඔවුන්ගේ දුක සැප විමසමින් සමීපව කටයුතු කළා.
සල්මන්ගේ කළමනාකාරිනිය ලෙස සේවය කරන්නේ රෙශ්මා ශෙට්ටි යි. ඇය, මේ සුපිරි රංගන ශිල්පියා යටතේ සේවය කරමින් සිටින්නේ දීර්ඝ කාලයක සිට. ඒ නිසා සල්මන් ඇගේ වැඩ කටයුතු ගැන දැඩි විශ්වාසයකින් සිටියා. නමුත් මෑතකදී ඇය අතින් සිදුවූ අතපසුවීම් කිහිපයක් නිසා සල්මන් තුළ ඇති වූයේ නොසතුටක්. තමන් ගේ රංගන වෘත්තියට අදාළ කටයුතු කිහිපයක් ම රෙශ්මා ශෙට්ටි ගේ වරදින් වෙනස් කරගන්නට සල්මන්ට සිදුවෙලා. සල්මන්ගේ බාල සොහොයුරු සොහේල් ඛාන් සහ සල්මන් එක්ව කර ගත යුතු යම් යම් වැඩ කටයුතු කිහිපයක් ම රෙශ්මා ගේ නොසැලකිල්ල නිසා ඇණ හිටලා. මෙයින් දැඩි කළකිරීමට පත් සල්මන්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය ව තම කළමනාකාර ධුරයෙන් ඉවත් කරලා. රෙශ්මා ශෙට්ටි ව එලෙස ඉවත් කර වැඩි දවසක් ගතවුණේ නැහැ. සල්මන්ට තවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවුණා. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු රැසක් බාහිර පාර්ශ්වයන් අතට පත්වී ඇති බවක් දැනගන්නට ලැබිලා. මාධ්‍ය ලෝකයටත් මේ තොරතුරු කාන්දු වී ඇති බවයි, සල්මන්ට වැටහුණේ. කරුණු සොයා බලද්දී ඔහු සැකහැර දැන ගත්තේ මේ තොරතුරු හෙළිකර ඇත්තේ අන් කිසිවෙකු නොව, තමන් ළඟ සේවය කරන පෞද්ගලික ආරක්ෂකයන් තිදෙනෙකු බවයි. තමන් ගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා එලෙස පිටවී ඇති බවත් සල්මන් තේරුම් ගත්තා. මෙයින් කෝපයට පත්වූ සල්මන් වහාම එම ආරක්ෂක නිලධාරීන්වත් සේවයෙන් ඉවත් කළ බවයි ආරංචි.