
අපේ පුංචි දූපතේ, අපට ජීවිතය කියා දෙන අතරම අපට කිසියම් ආකාරයක වින්දනයක්, ආස්වාදයක් විනෝදයක් හෝ සතුටක් ලබා දෙන විවිධ පිරිස් අතර, නළු නිළියන් ද වැදගත් වගේම ආකර්ෂණීය තැනක ඉන්නා බව ඉන්ද්‍රචාපගේ සමීප රූප ආපසු හැරී බලන කොට පේනවා. නළු නිළියො අපි ආදරය කරන අපේම සහෝදර කොට්ඨාසයක් වෙනකොට, ගායක ගායිකාවො, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, මාධ්‍යවේදියො, මාධ්‍යවේදිනියො, වගේ අපේ ජනජීවිතයට බැඳුණු පිරිස් අතර ඉන්නා, අපි ආදරය කරන බොහෝ දෙනාගේ මුහුණු සමීප රූප අතර. නළුවෙක් නිළියෙක් කියන්නෙ උපතින්ම ලද වාසනා ගුණයෙන් හරි නළු නිළිකමේ නිරත වීමෙන් කාලයක් තිස්සේ එකතු කරගන්න අත්දැකීමෙන් හරි, ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය ළබැඳි පිරිසක්. රූපවාහිනිය අපේ රටට එන අසූව දශකයට ඉස්සර නම් අපි දන්නෙ නළු නිළි වර්ග දෙකොට්ඨාසයයි.
චිත්‍රපටය එන්න ඉස්සර හිටපු වේදිකා නළුවො, ඒ කියන්නෙ ටීටර්, නූර්ති නාඩගම්වල හිටපු අය ඊට පස්සෙ ෆිල්ම් ස්ටාර්ස් හෙවත් බයස්කෝප් නළුවො නිළියො. රුක්මණි දේවිලා වගේ නිළි රැජිණල, ඒ කාලෙ වේදිකාවෙන් චිත්‍රපටයෙත් රජ කළ වග ඉන්ද්‍රචාප අසා තියෙනවා. ඔවුන්ගේ රඟපෑම් දැකපු ඇතැම් ප්‍රේක්ෂකයෙක්, රත්තරන් කාසිවලින් වේදිකාව උඩ හිටපු රුක්මණී දේවිලට ගැහුවා කියන්නෙ ඔවුන්ට තිබුණු ආදරේට. බයස්කෝප් නළු නිළියන්ට අපේ රටේ ප්‍රේක්ෂකයො කොයිතරම් ආදරේ කළත්, ඒ කට්ටියගෙන් ඉතාම ටික දෙනෙක් තමයි, ඒ දවස්වල අපේ වේදිකාවෙ දක්ෂකම් පාන්න වේදිකාව තෝරා ගත්තෙ.
විශේෂයෙන් නළුවො කිහිප දෙනෙක්. නිළියන් නැත්නම් දෙන්නෙක්. ටෝනි රණසිංහ චිත්‍රපටයෙත් වේදිකාවෙත්, වේදිකාවෙන් චිත්‍රපටයට. අනුෂා මාලිනී වේදිකාවෙන් චිත්‍රපටයට, ඒත් පස්සෙ කාලෙ චිත්‍රපටවලම විතරක්. රුක්මණි දේවි මේ දෙකේම. හෙන්රි ජයසේන වේදිකාවෙන් චිත්‍රපටයට ගියත් වේදිකාවම තමයි ඔහු ආදරය කළ තැන. ඒ දවස්වල චිත්‍රපට හැදුණෙත් අඩුවෙන්, වේදිකා නාට්‍ය හැදුණෙත් අඩුවෙන්. ඒ නිසා නළු නිළියන්ගෙ ප්‍රශ්න මේ දෙපිරිසටම තිබුණෙ නෑ.
ඒත් අද වෙනකොට ඒ තත්ත්වෙ මුළුමනින්ම උඩු යටිකුරු වෙලා. රූපවාහිනී මාධ්‍යය අපේ රටට ඇවිත්, ටෙලි ඩ්‍රාමා සංස්කෘතියක් ඇති කළාට පස්සෙ, ටෙලි නාට්‍ය නිෂ්පාදනය වසංගතයක් බවට පත්වෙලා වගෙයි ඉන්ද්‍රචාප දකින්නෙ.
ටෙලි නාට්‍යවලට කියලා අලුත් නළු නිළියො බිහි වුණේ නෑ මුල් කාලයෙ. වේදිකාවෙ දක්ෂයොම තමයි බොහෝ වෙලාවට අපි රූපවාහිනී නාට්‍යවලදිත් දැක්කෙ. ආරම්භයේදී එහෙම වුණත්, ඒ සීමිතකම විශාල බාධාවක් නොවුණත් දැන් දැන් ඒක අතිශය භයානක රෝග තත්ත්වයක් පෙන්වනව කියලයි ඉන්ද්‍රචාපට ආරංචි වෙන්නෙ. වැල් ටෙලි නාට්‍ය නිසාත්, මුදල් හදල් තියෙන අලුත් සල්ලිකාරයො, ටෙලි නාට්‍ය හැදිල්ලට වඩා වැඩියෙන් සලකන ඔවුන්ගෙ පුද්ගලික ඕනැකම් පිරිමසා ගන්නට ටෙලිය හොඳම මාධ්‍යයක් කියල හිතන නිසාත්, ජනප්‍රිය වගේම ආධුනික නළු නිළියන්, විශේෂයෙන් නිළියන් සඳහා මේ කාලෙ විශාල ඉල්ලුමක් තියෙනව කියන කතාවයි ඉන්ද්‍රචාපට ඇහෙන්නෙ. වැල් නැත්නම් සාමාන්‍ය කොටස් ගාණකින් යුක්ත හොඳ ටෙලියකට වුණත්, ජනප්‍රිය නළු නිළියො යනව කියන්නෙ (ඔවුන්ගෙන් වැඩි දෙනා හොඳ වේදිකා නාට්‍ය නළු නිළියො) වේදිකා නාට්‍ය නිෂ්පාදකට උඩ බලාගෙන ඉන්න සිද්ධ වෙන වර්ගයේ කතාවක්.
එහෙම සිද්ධියක් ඉන්ද්‍රචාපට වාර්තා වුණා පහුගිය දවසක. කපිල කුමාර කාලිංගගෙ අලුත් නාට්‍යය, බැංකු වීරයාහි රඟපාන බොහෝ දෙනා ජනප්‍රිය ටෙලි නාට්‍ය නළු නිළියො නිසා, නාට්‍යය වේදිකාගත කරපු පළමු දවස වෙනකල් නළු නිළියො ඔක්කොම එකතු කරගෙන පුහුණුවක් කරන්න අමාරු වුණා කියන එක. ටෙලි නාට්‍ය ඉක්මනින් ජනප්‍රිය වෙනවා, වේදිකා නාට්‍යයකට වඩා වැඩි මුදලක් ලැබෙනවත් ඇති. ඒත් මේ කලා මාධ්‍යයට අත්වෙලා තියෙන ඉරණම නම් හුඟාක් ශෝකජනකයි. දක්ෂයන්ගෙ හිඟකම මූලික හේතුවක් වුණත්, රූපවාහිනී ටෙලි නාට්‍යයක සීනි බෝල චරිතයක් කරනවට වඩා, වේදිකාවෙ රඟපාන පැය දෙක තුන නළු නිළියන්ට වගේම ප්‍රේක්ෂකයන්ටත් මහා ආස්වාදයක් ගෙනන මොහොතක්.