සැබෑ හෙළ හවුල් කිවියෝ කවුරුද? | සිළුමිණ

සැබෑ හෙළ හවුල් කිවියෝ කවුරුද?

පරගොඩ සිරි මහතා නැවැත පිළිතුරු ලියයි. ‘සත් මඬලෙහි’ ඒ පළ වේ. ඉන් කම් කිම? නිකම් කාලය නසන්නට නොකැමැති වුව ද, පාඨකයන් මුළාවේ වැටීමෙන් වළක්වනු වස් කෙටියෙන් හෝ කරුණක් දෙකක් කිය යුතු වෙයි. එ ද සිරි මහතාගේ අනන්මනන්වලට පිළිතුරු පිණිස නොවැ ප්‍රස්තුත කාරණය පිළිබඳිනි. එ වුව ද එයට පෙරිනුදු කිය යුත්තක් වෙයි.

අඩුවක් පුරවන්නට ගිය තමාට නඩුවක් වැටිණැ යි හෙතෙමේ අ‍ඳෝනා නඟයි. අඩුවක් නැති තැන පුරවන්නේ කවර අඩුවක් ද? ඔහුගේ සැබෑ අරමුණ ව‍ූයේ හෙළ හවුලේ නායකයා පසු බසින්නේ හෙළ හවුල් මඟ ගන්නවුන් ‘වට්ටන්නෙයි’, හුදු තනතුරෙහි එල්ලී පසු බාන්නෙකි වැනි ප්‍රස්තුතයට කිසි සෙයෙකිනුදු අදාළ නොවන කරුණු දුෂ්ට චේතනායෙන් යුතු වැ පැවැසීම යි. ඒ වේවා! එ බන්දක් වුව ද සිය මවුබසින් නිවැරැදි වැ කියාගන්නට බැරිවැ අමු අමුයේ ම සිංහලය අපගේ උතුම් මවු බස අතිශයින් දූෂණයට ලක් කරන සැටි ඉවසනු නො හැකියෙන් එ බව පෙන්වා දුන් කල මැරයකු මෙන් තමාට පහර දෙති යි මුග්ධ චෝදනා නඟමින් විලාප දෙයි. ම විසින් පැරැණි සකු කිවියකු ගේ කියමනකුදු එහි ලා දක්වන ලදුයේ සිරි මහතාට අපහාස කරනු පිණිස නො ව පැරැණියන් මෙ බඳු භාෂා දූෂකයනට සැලැකූ සැටි හෝවා දෙනු පිණිස යි.

ම - විසින් ‘පර’ යන වදනින් තමා නිගන්නා ලදැ යි ද සිරි මහතා කියයි. මා එ වදන යෙදුයේ ධ්වනිතාර්ථයෙන් නොව වාච්‍යාර්ථයෙනි. ‘අනුන් ගේ’ යන්න වරහන්හි ලා යෙදුයේ ද එ හෙයිනි. දැන් මේ අනන් මනන් පසෙකලා නියම කරුණට එළැඹෙමු. සිරි මහතාගේ පැනය වනුයේ ම විසින් හෙළ හවුල් කවිය ගැන ලියැවුණු ලිපියෙහි සෝමපාල බුලත්සිංහල මහතා ගේ නම නොදැක්වුණේ කවර හෙයින් ද යනු යි. ඔහු ‍ගේ ලිපියෙහි උපුටා දැක්වුණු ම - විසින් බුලත්සිංහල මහතාගේ පොතකට සැපැයුණු පෙරවදනින් ගත් කියමනෙහි එයට පිළිතුරු ගබ් වැ ඇති බව මම දැක්වීමි. එ වුව ද සිරි මහතාට ඒ නො තේරේ.

‘ඇට විදුනා පුඟුලන්’ නමින් පුද්ගල විශේෂයක් ඇත.‍ ඔවුනට හමට විද්ද ද මසට විද්ද ද නහරයට විද්ද ද නො දැනේ. ඇටයට යන තෙක් ම විදි විට ය‍ ඔවුනට දැනෙන්නේ. එ හෙයින් සිරි මහතාට වදනින් වදන පැහැදිලි කැර දිය යුතු ය‍.

බුලත්සිංහල මහතා හෙළ හවුල් පැදි ආරත් කොළඹ කවීන් නමින් ගැනෙන්නන්ගේ පැදි ආරත් මුසු කොට ලියන්නෙකැයි පැහැදිලි වැ දැක්වීමි. හෙළ හවුල් කවිය ගැන ‘සත්මඬලට’ ලියැවුණු ලිපියෙහි ලා විමැසුණේ එ බඳු දෙමුහුන් රසයුවන් ගේ කවි නො වැ පිරිසුදු හෙළ හවුල් කිවියන් ගේ කවි යි‍. එහි නම් විසින් දැක්වුණු සියල්ලෝ එ බඳු පිරිසුදු හෙළ හවුල් කිවියෝ යි. මේ සුළු කරුණ සිරි මහතාට වැටැහිණි නම් පුවත්පත්හි ඉඩ නිකම් නසන්නට සිදු නො වේ.

ඉනුදු බැහැර තවත් කරුණු වෙයි. එහෙත් පර රන්ධ්‍ර ගවේෂණයට (අනුන්ගේ සිදුරු සෙවීමට) ඇති නො කැමැත්ත නිසා ම ඒ එකකුදු නො දැක්වීමි. දැන් සිරි මහතා ඇඟිල්ලෙන් ඇන ඇන විමසනුයෙන් එ ද දක්වනු යෙදේ.

