
සිංහල අලුත් අවුරුද්ද කියන්නේ හෙළයේ මහා කලා මංගල්‍යයයි.මෙහිදී විවිධාකාරවූ කලා අංග අවුරුද්ද වර්ණවත් කරන්නට එක් වෙනවා.බක්මහ සැණකෙළියේ විශේෂ අංගයක් වන්නේඅවුරුදු කුමරිය තේරීමේ තරගයයි.මෙවරත් ජාතික නාළිකාව සුපුරුදු ලෙස අවුරුදු කුමරිය තේරීමේ තරගය පැවැත්වුවා.
එකිනෙකාට නොදෙවැනි වූ සුන්දර යුවතියන් විශාල පිරිසක් අතුරින් මෙවර ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ වාසනාවන්තිය වීමේ භාග්‍ය ලැබුවේ ආශිංසනා.සඳනි සහ චලනි පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගන්නට සමත් වුණා.
2017 රූපවාහිනි අවුරුදු කුමරිය ලෙස ඔටුණු පැළදූ වාසනාවන්තිය වූ ආශිංසනා දිල්රංගිට පවුම් පහක් වටිනා රනින් නිමකළ කිරුළක් පිරිනැමුණා.
වයස අවුරුදු 22 ක භද්‍ර යෞවනයේ පසුවන ආශිංසනා සිප් සතර හදාරා තිබෙන්නේ මතුගම සී ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයෙන්.මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට ඉන් සමත්වුණු ඇය, සරසවි වරම් අපේක්ෂාවෙන් පසුවන අතර පවුලේ සිටිනා එකම දියණියයි.
මීට පෙර මෙවන් තරගවලට ඉදිරිපත්වී නොමැති ආශිංසනා හා හා පුරා කියා අවුරුදු කුමරි කිරුළකට තරග වැදුණු ප්‍රථම අවස්ථාවද මෙය වීමත් ඇයට විශේෂයි.අධ්‍යාපන කටයුතු වලට අමතරව නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳවත් හැදෑරීමට කැමැත්තෙන් පමුවන ඇය කලාවෙන් ඉදිරියට යෑමේ අපේක්ෂාවෙන් පසුවෙනවා.
විනිසුරු මඩුල්ලෙන් ලැබුණු ගුරුහරුකම් වලින් තමන්ගේ අඩුපාඩු හදාගෙන තරගයට මුහුණ දුන් නිසා මේ අභියෝගය ඉතා පහසුවෙන් ජය ගන්නට හැකියාව ලැබුණු බව ඇය පවසනවා.
මීට අමතරව ජාතික ලොතරැයි මණඩලය තේරූ වාසනාවේ අවුරුදු කුමරිය ලෙසත් අභිෂේක ලැබුවේ ආශිංසනා.තමා ලද මේ ජයග්‍රහණනය ගැන ඇයට මේ මොහොතේ තිබෙන්නේ වචනවලට පෙරලිය නොහැකි සතුටක් කියලයි ඇය කියා සිටියේ.
සඳනි මල්ෂා
රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය හිමි කරගත්තේ ඇයයි.වර්කුලසූරියගේ සඳනි මල්ෂා ප්‍රනාන්දු.මාරවිල ප්‍රදේශයේ උපන් සඳනි මීගමුව දකුණු ජාත්‍යන්තර පාසලේ වානිජ අංශයෙන් මෙවර උසස් පෙළ විභාලය සඳහා පෙනී සිටීමට සූදානම් වන ඇය අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙමින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාම ඇගේ බලාපොරොත්තුවයි.මීට පෙරද අවුරුදු කුමරියක් ලෙස දෙවැනි ස්ථානය ලබා ඇති සඳනි.මෙවර ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය හිමි කරගැනීම විශේෂයක්.
චලනි නිසංසලා
සැළලිහිණි අවුරුදු කුමරිය තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගත්තේ මිනුවන්ගොඩ චලනි නිසංසලා මුණසිංහයි .මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසලෙන් අකුරු කළ ඇගේ වයස අවුරුදු 20 ක්.පාසල් යන අවදියේදීත් අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණ ලබා ඇති චලනි මෙවර ජාතික රූපවාහිනී තරගයේ තෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකිවීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.