මේ කතාව අඳුරු යටත් විජිත යුගය පිළි­බ­ඳව කියැ­වෙ­න්නක් | සිළුමිණ

මේ කතාව අඳුරු යටත් විජිත යුගය පිළි­බ­ඳව කියැ­වෙ­න්නක්

අවට ගම්මානවල මහ වනය කැපී කෙටී එළි පෙහෙළි වන්නට විය. කොළඹ මඩ වගුරු ගොඩවන්නට විය. හිරු නොබසින අධිරාජ්‍යය තමන්ට රිසි පරිදි තම දිගු හස්තයෙන් මිනිසුන්ගේ හැසිරීම් රටාව පවා වෙනස් කරමින් යටත් විජිතයන්ගේ සාරය උරා බොමින් සිටියේය. සෑම දෙයක්ම සිදු වූයේ සිතූ පැතූ ලෙස නොවේ. සමහරු කාලයට ඉඩ දී බලා සිටියෝය. සමහරු නිරර්ථක සටනක යෙදී සිටියෝය. හිරු සඳු සුපුරුදු පරිදි පායමින් ද බැස යමින් ද කාලය ගෙවී ගියේය.

මේ ගුණරත්න ඒකනායක විසින් රචිත සුදු සහ කළු කෘතියෙන් උපුටා ගන්නා ලද කොටසකි.

විවිධ මාතෘකාවන් ඔස්සේ සිය ලේඛන දිවිය පොහොසත් කරන ගුණරත්න ඒකනායකයන් 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ ප්‍රථම ස්ථානය දිනූ ‘තෑගි ගොඩයි’ කෘතියේ කතුවරයාය. 2003 වසරේ ඩී. ආර්. විජයවර්ධන නවකතා තරගයේ තුන්වැනි ස්ථානය දිනූ ‘යාපනය තවමත් ඈතයි’ නවකතාව ද 2005 වර්ෂයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ නවකතා තරගයෙන් තෝරාගත් ‘අලුත් වලව්ව’ සහ 2007 වසරේ එම තරගයෙන් ජයගත් ‘අපේම මිනිස්සු’ නවකතාව ද ඔහුගේය.

මේ ජයග්‍රහණ සියල්ලටම වඩා අප ඔහු හඳුනාගත්තේ වේදිකා නාට්‍ය වාර්තා චිත්‍රපට මෙන්ම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු ලෙසිනි.

කලා ලෝකයේ විවිධ ඉසව් ඔස්සේ සිය දක්ෂතා පෙන්නුම් කර ඇති ගුණරත්න ඒකනායකයන් සිය නවතම කෘති නිර්මාණය වූ ‘සුදු සහ කළු සෙවනැලි’ නවකතාව පිළිබඳ කළ සාකච්ඡාවකි මේ.

 

• ‘සුදු සහ කළු සෙවනැලි’ ලෙස නම් කළේ ඇයි?

ලංකාව ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක්ව අවුරුදු ගණනාවක් පැවතුණා. ඇත්තටම කිව්වොත් ඒ අඳුරු යුගය ලාංකිකයන් ඉංග්‍රීසින්ගේ යකඩ සපත්තුවට යටවී බියෙන්, සැකයෙන්, පීඩනයෙන් ගත කළ කාලයක්. මට මේ කතාව තුළින් කියාපාන්නට අවශ්‍ය වුණේ ඉංග්‍රීසි යටත් විජිත සමයේ මේ රට ආර්ථික වශයෙන් විතරක් නොවෙයි, සමාජ, සංස්කෘතික අතිනුත් විශාල පරිහානියකට ලක්වුණු බව.

සුදු කියන්නෙ බොහොම පැහැදිලි දෙයක්. කළු කියන්නෙ අපැහැදිලියි කියන එක. ඒ වර්ණ දෙකටම අතරමැද තමයි මේ වර්ණයෙන් සෙවණැලි තිබෙන්නෙ. යම් පැහැදිලි නොපැහැදිලි බව අතර තමයි මේ කතාව ගලා යන්නෙ.

•. මෙයින් කියැවෙන්නෙ 1830 ගණන්වල ලංකා ඉතිහාසය කියලා කිව්වොත්?

1830න් පසු ඉංග්‍රීසි පාලන කාලයේ තේමාවක් තමයි මූල බීජය වන්නෙ. ඒ කියන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙරට කෝපි වගාව ආරම්භ කරන්නට එවකට වනාන්තර ලෙස තිබුණු භූමි ‍එළිපෙහෙළි කළ කාල වකවානුව. ඉතිහාසය සාක්ෂි දරන වස්තු බීජයක් චරිත, සිද්ධි ඔස්සේ ගලා යමින් විශාල සමාජ ඛේදවාචකයක් මෙමඟින් කියාපානවා.

• මේ කතාවේ ආකාරයට මේ අඩම්තේට්ටම් බොහොමයක් වින්දෙ කාන්තාව කියලා අවසානයේ ඒත්තු ගැන්වෙනවා?

