හරි වහර | සිළුමිණ

හරි වහර

 සිංහල ව්‍යවහාරයෙහි දී බොහෝ සෙයින් සංස්කෘත තත්සම යොදනු ලැබේ. ඉන් ඇතැම් තත්සමයක් නිතර නිතර යෙදෙන නමුදු ඇතැමක් යෙදෙනුයේ කලාතුරෙනි. බොහෝ විට වරදවා ලියැවෙනුයේ ද එ සේ කලාතුරෙකින් යෙදෙන වදන් ම ය. එ බඳු වදන් කිහිපයෙක හරි වහර දැන් විමසි බලමු.

1. ඛගෝලය - මෙහි (මහාප්‍රාණ) ‘ඛ’ ද (දන්තජ) ‘ල’ ද යෙදෙන අයුරු සැලැකිල්ලනේ විමැසුව මනා ය. ඛ නම් අහස යි. වටකුරු වැ, මණ්ඩලාකාර වැ පොළොවට පෙනෙන අහස මෙ වදනින් කියැවේ.

2. ක්ෂාල - මෙහි (මූර්ධජ) ‘ෂ’ සමඟ (දන්තජ) ‘ල’ යෙදෙන අයුරු සැලැකිල්ලට ගත යුතු ය. අකුරු බැඳ ලියත් ෙහාත් ‘ක්ෂාල’ යනුවෙනුදු ලිය හැකි ය. අරුත වනුයේ පිරිසුදු කරන යනු යි. මෙහි වර්තමාන කෘදන්ත රූපය ‘ක්ෂාලන’ යනුවෙන් යෙදේ. එහි අග (දන්තජ) ‘න’ යෙදෙන අයුරු විශේෂයෙන් අවධානයට ගත යුතු ය. (මූර්ධජ) ‘ෂ’ මෙහි යෙදුණ ද මැද යෙදෙන ‘ල’ ඉක්මවා යෑමෙහි බලයක් එයට නැති හෙයින් මෙහි අග යෙදෙන ‘න’ (මූර්ධජ) ‘ණ’ නොවන බව සැලැකි යුතු ය.

3. ක්ෂීණ - මෙහි (මූර්ධජ) ‘ෂ’ සමඟ (මූර්ධජ) ‘ණ’ යෙදේ. අරුත නම් ක්ෂය මූ, ගෙවුණු, වැහැරුණු යනු යි. අකුරු බැඳ ලියන කල්හි ‘ක්ෂීණ’ යැ යි යෙදේ.

4. ක්ෂිතිජ - මෙ වදනෙහි (මූර්ධජ) ‘ෂ’ හා (අල්පප්‍රාණ) ‘ත’ යෙදෙන සැටි සැලැකුව මනා ය. ‘ක්ෂිතිජ’ යනු අකුරු බැඳ ලියන සැටි යි. මෙහි ක්ෂිති නම් පොළොව යි. ක්ෂිතිජ යනු අහසත් පොළොවත් එක් වන සේ පෙනෙන රේඛාව යි. සිංහලයෙහි සිතිජ යනු මේ හා අනුරූප වැ යොදනු ලැබේ.

5. ක්ෂේම - මෙහි දු (මූර්ධජ) ෂ යෙදීම කෙරෙහි සැලැකිලිමත් විය යුතු ය. ක‍්ෂේම යන්නෙහි අරුත නිර්භය හෙවත් බිය නැති යනු යි. මේ හා අනුරූප වැ පාලියෙහි ‘ඛේම’ යනු ද සිංහලයෙහි ‘කෙම්’ යනු ද යෙදේ. මේ ක්ෂේම යන්න වහරෙහි වඩාලාත් ප්‍රචලිත වැ ඇත්තේ භූමි යන්න සමඟ ක්ෂේම භූමි යනුවෙනි. ඉන් කියැවෙන්නේ නිර්භය හෙවත් ආරක්ෂාව ඇති තැන යි. සාමාන්‍යයෙන් ක්ෂේම භූමි යන්නෙන් ගැනෙන්නේ කාන්තාර මධ්‍යයෙහි දක්නා ලැබෙන ගසින් වැලින් පිරි දිය පහසුව ඇති තැන් ය. කාන්තාරයෙහි ගමන් කරන්නන් හට එ බඳු තැන් නිර්භය හෙවත් ආරක්ෂක ස්ථාන වෙයි.

6. ක්ෂුධා - (මූර්ධජ) ‘ෂ’ හා (මහාප්‍රාණ) ‘ධ’ යෙදෙන සැටි විමැසුව මනා ය. අරුත බඩගින්න යි.

7. ක්ෂුත් පිපාසා - මෙහි ක්ෂුත් යැ යි යෙදෙනුයේ පෙර දැක්වුණු ක්ෂුධා යන්න ම ය. පිපාසා යන්න හා එක් වන කල එහි අග ස්වරය ලොප් වී (ඝෝෂ මහාප්‍රාණ අක්ෂරයක් වන) ධ් එහි (අඝෝෂ අල්පප්‍රාණ අක්ෂරය වන) ත් බවට පත් වෙයි. එයට හේතු වනුයේ, පසු වැ යෙදෙන පිපාසා යන්නෙහි මුල (අඝෝෂ අල්පප්‍රාණාක්ෂරයක් වන) ‘ප්’ යෙදෙනුයෙන් ‘ධ්’ යනු ද එයට අනුගත වැ හැඩ ගැස්ම යි. ව්‍යාකරණයෙහි දී අඝෝෂාදේශය නමින් මෙ බඳු තැන් හැඳින්වේ. සා පවස් දෙක මේ යෙදුමෙන් කියැවේ.

8. ක්ෂෝභ - මෙ වදනෙහි දු (මූර්ධජ) ‘ෂ’ හා (මහාප්‍රාණ) ‘භ’ හා යෙදෙන සැටි සැලැකිය යුතු ය. මෙහි අරුත නම් කැලැඹුම යි. ‘ක්ෂුභ්’ ධාතුවෙන් නිපන් නාමයෙකි. එහි අතීත කෘදන්තය ‘ක්ෂුභිත’ (කැලැඹුණු) යැ යි යෙදේ. උපසර්ග එක් වූ කල්හි මෙයින් සාක්ෂෝභ, වික්ෂෝභ ආදිය ඇති වේ.

Comments