
ඔස්කා නිළියගෙන් සිසුවාට ප්රශංසාවක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්රාන්තයෙහි වෙසෙන 17 වියැති සිසුවකු කෙටි වීඩියෝ චිත්රපටයක් නිර්මාණය කළා. ඔහු මෙම නිර්මාණයට පාදක කර ගත්තේ ‘ලාලා ලෑන්ඩ්’ සිනමා නිර්මාණයේ ඇතුළත් වන ‘අ නදර් ඩේ ඉන් ද සන්’ නම් වූ ගීතයයි. නර්තන අංගයක් එක් කරමින් නිර්මාණය කර ඇති මෙම ගීතය, ජාකොබ් ස්ටොඩ්න්මයර් නම්වූ මේ සිසුවා විසින් මෙවර ඔස්කා සම්මානය ලද හොඳම නිළියට දැකගැනීමට සැලැස්වූවා. ඒ, සුපිරි නිළිය තමයි එමා ස්ටෝන්.
එය නැරැඹූ එමා ස්ටෝන්, ඉක්මනින්ම ජාකොබ් වෙත පණිවිඩයක් යවමින් සඳහන් කළේ ඔහුගේ උත්සාහය සාර්ථක වී ඇති බවයි. “ජාකොබ්, මට මෙතෙක් ලැබුණු සාර්ථකම නිර්මාණය මෙයයි. මුළු වීඩියෝ දර්ශනයම මම බලා සිටියේ සතුටින්. ඒ ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවෙ මම ඉන්නෙ ලන්ඩන්වල.”
එමා, තම පණිවිඩයෙහි එලෙස සටහන් කළා. ජාකොබ් පැවසුවේ චිත්රපට අධ්යක්ෂවරයකු වීමට සිහින දකින තමන්, මෙම නිර්මාණය කළේ එමා ස්ටෝන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුකර ගැනීමට බවයි.
රහස් හෙළි කළ රාජකීය චැට් එක
ලේඩි ගාගා, බටහිර ලොව කැලඹූ ගී තරුවක් වුණත් එක්තරා කාලයකදී ඇගේ මානසික තත්ත්වය ද කැලඹී තිබූ බවයි පැවැසෙන්නේ. ඇය මේ බව හෙළි කර ඇත්තේ ‘ෆේස් ටයිම් චැට්’ නම්වූ සමාජ සත්කාරය මුල් කරගත් වීඩියෝ කතාබහකට එක්වෙමින්. මෙම වීඩියෝ චැට් වැඩ සටහනේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ එංගලන්තයේ විලියම් කුමරු සහ බිරිය මෙන්ම හැරී කුමරුන්.
බ්රිට් සම්මාන තුනකින්, ග්රැමී සම්මාන හයකින් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයකින් ද පුද ලද මේ සුපිරි ගී තරුව තව දුරටත් එහිදී හෙළි කළේ තමන් තුළ මානසික රෝගී තත්ත්වයක් පවතින බව
මුල් වරට හෙළි කරද්දී තමන් දැඩි ආතතියකට පත්වූ බවයි.
“ඒ දවස්වල හැමදාම උදේට නැගිටින කොට මට හරි දුකක් දැනුණා. ප්රසිද්ධ වේදිකාවකට ගොඩවෙද්දී මට දැනුණේ මම වරදක් කළා කියන හැඟීමයි. මට ඒ හැඟීම ඇත්තෙන්ම විස්තර කරන්න අමාරුයි. මා වටා කොච්චර සතුට හිතෙන දේවල් තිබුණත් උදේට මම නැගිටින්නේ හිත ඇතුළෙ විඩාවක් දරාගෙනයි.”
මේ වන විට සුව සහනය ලබා සිටින ලේඩි ගාගා එලෙස පැවසුවා.
