අපට ගෞර­ව­යක් වූ විශිෂ්ට ක්‍රීඩ­කයා | Page 2 | සිළුමිණ

අපට ගෞර­ව­යක් වූ විශිෂ්ට ක්‍රීඩ­කයා

මුත්තයියා මුරලිදරන් අපේ රටෙන් බිහිවී ජාත්‍යන්තරයට ගොස් ලොව විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක‍යන් අතර සිටින අතිවිශිෂ්ටයෙකි‍.

ටෙස්ට් සහ එක්දින දෙඅංශයෙන් ම වැඩිම කඩුලු දවාගනිමින් ලෝක වාර්තා දෙකම තමන් සතු කරගෙන සිටින ඔහු මේ වනවිට ටෙස්ට් එක්දින සහ විස්සයි 20 යන සියලුම තරග රටාවලින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටී. වර්තමානයේ පුහුණුකරුවකු ලෙසත් සමාජ සේවකයකු ලෙසත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවී සිටින මුරලි පිළිබඳව හදිසියේ ම මෙම සටහන තබන්නට ද සුවිශේෂී හේතුවක් තිබේ.

ලබන ජූනි 01 වැනිදා සිට 18 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන ICC චැම්පියන්ස් කුසලාන තරගාවලිය අතරතුරදී (ජූනි 07 වැනිදා) මුරලි ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට (ICC Hall of the fame) ඇතුළත්වීමේ සම්මානයෙන් පිදුම් ලැබීමට‍ නියමිත වීම එම හේතුවයි.

මෙය පෞද්ගලිකව මුරලිට ලැබෙන සම්මානයක්, ගෞරවයක් වුවත් පොදුවේ එය අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට, අභිමානයට ලැබුණු සුවිශාල අගයකිරීමක් ලෙස හැඳින්විය හැකි ය. මුරලි සමඟ එදිනට ආතර් මොරිස්, ජෝජ් ලෝමන් යන ක්‍රීඩකයන් දෙදෙනා සමඟ කරෙන් රෝල්ටන් ක්‍රීඩිකාව ද මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත ය.

මේ අතරින් එංගලන්ත ජාතික ජෝජ් ලෝමන් 1886 - 1896 දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබේ. එසේ ම ආතර් මොරිස් නිව් සවුත්වේල්ස් උපත ලබා ඇති අතර 1946 සිට 1955 දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබේ. කරෙන් රෝල්ටන් ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වන අතර 1995 සිට 2009 දක්වා ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර මොවුන් අතරින් ජීවතුන් අතර නොමැති අයගේ පවුලේ අය ඉදිරියේ මෙම සම්මානය පිරිනැමේ.

2016 ජූලි මාසයේදී මුරලි මේ සඳහා නිර්දේශ වී ඇත්තේ ටෙස්ට් සහ එක් දින යන අංශ දෙකෙන් ම තරගකාරී ලෙස ඉදිරියට එන්නටත් එය සංවර්ධනය වීමටත් මුරලිගේ දක්ෂතාව ඉවහල් වීම නිසාවෙනි.

1972 අප්‍රේල් 17 වැනිදා මහනුවරදී උපත ලැබූ මුරලි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ 54 වැනි ක්‍රීඩකයා ලෙස මංගල තරගයට ක්‍රීඩා කරන්නේ 1992 අගෝස්තු 28 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ය. සිය මංගල තරගයේදී මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ඔහු දවාගන්නේ ක්‍රෙග් මැක්ඩමට් ගේ කඩුල්ලයි. ලකුණු 9 ක් ලබා සිටියදී ක්‍රෙග් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගන්නා මුරලි, තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 54 ක් ලබා සිටි ටොම් මූඩි පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් දවාගන්නා අතර මාක්වෝ ලකුණු 0 ට දවා ගනිමින් මංගල තරගයේදී කඩුලු 3 ක් ලබාගත්තේ ය.

මැක්ඩමට් දවා ගනිමින් එලෙස ඇරැඹූ කඩුලු දඩයමේදී එවකට ලොව විශිෂ්ටතම පිතිකරුවන් සියල්ලම පාහේ ගොදුරු කරගනිමින් ඉදිරියටම ගමන් කළේ ක්‍රිකට් ලොවට මුරලි භීතිකාවක් මවමිනි.

2010 ජූලි 18 සිට 22 දක්වා ගාල්ල ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව අවසන් තරගයට ක්‍රීඩා කළ මුරලි පළමු ඉනිමේදී සචින් ටෙන්ඩුල්කා, යුවරාජ් සිංහ, එම්.එස්. දෝනි, ප්‍රගාන් ඕජා සහ අභිමන්සු මිතුන් ගේ කඩුලු 5 දවාගත් අතර දෙවැනි ඉනිමේදී යුවරාජ් සිං, හර්බාජන් සිං සහ ප්‍රගයන් ඕජා ගේ කඩුලු තුනම දවාගනිමින් කඩුලු 800 ඉලක්කය සම්පූර්ණ කරගත්තේ එදා මෙදා තුර බිහිවූ පන්දු යවන්නන් අතරින් විශිෂ්ටයා වෙමිනි.

මේ දක්වා ටෙස්ට් තරග 133 කට ක්‍රීඩා කර ඇති මුරලි කඩුලු 800 ක් දවාගෙන ඇත්තේ 22.73 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. කඩුලු 5 බැගින් 67 වතාවක් ද කඩුලු 10 බැගින් 22 වතාවක් ද දවාගනිමින් වාර්තා පිට වාර්තා තබා තිබේ.

මුරලි 1993 අගෝස්තු 12 වැනිදා ඉන්දියාවට එරෙහිව එක්දින වරම් ලබන්නේ 70 වැනි ක්‍රීඩකයා ලෙසිනි. 2011 අප්‍රියෙල් 12 වැනි ක්‍රීඩකයා ලෙසිනි. 2011 අප්‍රියෙල් 12 වැනිදා ඉන්දියාවට එරෙහිව තරග වැදෙමින් එක්දින පිටියෙන් සමුගත් මුරලි තරග 350 කදී ලකුණු 12326 ක් ලබාදෙමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 534 කි.

එය මෙතෙක් ක්‍රීඩකයෙක් එක්දින තරග ඉතිහාසයේ දවාගෙන ඇති වැඩිම කඩුලු සංඛ්‍යාවයි.

මෙම ICC Hall of the Fome ගෞරව සම්මානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මුලින් ම පිරිනමන්නේ 2009 ජනවාරි 02 වැනිදායි. ඒ 1899 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ඩබ්ලිව්.ජී. ග්‍රේස් ක්‍රීඩකයාගෙනි.‍ 1877 සිට වර්තමානය දක්වා 84 දෙනෙක් මෙම සම්මාන ලැයිස්තුවට ඇතුළත්ව ඇති අතර 84 වැන්නා වන්නේ මුරලියි.

මෙම ලැයිස්තුවට එංගලන්ත ක්‍රීඩකයින් 27 ක්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් (ක්‍රීඩිකාවක් සමඟ) 22 ක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 19 ක්, පාකිස්තානු ක්‍රීඩකයන් 5 ක්, ඉන්දීය ක්‍රීඩකයන් 4 ක්, නවසීලන්ත ක්‍රීඩකයන් 3 ක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 2 ක් සහ ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් 1 ක් ඇතුළත් වෙයි.

මේ අනුව මුරලි මෙම කීර්තිමත්ම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් වීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත්, ක්‍රීඩකයන්ටත් පොදුවේ රටටත් ලබාදී ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ ගෞරවයකි.අභිමානයකි. 

Comments