ඉංග්‍රීසි ආණ්ඩුව කැලෑ ඉඩම්වල ආර්ථික භෝග වවමින් මේ මහ පොළොවේ සාරය උරා සිය රටවලට පටවද්දී පටු ආර්ථික වාසි තකා, නම්බුනාම තනතුරු රැකගැනීම සඳහා ඒ අයට උදවු කළ නම් ප්‍රධානීන් හිටියා. සුදු ජාතිකයො බොහෝ දෙනා ගම්වල මිනිසුන්ට තනතුරු දුන්නෙ පටු වාසි අරමුණු ඉතා කපටි ලෙස මුදුන්පත් කරගනිමින්, ඒවාට රැවටුණු අපේ ගම්වල මුලාදෑනින්ට, ප්‍රභූවරුන්ට තාන්න මාන්න තනතුරු නම්බුනාම රැකගන්න ඇතැම් අවස්ථාවල තමන්ගෙ බිරිය, දියණිය පවා ඉංග්‍රීසින්ට පාවා දෙන්නට සිදුවුණා. මේ බොහොමයක් දෑ නිවෙස් තුළ හුන් කාන්තාවන් දැනගෙන හිටියෙ නෑ. නමුත් පුරුෂ මූලික සමාජයේ ස්වාමියාට මෙන්ම ස්වාමියාගේ තනතුරු, නම්බුනාමවලට, සමාජයෙන් ලැබෙන පිළිගැනීමට යටවූ ගැහැනිය නිතරම ඉංග්‍රීසින්ගේ ලිංගික සූරාකෑම්වලට ලක්වුණා. තමා එවැනි කැප කිරීම් නොකළහොත් දුප්පතුන්ගේ තැනට වැටෙමින් සියල්ල නැතිවී යතැයි සිතූ ඔවුන් සමාජය ඉදිරියේ මේ දේවල් හෙළි කරන්නට අකැමැති වුණා. ඒ නිසා සිතින් අකැමැති වුවත් සියල්ල හංගාගෙන හිතෙන් විඳවමින් මේ දුක් වින්දෙ බොහොමයක් ගැහැනු අය කිව්වොත් නිවැරැදියි.

• මේ කතාවෙ යටිපෙළ හරහා ඔබ මතුකරන අර්ථය ඉතාමත් ප්‍රබලයි?

මේ කතාව රචනා වෙන්නෙ අධිරාජ්‍යවාදී යුගයක සිදුවුණු සිදුවීම් මුල් කරගෙන. නමුත් එදා නම්බුනාම තනතුරු ලබාගන්න පාලකයින් ප්‍රධානීන් අතර තිබුණු තරගය තවම තිබෙනවා. මේ දේවල්වලට මිනිසුන් තුළ තිබෙන තරගය සහ කැමැත්ත වැඩිවෙලා මිසක් අඩු වීමක් නෑ. ඉතින් එදා වගේම අද සමාජයේත් මේ සූරාකෑම් ඕනෑතරම් වෙනවා. පටු ලාභ පරමාර්ථවලට බියෙන්, අදත් ගැහැනිය ඒවා හංගාගෙන ඉන්නවා. සමාජය දිහා බැලුවහම ඇතිවන ප්‍රශ්න බොහොමයකට ගැහැනිය මුල් වුණත් ඉන් එහාට හොයලා බලන කොට එතැන සැඟවුණු විශාල දෙයක් තිබෙනවා. මේ බොහොමයක් තැන්වලදී කාන්තාව අසරණයි, පිරිමින් ඊට මුලා වෙලා විවිධ ප්‍රයෝජන ගන්නවා.

• සුදු සහ කළු සෙවනැලි මෙතැනින් නතර වෙන්නෙ නැහැ?

ඇත්තටම මං මේ කතාවෙන් කිව යුතු දෑ තව බොහොමයක් තිබෙනවා. පාඨකයන් ගොඩක් දෙනා ආසාවෙන් ඉන්නවා ඊළඟට මොකද වුණේ කියලා දැනගන්න. ඒක නිසා මෙහි ඊළඟ කොටස ලෙසින් ‘කෝපි මල්’ නවකතාව ඉදිරියේදී ඔබ අතට පත් කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම සුදු සහ කළු සෙවනැලි කෘතියට ප්‍රථම පළවූ ‘අලුත් වලව්ව’ පොත තමයි මේ පොත් ත්‍රිත්වයේම පළමු පොත වෙන්නෙ.

• ඔබේ සෑම නිර්මාණයකම තිබෙන්නෙ ජනශ්‍රැතිය ඉතා කිට්ටු ග්‍රාමීය බස් වහරක්?

