
එක්සත් ජාතීන්ගේ බෞද්ධ සමුඵවේ නිල ලාංජනයේ නිර්මාතෘ ජගත් ජයසිංහ
හෙළ නිර්මාණකරණය ජාත්‍යන්තරයට ගෙන ගිය නිර්මාණවේදී ජගත් ජයසිංහ ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. එතරමටම ඔහු අතින් වූ නිර්මාණ දෙස් විදෙස් සම්මානයට මෙන්ම ජනතා ආකර්ෂණයට නිබඳවම පාත්‍රවී ඇති බැවිණි. මෙවර ද ඔහුගේ අපූර්ව නිර්මාණකරණය ගැන කියවෙන්නේ ලක් ඉතිහාසයේ ඉතා වැදගත් කඩඉමක් සනිටුහන් කරමින් මේ මස 12 වැනිදා සිට 14වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ බෞද්ධ සමුඵව හේතුවෙනි. ඒ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පැවැත්වෙන උත්කර්ෂවත්ම වෙසක් උත්සවය සහ ජාත්‍යන්තර උත්සවය බවට පත්වෙනු ඇතැයි අපේක්‍ෂිත මෙම බෞද්ධ සමුඵව සඳහා වන නිල ලාංඡන නිර්මාණය ඔහුගේ වීමයි. දුටු සැනින් සිත් ඇදගන්නා සුඵ වූ ආකර්ෂණීය මෙම නිල ලාංඡන නිර්මාණය මේ දිනවල රූපවාහිනී නාලිකාවල බහුල දර්ශනයකි. එක්සත් ජාතීන්ගේ බෞද්ධ සමුඵවේ නිල ලාංජනය තේරීම සඳහා පැවැත්වූ විවෘත තරඟයකින් පසු එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සහ මෙරට බුද්ධ ශාසන අමාත්‍යශයේ බලධාරීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලක් මඟින් ජගත්ගේ මෙම ලාංඡනය තෝරාගෙන තිබේ. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුඵවේ නිල ලාංජනය තේරීම සඳහා පැවැත්වූ විවෘත තරඟයේ ජයග්‍රාහකයා මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල මහජන සමුඵවේ නිල ලාංජනය නිර්මාණය කිරීමේ අවස්ථාවද හිමිකරගෙන ඇත්තේ ජගත් ජයසිංහයන් විසිනි.
මොරටුව විශ්ව විද්‍යාලයේ මෝස්තර නිර්මාණවේදය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු සහ නිර්මාණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකු වන ජගත් ජයසිංහ වෙළෙඳ ප්‍රචාරණ ක්‍ෂේත්‍රයේ නියැලි දක්‍ෂ නිර්මාණ අධ්‍යක්‍ෂවරයෙකි. මේ වන විට ඔහු ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ නිර්මාණ අධ්‍යක්ෂවරයායි.
එක්සත් ජාතීන්ගේ බෞද්ධ සමුඵවේ නිල ලාංජනයේ නිර්මාණකරුවා ඔබ?
ඔව්. මෙය තරඟාවලියකින් අනතුරුව මා ලැබූ ජයග්‍රහණයක්. ඒ නිසා ඇත්තටම සතුටුයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ මහතා තමයි මේ තරඟය පිළිබඳව මුලින්ම මාව දැනුවත් කළේ. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාත් මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනි. ලාංඡනය තේරීපත් වූ දිනේ පටන් එතුමන්ලා අවශ්‍ය උපදෙස් දෙමින් සමුඵවේ වැඩ කටයුතු සංවිධානය කරනවා.
මේ ජයග්‍රහණය ඔබට ලොකු සතුටක් ?
සතුටක් සහ පුංචි ආඩම්බරයකුත් දැනෙනවා. මොකද නිර්මාණවේදියෙකුට ජීවිත කාලෙදී ලැබෙන දුර්ලභ ගණයේ අවස්ථාවක් මේක. ලෝකයේ මෙවැනි සමුඵ ඇත්තේ කීහිපයක් පමණයි. ලෝකය පුරා සිටින නිර්මාණ ශිල්පීන් අතලොස්සකට පමණයි වාසනාව හිමිවෙන්නෙ මෙවැනි සමුඵ හෝ ක්‍රීඩා උත්සව වල ලාංඡන නිර්මාණය කරන්න.
කැමැතියි දැන ගන්න මේ ලාංඡනයෙන් පිළිබිඹු වන්නේ මොනවගේ අර්ථයක්ද කියා?
