
පසුගියදා මාලන් බ්‍රැන්ඩෝ ගැන ලියු තීරු සටහන කියැවූ බොහෝ පාඨකයන් මගෙන් දුරකථනයෙන් විමසුවේ දිලිප් කුමාර් පවා බ්‍රැන්ඩෝ අනුකාරකයෙක් නොවේද; ඔහු ගැනත් යමක් ලිව්වොත් වටින්නේ නැද්දැයි කියායි. බ්‍රැන්ඩෝගේ ආභාසය පැහැදිලිවම දිලිප් වෙතින් විද්‍යමාන වන බව දිලිප් කුමාර් චරිතාපදානය ලියා බනී රූබන් කියා තිබෙනවා. (මේ චරික කතා පොත ප්‍රවීණ සිනමා නළු ටෝනි රණසිංහ සිංහලට පරිවර්තනය කර තිබෙනවා. ඒ ‘දිලිප් කුමාර් චරිතය’ යන නමින්)
බ්‍රැන්ඩෝ විතරක් නෙමෙයි පෝල් මුනි, ලෝරන්ස් ඔලිවියර් වැනි නළුවන් ද දිලිප්ගේ රංග කාර්යයෙහිලා බලපෑ ඇති බව විචාරකයන් පෙන්වා දෙනවා.
දිලිප් බුද්ධිමත් නළුවෙක්. ඔහු විවිධ විෂය ක්ෂේත්‍ර අළලා ලියැවුණු පොත් විශාල වශයෙන් කියෙව්වා. මාලන් බ්‍රැන්ඩෝත් ගාමිණි ෆොන්සේකාත් ඒ වගේ. එසේ වුවත් චිත්‍රපටවල රඟපාද්දී ඒ බුද්ධිය පැත්තකින් තියලයි හොලිවුඩ්, බොලිවුඩ් හෝ ලංකාවේ වේවා දර්ශන තලයට යන්න වෙන්නේ.
අපේ කෘතහස්ත සිනමා කලා විචාරකයකු වූ සිරිල් බී. පෙරේරා 1961 දී බොම්බායට ගිය අවස්ථාවක දිලිප් මුණගැසුණා. අපේ ප්‍රවීණ නළු ටෝනි රණසිංහට ඔහු එහිදී ලද අත්දැකීම් කියා තිබෙනවා. ටෝනි මට කියපු විදියටම මම ඒක මෙසේ සටහන් කරන්නම්.
“සිරිල්, දිලිප් එක්ක ක්‍රිෂ්ණමූර්ති ගැන, බර්ට්‍රන්ඩ් රසල් ගැන කතා කරලා තියෙනවා. මොකද දිලිප් දර්ශනවාද ගැන බොහෝම ගැඹුරට කියවපු කෙනෙක්. සිරිල් බී. පෙරේරාත් ඒ වගේමයි. දිලිප් අපේ සිරිල් ගැන කොයිතරම් පැහැදුණා ද කියනවානම් පසුදා පැවැත්වීමට නියමිතව තිබු ‘ගංගා ජම්නා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්න සිරිල්ට ආරාධනා පත්‍රයක් දීලා තියෙනවා. පහුවදා සිනමාහලේදී සිරිල් දැකපු දිලිප් සිරිල්ගේ කනට කොඳුරලා මෙහෙම කියලා තියෙනවා, මේ චිත්‍රපටය බලනකොට ඊයේ අපි කතා කරපු දේවල් අමතක කරන්න කියලා. ඒ තමයි දිලිප් කුමාර්.”