කවිය වනාහි භාෂාව මාධ්‍යය කැරගත් කලාංගයෙකි. එහෙයින් එහි ලා නිවැරැදිතම බස යෙදිය යුතු යි. කවිත්වාකවිත්ව විමර්ශනයෙහි ලා එක ම කරුණ නිවැරැදි බස නො වතුදු හෙළ හවුල් කවියෙහි ප්‍රමුඛතම ලක්ෂණය නම් එ මැ යි. එ බව ම විසින් සැපැයුණු ලිපියෙනුදු පෙන්වා දෙන ලදී. බුලත්සිංහල මහතාගේ පැදිවලත් මේ පෙනෙන්නට ඇත් ද? බැලුව මැනැවි, ඔහුගේ ‘මා පිය සමර’ නම් පොත.

කෙළි ලොලින් වැඩියක් නො වුණත් දිනක්

යෙහෙළියක් වෙත ලී කවියක් නිසා

ඔබතුමිත් කැඳවූ විදුහල්පතිත්

බුහුමනින් සිහිපත් වෙයි මේ දැනුත් (13 පැදිය)

යෙහෙළියක් වෙත - උක්තය අනුක්තය කිමෙක්ද යනු දන්නෙක් මෙ සේ ලිය යි ද?

ඔබතුමිත්... විදුහල්පතිත්... සිහිපත් වෙයි. - දෙ දෙනකු එක් ව‍ූ කල උක්තය බහු වචන බවත් ආඛ්‍යාතය ද ඒ අනුව බහු වචන වන බවත් අපි පාසලේ දෙ වැන්නේ දී උගතුමු.

ඔබේ උතුම් කල්කිරියා දැකීමෙන්

පියා‍ණනේ මා දිවියේ වෙනස්කම්

බොහෝ වෙමින් මා දරුවොත් හැඟීමෙන්

අගේ ඔබෙයි නංවනුයේ තුසිත් ටත් (124 පැදිය)

දරුවොත්... නංවනුයේ - ක්‍රියාකාරක පද සම්බන්ධය වත් මෙහි වේද? තුසිත් ටත් යන්නෙහි අරුත කිම? යටත් පිරිසෙයින් මේ පද්‍යයෙහි අන්වය වත් දැක්විය හැකි ද?

ගුණේ නො දත් එක් මිනිසෙක් මුසා දී

ඔබෙන් ලබාගත් මුදලක් නො දී ගොස්

බැණුම් බොහෝ දී බලුටත් නිගා දී

ඔබේ මිනිස්කම් නැංවූ බොහෝ සේ (126 පැදිය)

මිනිසෙක්... මිනිස්කම් නැංවූ - උක්තය ඒක වචන යි. ආඛ්‍යාතය බහු වචන යි. අහෝ මේ කලියුගයේ ව්‍යාකරණය ද? මෙ බඳු පැදි ලියන්නනුත් හෙළ හවුල් කිවියන් නමින් ගත හොත් කුමාරතුංගාදි ශ්‍රේෂ්ඨයෝ සොහොනින් නැඟිට අවුත් ශාප නො කෙරෙත් ද? ඒ හෙළ හවුල් කවියට කැරෙන පරම අපරාධයක් නො වන්නේ ද? ම විසින් නම් කැරුණු එක ද කිවියකු හෝ මෙ බඳු භාෂා දූෂණය කළ තැනක් වේ නම් දක්වන ලෙස කුලුණු බර වැ අයදිමි.

පරගොඩ සිරි මහතා මේ නිකම් පිටු පෙරැළූ පමණින් දුටු තැනුයි‍. පැදියක් පැදියක් ගණනේ බලත් හොත් එ පොතට ද වඩා ලොකු පොතෙකින් එහි වැරැදි - බස් වහරෙහි වැරැදි - පමණක් දැක්විය යුතු වේ. අනෙක් පොත් ගැන කුමක් කියමු ද?

තව ද කිය යුත්තෙකි. මේ ‘මා පිය සමර’ වනාහි අමු අමුයේ ම කුමාරතුංගයන් ගේ ‘පිය සමර’ අනුකරණය කිරීමෙකි.

කවිරනුහරතිච්ඡායාමර්ථං - කුකවිඃ පදං ‍චෞරඃ

සකල ප්‍රබන්ධ හර්ත්‍රෙ - සාහස කර්ත්‍රෙ නමස්තුභ්‍යං

යන්නෙන් එ බන්දන් ගැන දැක්වෙන බැවින් තවත් කිය යුත්තෙක් නැති.

‘මා පිය සමරට’ ම - විසින් ලියැවුණු ආසිරි වදනෙහි ලා ‘වැර සවි තව රැගෙන ලියනය වෙත නො මඳ’ යැයි දැක්වුණේ මේ දුබලතා කලින් ම දුටු හෙයිනි. බුලත්සිංහල මහතාට යුක්තිය ඉටු කිරීම වස් කිය යුත්තේ මේ දුබලතා දුරු කළ හොත් හොඳ කිවියකු වීමේ ලකුණු ඔහු කෙරෙහි ඇති බව යි.

යමකු බූරු වාදයෙන් මා අමතතොත් තමා එයට එරෙහි වන බව පරගොඩ සිරි මහතා පවසයි. අහෝ! එසේ නොකළ මැනවි. බූරුවන් ගේ ලිපිවලට පිළිතුරු ලියන්නා එ වදනින් ඇමැතීමට නිදහස තිබිය යුතු හෙයිනි.

Comments