
මා දැන් පසුකරන්නේ 76 වෙනි වසරයි. වැඩිහිටියෙකි. ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි. ජීවිතයේ සැඳෑ සමයේ සුන්දර ආලෝකය ජීවිත අඳුර වැටීමට මත්තෙන් ප්‍රදානය කළ යුතුය. දයාබර දරුවනි, සාර්ථක ජීවිතයකට සාරවත් සිතුවිලි සතිපතා ඔබේ මනසට ආහාරයක් ලෙසින් පිරිනමන්නට අවසරයි.
මා කලාකරුවකු ලෙසින් කිසිවකු හඳුන්වනවානම් ඒ වැකි සියල්ල මට මිහිරකි. පාසල් යාමට අකුරු කියවූ දා සිට ගමන් මගේ සොඳුරු අවස්ථාවන් හොඳින් මතක තිබේ. ජීවිතයේ පසුගිය සියල්ල හැඳින්වීමට වචනයක් තිබේ. එය නම් අත්දැකීම් යන්නයි. අත්දැකීම් යනු හොඳම ගුරුවරයායි. දැන් ඔබ ඇමතීමට සූදානම් වන්නේ ඒ ගුරුවරයායි.
කුඩා දරුවා තම පියා හඳුනාගන්නේ තම මවගෙනි. ඒ දරුවාව තම ගුරුවරයා හඳුනාගන්නේ පියාගෙනි. පැරැණි දඹදිව සමාජයේ ගුරුවරයා දිසාපාමොක් ඇදුරු තුමාය. පැරැණි ගුරුවරයා දිසාපාමොක් වෙන්නේ සිය දරුවාට මෝක්ෂයට යන දිශාව පෙන්වන්නා නිසාය. මම ද ඒ භූමිකාව නිරූපණය කිරීමට අතිශයින්ම කැමැත්තෙමි. ඉගැන්වීමට අභිරුචියක් ඇති මා නිරන්තරයෙන්ම බලා සිටින්නේ පොපියන හදවතිනි.
කලාවට අධිපති දෙවඟන සරස්වතීය. ධනයට අධිපති දෙවඟන ලක්ෂ්මීය. සරස්වතී ගැන ලියැවී ගයා ඇති මධුර මානෝහර ගීතය නම් සරස්වතී අභිනන්දන ගීතයයි.
ජගන් මෝහිනී,
මධුර භාෂිණී,
චාරු දේහිනී,
කමල භාෂිණී,
සරස්වතී දේවි වන්දේ,
සරස්වතී දේවි වන්දේ.
ගේය පද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නම් වු අතිශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයා විසිනි. සංගීතය හා ගායනය පණ්ඩිත් අමරදේවයන්ය.
කව්ද මේ සරස්වතී, සරසවිය කියන්නේ කාටද? මිනිසුන් වන අපට ඇත්තේ අත් දෙකකි. සරස්වතියට අත් හතරකි. ඒ අත් හතර ඇත්තේ නිකම් නොවේ. පහත වම් අතෙහි පුස්කොළ පොතකි. පහත දකුණතෙහි වීණාවකි. උඩ දකුණු අතෙහි ගිරවෙකි. උඩ වම් අතෙහි නවගුණවැලකි. පුස්කොළපොත සංකේතවත් වන්නේ බුද්ධිය සඳහායි. වීණාවෙන් සංකේතවත් වන්නේ රසිකත්වයයි. ගිරවා යනු කථිකත්වයයි. නව ගුණවැලින් ප්‍රකාශ වන්නේ සීලයයි. ශික්ෂණයයි. දැන් මෙතැන ශක්තීන් හතරකි. ශක්තියට සරළ වචනය නම් 'සවිය' යන්නයි. එවිට 'සතර සවිය' සරසවියයි. සරස්වතී දේවිය වැඩසිටින්නේ නෙළුම් මලක් මතය. නෙළුම් පිපෙන්නේ ජලයෙහිය. අලය ඇත්තේ මඩෙහිය. අලයෙන් මතුවන පොහොට්ටුව ජලයෙන් මතුවන්නේ විකසිත වු විටය. නෙළුම් පොහොට්ටුව විකසිත වීමට අවශ්‍යවන්නේ හිරු එළියයි. සූර්යාලෝකයෙන් විකසිත වූ නෙළුම මඩේ ගෑවෙන්නේ නැත. ජලයෙහි ගෑවෙන්නේද නැත. නෙළුම් මලෙන් සංකේතවත් වෙන්නේ පාරිශුද්දත්වයයි.
මෙම ලිපි පෙළ 'සතර සවිය සහ නෙළුම' වශයෙන් නම් කරන්නේ ඔබද සමාජය නැමැති පොකුණේ විකසිත වී සුවඳ පද්මයක් ලෙසින් ජීවත්විය යුතු යන්න අවධාරණය කිරීම පිණිසයි. ඒ සඳහා ඔබ සැමට මානසික ශක්තියක් සහ බුද්ධිබලයක් ලබාදීම මාගේ ඒකායන අපේක්ෂාවයි.