චැප්ලින්ලා 662ක්
ප්රවීණ නළු චාලි චැප්ලින් ප්රිය කරන රසික රසිකාවියන් හයසිය හැට දෙදෙනකු (662) පසුගියදා බටහිර ස්විට්සර්ලන්තයේ පිහිටි ඔහුගේ ඉපැරැණි නිවසට එකතු වුණා. කෞතුකාගාරයක් බවට පත්කර ඇති මේ නිවසට එලෙස රසික පිරිසක් රොද බැඳගත්තේ චාලි චැප්ලින් නම්වූ ප්රවීණ සිනමාකරුවාගේ 128 වැනි ජන්ම දිනය සමරන්නටයි. මේ හයසිය හැට දෙදෙනාම චාලි චැප්ලින් ලෙස හැඳ පැලඳ සිටීම විශේෂත්වයක්. ඔහු චිත්රපටවල රඟපාද්දී හැඳ සිටි කළු පැහැති ජැකට්ටුවෙන් සපත්තු යුගලෙන් සහ ඔහුගේ උඩු රැවුලෙන් මේ සියලුම දෙනා සැරසී සිටියා. ලොකු, කුඩා, බාල, මහලු, තරුණ භේදයකින් තොරවයි ඔවුන් සියල්ලන්ම එලෙස ‘චාලි චැප්ලින්’ ලෙස පෙනී සිටියේ.
මෙවැනි විශාල රසික පිරිසක් චාලි චැප්ලින්ගේ ජන්ම දිනය සමරන්නට මෙලෙස එක්වූයේ පළමු වතාවට බවයි එම කෞතුකාගාරයේ ප්රකාශකයකු පැවසුවේ.
“මීට කලිනුත් මේ විදිහටම චාලි චැප්ලින්ගේ රසික පිරිසක් මෙතනට එක්වුණා. නමුත්, මේ පාර තමයි වැඩිම පිරිසක් එක්වුණේ.” ඔහු විදෙස් පුවත් සේවාවකට එලෙස පැවසුවා. චාලි චැප්ලින් විසූ මේ නිවස කෞතුකාගාරයක් බවට පත්කර මහජනතාවට විවර කෙරුණේ මීට වසරකට කලින්. එහි වැඩ කටයුතු අරඹා මාස 12ක් ගතවෙද්දී එය නරඹන්නට 300,000ක පිරිසක් පැමිණ තිබෙනවා.
වෙනදාට වඩා සතුටින්
සුපිරි නළු මයිකල් ඩග්ලස්ට පිළිකා රෝගය වැලඳුණේ 2010 දී. ඔහුගේ උගුරේ හටගත් පිළිකාවට දිගින් දිගටම ප්රතිකාර කළා. මේ වන විට එයින් තරමක් දුරට සුවය ලබා සිටින මයිකල් ඩග්ලස් පවසන්නේ තමන් වෙන කවරදාකටත් වඩා බිරිය සහ දරුවන් සමඟ සතුටින් කල් ගෙවන බවයි. මයිකල් ගේ බිරිය තමයි ජනප්රිය නිළි කැතරින් සීතා ජෝන්ස්. ඔවුන් දෙදෙනාගේ දරුවන්, 16 වියැති ඩිලාන් සහ 13 වියැති කාරිස්.
“දැන්, මම වෙනදට වඩා මේ තුන් දෙනාත් එක්ක තමයි කාලය ගත කරන්නෙ. ඒ වෙනුවෙන් මට දැන් හොඳටම විවේකයක් තියෙනවා.” මයිකල් ඩග්ලස් එලෙස පවසන්නේ පෙරට වඩා තෘප්තිමත් ස්වරයකින්.
ඔහු, සිය බිරිය කැතරින් ගෙන් වෙන්වූයේ 2014 දීයි. ඒ වෙන්වීම සීමා වූයේ කෙටි කාලයකටයි. යළි කැතරින් සහ දරුවන් සමඟ එක වහළක් යට ජීවත්වීමට ලැබීම වාසනාවක් යැයි මයිකල් පවසනවා.