මම ඉපදුණේ හැදුණේ වැඩුණේ ග්‍රාමීය පරිසරයක බොහොම ලස්සන වටපිටාවක. ගොමගොඩ එලමල්පොත මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබලා උසස් අධ්‍යාපනය ලබන්න තෙල්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වෙනවා. ඉතින් පුංචි කාලයේ ඉඳන් ග්‍රාමීය පරිසරයේ අපි අත්විඳපු, දැකපු දේවල් තමයි මගේ කතා බොහොමයකට වස්තු බීජ වෙන්නෙ. ඒ භාෂාව බොහොම සරලයි, අව්‍යාජයි. ඕනෑම කෙනකුට බොහොම රසවත්ව වින්දනය කරන්න පුළුවන්.

• මෙරට නවකතාව තවමත් සාම්ප්‍රදායික අඳුරු ගුහාවක සිරවී ඇති බව පෙනෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස?

ප්‍රධානම දේ තමයි අද බිහිවන තරුණ පරපුර කියවීමෙන් ඈත්වීම. පොත් පත්තර කියවන විට තමයි හොඳ පාඨකයන්, විචාරකයන් බිහිවන්නෙ. හොඳ නිර්මාණ බිහිවීමට නම් සාර්ථක විචාර අත්‍යවශ්‍යයි. පොත්පත් කියවන්නෙ නැතිනම් විචාරයකුත් නෑ. සාහිත්‍ය රස වින්දනය කිරීමේ හැකියාවකුත් නෑ. මේ දේවල් එක්ක මෙතැනින් එහාට, ඔබ්බට හිතන අලුත් අලුත් දේවල් හිතන පිරිසක් බිහි වෙනවා අඩුයි. හොඳ නිර්මාණ බිහිවුණත් එම නිර්මාණ රස වින්දනය කරන පිරිස අඩුයි. හොඳ නිර්මාණ මිනිසුන් අතරට යනවා අඩුයි.

නව නිර්මාණ බිහිවෙන්නෙ නැහැයි කියලා කියන්න බෑ. ඒත් ඒවා ඒ කාලයේ වගේ ප්‍රසිද්ධ වෙන්න සෑහෙන කාලයක් ගතවෙනවා. අලුත් තාක්ෂණය එක්ක පොතපතට යොමුවෙන පිරිස අඩුයි. මේ දේවල් ඔක්කොම එක්ක අලුත් පරම්පරාවත් තවම ආසාවෙන් රස විඳින්නෙ ඒ කාලයේ පොත පත. ඔවුන්ව අලුත් අලුත් දෑ එකතු කරමින් සාහිත්‍යයේ නිම්වළලු පුළුල් කරන්න දායක කරගන්නවානම් ඒ සඳහා අතහිත දෙනවානම් මේ තත්ත්වය මඟ හැරෙනවා.

• මෙරට තරුණ පරපුර ඉලක්ක කරගනිමින් උපදේශාත්මක ග්‍රන්ථ රැසක් ඔබ විසින් රචනා කොට තිබෙනවා?

මේ රට භාරගන්න ඉන්න අනාගත පරපුර වෙන්නෙ රටේ තරුණ ප්‍රජාව. රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ ඉන්න මානව සම්පත සංවර්ධනය වීම අත්‍යවශ්‍යයි. අද වෙනකොට තරුණ තරුණියන් සමාජයෙන් ලබන නරක ආදර්ශ නිසා අනාගත පරපුර බොහෝ ගැටලුවලට මුහුණ පාමින් සිටිනවා. අද සමාජයෙන් සාරධර්ම පිරිහී යාමටත් මෙය ප්‍රධාන හේතුවක්. මේ ඛේදජනක තත්ත්වයෙන් තරුණ දූ පුතුන් බේරා ගැනීමේ අරමුණෙන් තමයි මේ පොත් රචනා වෙන්නෙ. තරුණ දුවට දැනමුතුකම්, තරුණ දුවට දැනමුතුකම්, තරුණ පුතේ මේ අහන්න, දුවේ හොඳට ඉගෙනගන්න ආදි මෙවැනි පොත් ගණනාවක් රචනා කළා. විශේෂයෙන්ම යෞවනයට ගොඩවන අපේ දූ පුතුන්ටත් ඔවුන්ගේ මවුපියන්ටත් මේ පොත්පත් කියවීම ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇති.

• ඉදිරියේදී එළිදැක්වීමට තිබෙන ඔබේ නිර්මාණ පිළිබඳ කතා කළොත්...?

සුදු සහ කළු සෙවනැලි කතාවේ ඊළඟ කොටස ලෙසින් කෝපි මල් කෘතිය ළඟදීම ඔබ අතට පත්කරන්නට බලාපොරොත්තු වෙනවා. හුටපට වීදිය වාර, ගන්ධබ්බයන්ගේ රාත්‍රිය සහ අලුත් නෑදෑයෝ යන පොත් ඉදිරියේදී මුද්‍රණය වීමට නියමිතයි. ඒ වගේම මම කලාවට බොහොම ළැදි කෙනෙක්. මේ නිසා සිනමා නිර්මාණ්‍යක් සඳහා දායක වීමේ බලාපොරොත්තුවකුත් තිබෙනවා. ඉදිරියේදී ඒ පිළිබඳ දැනගන්නට ලැබෙයි. 

Comments