මාගේ ජීවිතයේ පරමාදර්ශ දැවැන්ත චරිතය අපේ තාත්තාය. මට වයස තුනේදි අපේ පන්සලේ හාමුදුරුවෝ සමග බක්කි කරත්තයෙන් මා කැඳවාගෙන යන ලද්දේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනටයි. එවක පරිවේණාධිපති ධුරන්ධරය දරණ ලද්දේ අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්ය. වයස අවුරුදු පහ වෙද්දි වරාගොඩ රජයේ පිරිමි පාසලට ගිය මා දෙවැනි පංතියේ සිට ඉගෙනීම ආරම්භ කළේ වරාගොඩ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙනි. හතරවැනි පංතියේදි අපට ඉගැන්වු ගුරුතුමිය නමින් රණතුංගය. රණතුංග ටීචර් මගේ හැකියාවන් අගයකළ ආකාරය ඊයේ මෙන් මතකය. එඩී ජයමාන්න නම් සිංහල සිනමාවේ විකට රජා රඟපාමින් ගැයු කොළොම්පුරේ ශ්‍රියා -කොළොම්පුරේ ශ්‍රියා , බොහොම ලස්සනයි කොළොම්පුරේ ශ්‍රියා ගීතය නිතර රඟපාමින් ගායනා කළෙමි. එදිරිසිංහ කවදාහරි ලංකාවේ දක්ෂ නළුවෙක් වෙනවා යැයි ඇය අනාවැකි පල කළාය. අද ඒ අනාවැකිය සඵල වී තිබෙනවා පමණක් නොවේ. ධර්මාලෝක විදයාලයේදි පසුව මා සමග රඟපෑ ශ්‍රියා කාරියප්පෙරුම නමැති ශිෂ්‍යාව බිරිඳ බවටද පත්වුවාය.
මවුපියන්ට හා ගුරු භවතුන්ට තම දරුවන්ගේ සැඟවුණු කුසලතාවන් හඳුනාගැනීමට හැකියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. එදා 'ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත' යන කියමන අද මනෝ විද්‍යාඥයන් ප්‍රතික්ෂේප කර ඇත. දරුවකුගේ සැඟවුණු කුසලතාව හඳුන්වන්නේ මුහුදේ තිබෙන අයිස් කන්දකටය.අපේ ඇසට පෙනෙන්නේ ජලයෙන් උඩ කොටස පමණි. ජලය යට ඇති 90% ප්‍රමාණය පෙනෙන්නේ නැත. අන්න ඒ නොපෙනෙන කොටස දැකීමට හැකි ගුරුවරු හා මවුපියන් නැතුවා නොවේ. මගේ වාසනාවට අපේ මාපියන්ටත් ගුරුවරුන්ටත් ඒ දැනුම හොඳින් තිබුණේය. රංගන කලාවෙන් මුල් බීජය මගේ සිතෙහි රෝපණය වුයේ පස්වැනි පංතියේදීය. ඒ, පී.රූබන් පීරිස් මහතාගේ 'මවුබස' නමැති සිංහල කියවීම් පොතේ ආ එක් පාඩමක් නිසාය. පාඩමේ නම 'මම මැරෙන හැටි පෙන්වමි' මද්දුම බණ්ඩාරගේ කතාව එහි පලවී තිබුණේ සංවාදයක ස්වරූපයෙනි. ගුරුතුමාගේ උපදේශයකින් තොරව ඒ පාඩම ඒ ඒ චරිතවලට ගැළපෙන හඩින් වචන උච්චාරණය කළෙමි. ගුරුතුමාගේ සිත්ගත් මගේ කියවීම් විලාශය අනික් ළමයින්ටද ආදර්ශයක් ලෙසින් කිහිපවිටක්ම කියවීමට මට සිදුවිය. මුළු පාඩම ම කට පාඩම් වීම සිදුවුයේ නිරායාසයෙනි.
තරුණයකු වී රංගන කලාව ගැන යමක් කමක් දැන ගන්නාවිට ඉගෙනගත් දේ එදා සිංහල පාඩම කියද්දී මගෙන් ඉටු වු බව වැටහිනි. රංගන ශිල්පියකුට ප්‍රධාන වශයෙන් කාරණා තුනක් තිබිය යුතුය. එක, හඬ,දෙක,හඬ , තුනද හඬය. අද අපේ රටේ විශිෂ්ට රංගන කුසලතා විදහා දක්වන සියලුම ශිල්පීන් හා ශිල්පිනියන්ගේ තිඹිරිගෙය තමා ඉගෙනගත් පාසල මිස වෙනත් ස්ථානයක් නොවේ.
ධර්මාලෝක විද්‍යාලයේ මගේ වාසනාවට හමුවන ගුරුවරයා වුයේ රවිලාල් විමලධර්ම සූරින්ය.' ඔබට දෙවියකු වීමට නොහැකිනම් හොඳ ගුරුවරයකු වන්න' යනුවෙන් ප්‍රකට ශ්‍රේෂ්ඨ ඒ කියමන සනාථ කළ ගුරු දෙවියා විමලධර්ම සර්ය. රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම එතුමන්ගේ එක් දියණියකි. ඇය සමග රඟපෑමට පමණක් නොව ඇය අධ්‍යක්ෂණය කිරීමටත් මට වරම් ලැබුණි. එපමණක් නොවෙයි මගේ ටෙලිනාට්‍ය නිෂ්පාදන මුහුරත් උළෙලකදී පහන් වැටියක් පහන් සිළුවක් බවට පත්කොට එතුමා ආශිර්වාද කළේය.