මෙම ලාංඡනයේ ඉහළින්ම නිරූපණය වන්නේ බෞද්ධාගමේ සංකේතය වන ධර්මචක්‍රයයි. බෞද්ධ දර්ශනයේ උත්තරීතර බව මෙන්ම සියලු ලෝකවාසීන් අටලෝදහමට යටත්වන බව හැඟවීම උදෙසා ධර්මචක්‍රය ලෝක ගෝලයට ඉහළින් දැක්වූවා. සුදු නෙළුම පාරිශුද්ධත්වයේ සංකේතයයි. බෞද්ධ දර්ශනයේ ආලෝකය ලැබීම හෙවත් ධර්මානුකූලවීමේ අනුහසින් ලෝකවාසීන් තම ජීවිත පිවිතුරු උත්තරීතර තත්වයකට රැගෙන යන අයුරු නිරූපණය කිරීමට ලෝක ගෝලය සුදු නෙළුම මත හොවා දක්වනු ලැබුවා. අප දේශය නිර්මල බුදුදහම සුරැකී පවතින ලෝක මධ්‍යස්ථානය බව දැක්වීමට ලෝක සිතියම තුළ ශ්‍රී ලංකව වඩා ඉස්මතුකර දක්වූවා. සමස්ත ලාංඡනයේ වර්ණ සංකලන පෙළගස්වා ඇත්තේ බුදුරැස් වළල්ලේ සහ බෞද්ධ කොඩියේ වර්ණාවලියට අනුරූපීවන අයුරින්. තවද සිංහල ගොක් කලාවේ සේසත් නිර්මාණයේ හැඩතල උකහාගනිමින් සහ එම මෝස්තර රටාව සිහිගැන්වෙන අයුරින් මෙම බුද්ධ රශ්මි මාලා විහිද යන අයුරු නිරූපණය කළා.
සේසත ශ්‍රේෂ්ඨත්වයේ සංකේතයයි. බෞද්ධ සංකල්ප අනුව යමින් හෙළ සංකේත සහ සිංහල සැරසිලි කලාවේ අංග සංයෝජනය කරමින් මෙම ලාංඡනය නිර්මාණය කළා.
ඔබ අතින් නිර්මාණය වුණ වෙනත් ලාංඡන සහ නිර්මාණ මොනවාද?
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ සහ පොදු රාජ්‍ය මණ්ඩල මහජන සමුඵවේ නිල ලාංජනය නිර්මාණය කිරීමේ අවස්ථාව හිමිවුණේ මටයි. ඉදිවෙමින් පවතින නෙලූම් කුළුණමත ක්‍රියාත්මක වෙන ඩිජිටල් සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ලාංජනය නිර්මාණය, ශ්‍රී ලංකා කොකනට් වගේම මීට වසර හත අටකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයකම නිල ලාංඡනයන් නිර්මාණය කිරීමේ අවස්ථාව මට හිමිවුණා. ඒ කාලයේ වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක සේවය කිරීම නිසා වෙළෙඳ නාම කිහිපයකටම ලාංඡන නිර්මාණය කිරීමටත්, නිර්මාණ සංකල්ප බිහිකිරීමටත් අවස්ථාව ලැබුණා. මා දැනට සේවය කරන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකා වන ලක්හඬ, වසන්තම් ටීවී, වසන්තම් එෆ් එම්,ප්‍රයිම් ටීවී සහ ප්‍රයිම් රේඩියෝ හි ලාංඡන නිර්මාණය කළේත් මමයි.
අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටු නිර්මාණය කිරීම මෙන්ම සංචාරක හෝටල් ඇතුඵ අප රටේ වාස්තුවිද්‍යා නිර්මාණයන් බොහොමයක් සඳහා මාගේ නිර්මාණ දායකත්වය සපයා තිබෙනවා. මා රූපවාහිනී නාළිකාවක සේවය කරන නිසා බොහෝ නිර්මාණ කටයුතු සඳහා විවිධ නිර්මාණ කෘති සහ පසුතල නිර්මාණ කිරීමට අවස්ථාව ලැබෙනවා. ස්වාධීන රූපවාහිනි මුල් යුගයේ සල්මල් යාය වැඩසටහන මෙන්ම වැඩසටහන් කිහිපයකම පසුතලයන් සහ ප්‍රවෘත්ති පසුතලයන් නිර්මාණය කළේ මමයි. ඉඩ ලැබුණ අවස්ථාවන් වලදී විදෙස් රටවල වෙළෙඳ නාම සඳහා ලාංඡන සහ ඒවායේ නිර්මාණ කටයුතු වලට දායකත්වය සපයා තිබෙනවා.
වෘත්තීය ජීවිතයට දැන් කොපමණ කල්ද?
වෘත්තීය ජීවිතය ආරම්භකර දැනට වසර දහයකට ආසන්නයි.
මේ කෙටි කාලය තුළ ලබාගත් අනෙකුත් ජයග්‍රහණ මොනවාද?