නිතින් බෝස් අධ්‍යක්ෂණය කළ ‘ගංගා ජම්නා’ චිත්‍රපටය මං බලලා තියෙනවා. කවුරු මොනව කිව්වත් (අමිතාබ් භච්චන් කියා ඇත්තේ එය දිලිප්ගේ උත්කෘෂ්ඨ රඟපෑමක් බවයි.) මටනම් එහි දිලිප්ගේ දකින්ට ලැබෙන්නේ බොහොම අසාර්ථක රඟපෑමක්. ඒ රංගනය භාවාතිෂය වැඩියි. මුල් හරිය බලනකොට දිලිප් මෙන්ම චිත්‍රපටයත් එපා වෙනවා. ඒත් මා විස්මයට පත් කරවන කාරණය වන්නේ ‘ගංගා ජම්නා’ බොස්ටන් නුවර දී රිදී කුසලාන දිනා ගැනීම හා මෙතෙක් ඉන්දියාවේ තැනුණු සදානුස්මරණීය චිත්‍රපටයක් හැටියට සැලකීම.
ෆිල්ම් ෆෙයාර් සම්මාන හත අටක් දිනා සිටියත් එදා මෙදාතුර ඉන්දියාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නළුවා ලෙස ගෞරවනීය ලෙස පිළිගත්තත් දිලිප් දක්ෂ නළුවෙක් ද?
මා දැක ඇති දිලිප් රඟපෑ චිත්‍රපට අතරින් (ඇත්තටම හුඟක් ඒවා දැකලා නැහැ) ඔහුගේ විශිෂ්ටතම රංගනයක් ඇතුළත් වූයේ බිමල් රෝයිගේ ‘දේව්දාස්’ චිත්‍රපටයේ. ඒක නම් විශිෂ්ටයි. මම කේ. එල්. සයිගාල් රඟපාපු ‘දේව්දාස්’ හා ශාරුක් ඛාන් රඟපෑ ‘දේව්දාස්’ යන චිත්‍රපට දෙකත් නරඹා තිබෙනවා. එයින් තරමක් වුව හොඳ සයිගාල්ගේ රඟපෑම. ශාරුක්ගේ රඟපෑම නම් පලේ පල්. චිත්‍රපටයත් කසිකබල්.
මා දිලිප්ගේ අගය කරන දෙයක් තමයි තම නිවෙසේ මොන ආර්ථික ප්‍රශ්න තිබුණත් චිත්‍රපටවල චරිත තෝරාබේරාගෙන රඟපෑම. ‘සංගම්’ චිත්‍රපටයේ රාජේන්ද්‍ර කුමාර් රඟපෑ චරිතයට මුලින්ම ආරාධනා කළේ දිලිප්ට. ඔහු ඒ අවස්ථාව පිටු දුටුවේ මෙය රාජ් නැතුව වෙන කෙනකු අධ්‍යක්ෂණය කරන්නේ නම් පමණක් රඟපෑම ගැන සලකා බලන බවයි. රාජ් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවල ඔහු වෙනත් නළුවන්ට තමා අබිබවා යන්ට ඉඩ තබන්නේ නැහැ. ඒත් දිලිප්, ඩේවිඩ් ලීන්ගේ ‘ලෝරන්ස් ඔෆ් ඇරේබියා’ (ඔමාර් ෂෙරිෆ් රඟපෑ ෂෙරිෆ් අලිගේ චරිතය) හා ගුරු දත්ගේ ‘ජියාසා’ (ගුරු දත් රඟපෑ විජේගේ චරිතය) වැනි සිනමාපට ප්‍රතික්ෂේප කිරීම නම් මහ මෝඩකමක් විදියටයි මං සලකන්නේ.
දිලිප් රංගනයේදී චරිතයකට කරන්නා වූ කැපවීම ද උදාරයි. ‘කොහිනුර්’ චිත්‍රපටයේ සිතාර් වාදන ජවනිකාව සාර්ථකව රඟපෑම සඳහා ඔහු උස්තාද් අබ්දුල් හලිම් ජෆාර් ඛාන් යටතේ අවුරුද්දක පමණ කාලයක් සිතාර් වාදනය ඉගෙන ගෙන තිබෙනවා. මේ කරුණු අනුව බලනකොට නම් දිලිප් නැති හින්දි සිනමාව හරියට හැම්ලට් නැති ඩෙන්මාර්කයේ කුමාරයාගේ කතාව වැනි යැයි කියන්ට පුළුවන්.