(ලබන සතියට)
රසඳුන ආනන්දයෙන් ප්‍රඥාවට...
ලේක්හවුස් ආයතනයේ අභිමානවත් සති අන්ත සිංහල ප්‍රකාශනය වන, දශක අටකට වැඩි දිගු ඉතිහාසයක් තිබෙන සිළුමිණ පුවත්පත සමඟ තිළිණ කෙරෙන ‘රසඳුන‘ මේ වනවිට දශක දෙකක් පුරා විවිධ ක්ෂේත්‍ර ස්පර්ශ කරමින් ඔබ වෙතට එයි.
දිවංගත ධර්මසිරි ගමගේ ශූරීන් අනෙකුත් සතිඅන්ත ටැබ්ලොයිඩ් පුවත්පත් වලට වඩා වෙනස්ම ආකෘතියකට අනුව සංස්කරණය කරමින් ඇරැඹුණු ‘රසඳුන‘ රෝහණ වෙත්තසිංහ හා සුනිල් මිහිඳුකුල යන හිටපු කර්තෘවරුන් ද ඒ අනන්‍යතාව රැකෙන ලෙස නව විශේෂාංග එක් කරමින් සංස්කරණය කළ නිසා පාඨකයන් වෙත වඩාත් සමීප විය. ඔවුන් ගිය මඟ යමින් සියලු කලාවන් නියෝජනය වන ලෙස රසඳුන සංස්කරණය කරන්නට මා උත්සාහ කරන්නේ, ඒ තුළින් පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්නට හැකි බව විශ්වාස කරන හෙයිනි.
ඒ අනුව වරින් වර විවිධ වූ නව විශේෂාංග හඳුන්වාදෙමින් වඩාත් විචිත්‍රවත්, හරවත් පුවත්පතක් පාඨකයාට තිළිණ කරන්නට රසඳුන කර්තෘ මණ්ඩලයේ අපි උත්සාහ ගන්නෙමු. මේ සටහන තබන්නට හේතුව වන්නේ අද සිට ‘රසඳුන‘ පාඨකයන්ට හඳුන්වා දෙන අලුත්ම වූ ලිපියක් පිළිබඳව හැඳින්වීමක් කරන්නටය.
ඔහු වේදිකාව, සිනමාව සහ පුංචිතිරය අතුළු කලා ක්ෂේත්‍ර ගණනාවකම නියැලෙමින් කලාවට ආදරය කරන ජනතාවට හැඟෙන, දැනෙන චරිත නිරූපණයක යෙදෙන විශිෂ්ට රංගධරයෙකි.හිත හොඳ කලාකරුවෙකි. මිනිසත් බවින් පිරුණු මිනිසෙකි. ආදර්ශයට ගත හැකි ලෙස ජීවිතය ගෙවන කලා කරුවෙකි.
කලා ක්ෂේත්‍ර යේ වසර 56 ක අත්දැකීම් ඇති සතිශ්චන්ද්‍ර එදිරිසිංහ නම් වන ඔහු කතාවෙහි දක්ෂය.ඔහුගේ කතා හරවත්ය. රසවත්ය. ආදර්ශවත්ය. ජීවත්වීමද කලාවකි. ඔහු දශක හතකට අධික කාලයක් සමාජයට වැඩදායී පුද්ගලයකු ලෙස ආදර්ශවත් ජීවිතයක් ගතකරමින් මේ ජීවත්වීමේ කලාවද ප්‍රගුණ කරතිබේ. කලාකරුවකු ලෙස අසරණ කලාකරුවන් වෙනුවෙන් පිහිට වන්නට සවියක් වන්නට මිහිඳු සංස්කෘතික පදනම හරහා නිරතුරුවම කැපවී සිටී.
අද සිට රසඳුන 2 වැනි පිටුවේ ඉඩක් මේ ආදරණීය කලාකරුවා, හිත හොඳ කලාකරුවා අත්දැකීම් ඇසුරෙන් කරන ආදරණීය ආමන්ත්‍රණයක් සඳහා වෙන්වෙයි.‘සතර සවිය සහ නෙළුම‘ ලෙසින් නම් කර ඇති මේ ලිපිපෙළ ඔහු සතිපතා රසඳුන පාඨක ඔබ වෙත ගෙන එයි.
මිහිඳු සංස්කෘතික පදනමේ සභාපති, කලාශූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන් සිය අත්දැකීම් කැටිකොට නව පරපුරට පිදෙන මෙම උපදේශාත්මක ලිපිපෙළ රසඳුන පාඨක ඔබව ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්නට ඉවහල් වන බව අපගේ විශ්වාසයයි.