ජන­ප්‍රිය සංගීත වීඩියෝ ගණ­නා­ව­කම නිර්මා­ණ­ක­රුවා | සිළුමිණ

ජන­ප්‍රිය සංගීත වීඩියෝ ගණ­නා­ව­කම නිර්මා­ණ­ක­රුවා

ඔහු ඉතා අපූර්ව නිර්මාණකරුවෙකි. ඔබ රූපවාහිනී නාළිකාවලින් දැක රස විඳින ලංකාවේ ජනප්‍රිය ගීත ගණනාවකම රූපරචකයා ඔහු ය. ඔහු හසිත විතානගේ‍. හසිතගේ නිර්මාණ දිවිය පිළිබඳවත් ඔහු කළ නිර්මාණ පිළිබඳ අපි ඔහුගෙන් විමසා සිටියෙමු.

“මගේ ගම රත්නපුරය. රත්නපුර සීවලී විද්‍යාලය තමයි මගේ ජීවිතය ඔසවා තැබුවේ. පාසල් යන කාලෙ ඉඳලා මට වීඩියෝ නිර්මාණකරණයට ඇල්මක් දැක්වූවා. පුංචි පුංචි වීඩියෝ නිර්මාණ කළා. ඒ වගේ ම පාසල් යන කාලෙදි කෙටි චිත්‍රපට කීපයක් ම නිර්මාණය කළා. පුංචි කාලෙ ඉඳලම මගේ ආශාව තිබුණේ අධ්‍යක්ෂණයට පිවිසෙන්න. පාසල් අධ්‍යාපනයෙන් පසුව කොළඹට ආවේ මේ ක්ෂේත්‍රය ගැන නිවැරැදි අවබෝධයක් ලබාගන්න; වැඩිදුරටත් හදාරන්න.

ඒ සඳහා මම ක්‍රියේටර් ආයතනයට සම්බන්ධ වෙලා වැඩ කළා. එහිදී කැමරාකරණය, සංස්කරණය, වගේ ම පිටපත් රචනය ගැනත් අධ්‍යයනය කළා. මම අධ්‍යක්ෂණය කළ පළමු ගීත වීඩියෝව වුණේ ලහිරු පෙරේරාගේ ‘රම්බරි’ ගීයයි‍. එය ඉතාම ජනප්‍රිය වුණා. ඒ වගේ ම දෙරණ සංගීත වීඩියෝ සම්මාන උලෙළේදී ජනප්‍රියම සංගීත වීඩියෝවට (Most popular Music Vedio) හිමි සම්මානය ‘රම්බරි’ ගීතය වෙනුවෙන් දිනාගන්න මට හැකි වුණා‍‍.”

“ඉන්පසුව බොහෝ දෙනෙක් මියුසික් වීඩියෝ නිර්මාණය කරගන්න මට ආරාධනය කළා. මේ වනවිට මට මියුසික් වීඩියෝ 30 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ අතුරින් භාතිය සංතුෂ්ගේ ගීත කීපයක්, චිලීගේ ‘ටියුලිප් මල’ රූණිගේ ‘සප්ත ස්වරය’ යුරේනිගේ ‘සාරිපොටේ’ ගීතය ඉතාම ජනප්‍රියත්වයට පත්වුණා.

භාතිය සන්තුෂ්ගේ ආරාධනයෙන් ඉන්දීය ගායක හරිහරන් ලංකාවට පැමිණි අවස්ථාවේ එම නිර්මාණවල රූපරචනා කළේ ඒවා අධ්‍යක්ෂණය කළේ මම.‍ ඒ හැමදේටම වඩා මම අදත් කැමැත්තක් දක්වන්නේ මම පළමුවෙන් ම නිර්මාණය කළ ලහිරුගේ ‘රම්බරි’ ගීතයේ රූපරචනයට.”

“මම අධ්‍යක්ෂණය කළ සංගීත වීඩියෝවල පිටපත් රචනා කළේ මම‍. ඒ අතර මවිසින් පද රචනය කළ ගීත කීපයකුත් තියෙනවා. මේ ක්ෂේත්‍රය තුළ කිසියම් ගමනක් එන්න මට හැකියාව ලැබිලා තියෙනවා. ඒක මට තනිවම ආගමනක් නොවෙයි.මගේ අම්මා තාත්තා මගේ සමීපතම මිතුරන් මගේ පිටුපසින් සිටියා‍.

නිලාන් කුරේ මහත්මය මට යෝධ හයියක් වුණා. මේ වනවිට ‘ආර්යන්ස් ෆිල්ම්ස්’ නමින් ආයතනයේ පිහිටුවාගෙන තියෙනවා. මගේ ලොකු ම බලාපොරොත්තුව තමයි චිත්‍ර පටයක් අධ්‍යක්ෂණය කිරීම‍. ඒ සඳහා අවශ්‍ය පිටපත මේ දිනවල රචනා කරනවා.”

ඔහුගේ දුරකතන අංකය - 0777725595 

 

Comments