2006 වසරේ දී පැවති පොන්ඩ්ස් බොඩි බියුටිෆුල් ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ හොඳම වෙළෙඳ කුටියට හිමි සම්මානය ලැබුණේ මා විසින් නිර්මාණය කරන ලද ප්‍රදර්ශන කුටියටයි. ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන වසන්තම් ටී.වී. නාලිකාවට 2012 රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී පූර්ව තේමාපටයට හිමි සම්මානය හිමිකරදීමට අවශ්‍ය නිර්මාණ දායකත්වය සැපයීමට මට හැකියාව ලැබුණා. මෙහිදී මා සමඟ සහයෝගයෙන් වැඩ කළ සහෝදර ශිල්පීන් ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍යයයි. මේ වන විට රාජ්‍ය ජනමාධ්‍ය සම්මනය සඳහා තෝරාගනු ලැබ තිබින්නේද මා විසින් යොමුකළ නිර්මාණයක්.
ඔබ ලැබූ ජයග්‍රහණ වෙනුනේ ලැබුණු දෑ මොනවාද?
ඇත්තටම ආත්ම තෘප්තිය මම උපරිමව විඳිනවා. නමුත් අනෙක් දේවල් ගැන කතා කරන්න මම කැමති නෑ... මගේ ජයග්‍රහණවලට ලැබෙන සම්මාන කිලෝ ගානට විකුණගන්න දවසක් මටත් උදා වෙයි... කියා සිතෙනවා.
කුඩා කල සිටම නිර්මාණවේදියෙකු වීමට සිහින මැව්වද?
ඇත්තෙන්ම ඔව්. ඒක ඒ කාලෙ හීනයක් වගේම තමයි... මොකද අපේ පවුල්වල කව්රුවත් වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ හෝ රූපවාහිනී ක්ෂේත්‍රයේ හිටියෙ නෑ. ඒ කාලේ වෙළෙඳ ප්‍රචාරණ ක්‍ෂේත්‍රය කියන්නෙ වෙනමම උප සංස්කෘතියක් වගේ එකක්. පාසැල් අවධියේ දී ගුරුවරුන් මගේ හැකියාවන් දැකල මාව උනන්දු කළා. ඔවුන් මගේ අනාගතේ ගැන ඉඟි පහල කළා. පැල්මඩුල්ල ධර්මාලෝක විද්‍යාලයේ ගාමිණී මුහන්දිරම් ගුරුතුමා, ගරු විදුහල්පතිවරුන් වන එම්. කේ. විජේපාලසහ රත්නසිරි පතිරණ මහත්වරුන් බුත්තල දුටුගැමුණු විද්‍යාලයේ ගරු විදුහල්පති දයානන්ද මහතා නාලිනී ශ්‍රියාලතා ගුරුතුමිය ඒ අතරින් සිහිපත් කරන්නම අවශ්‍ය නම්. මේ ක්ෂේත්‍රයට පිවිසීමට නිර්මාණ ශක්තිය මෙන්ම පරිගණක තාක්‍ෂණයද ඉතා වැදගත් වුණා. ඒ කාලේ පරිගණක තාක්‍ෂණය ලබා ගැනීම මේ කාලෙ කරම් ලෙහෙසි වුණේ නෑ. නමුත් හේමමාලා පුංචි අම්මා, නිමල් වැරනියගොඩ බාප්පා සහ සුනිල් වීරසේකර මාමා මේ සියලු දේ ඉගෙන ගන්න අවශ්‍ය ශක්තිය මට දුන්නා. ඒ නිසා මම ඒ සිහිනය සැබෑ කරගත්තා.
නිර්මාණකරණයේදී ඔබේ නිවෙසින් ලැබෙන සහයෝගය මොන වගේද?
අතිවිශාල සහයෝගයක් ලැබෙනවා. මට බාහිරින් ලැබෙන හැම සහයෝගයකටම වඩා බිරිඳගෙන් ලැබෙන ශක්තිය අපරිමිතයි. ඇගේ නම චින්තනී ධර්මවර්ධන. ඇය මෝස්තර නිර්මාණ ශිල්පිණියක් ලෙස ඇඟළුම් ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ ආයතනයක රැකියාව කරනවා. එම ආයතනයේ ලාංඡනය නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබුණේත් ඇයටමයි. අපිට ඉන්නෙ පුංචි දුවක්. ඇගේ නම ඔනාරා අරුණදී ජයසිංහ. ඇය තමයි මගේ ජීවිතේ ලොකුම සතුට. ඒ වගේම බිරිඳගේ මව්පියන් සහෝදරයන් සහ මගේ සහෝදරයින් මතක්කරන්නම අවශ්‍යයයි. අවශ්‍ය හැම ආකාරයකින්ම ඔවුන් මගේ ගමනට ශක්තියක් වෙනවා.