
ගයා ක්‍රිෂාණි ප්‍රේමරත්න වේදිකාව, පුංචි තිරය, සිනමාව යන සියලු ක්ෂේත්‍රයන් ජයගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනයෙන් ඔබ්බට ගිය ඇය සංගීත ක්ෂේත්‍රය තුළින් ද සිය අපූරු හැකියාවන් පසක් කරලන්නට සමත් වුණා. ඒ සංගීත් නිපුන් විභාගය සමත් වූ අපේ රටේ එකම රංගන ශිල්පිනිය ලෙස කිරුළු දරමින්. පසුගියදා පත්තර මහගෙදරට පැමිණි මොහොතේ ‘රසඳුන’ සමඟ ඇගේ අලුත්ම තොරතුරු බෙදාහදා ගත්තේ මේ ලෙසටයි.
මොනවද ඔබේ අලුත්ම තොරතුරු...
පසුගිය කාලයේදී මගේ සංගීත් නිපුන් විභාගයට විදෙස් ගතවෙලා හිටිය නිසා. ටිකක් කාර්යබහුල වුණා.
ක්ෂේත්‍රය පැත්තෙන් නම් මේ දවස්වල මගේ ටෙලිනාට්‍ය තුනක් විකාශනය වෙනවා. ඒ ස්වර්ණවාහිනියේ ඉරිදා 7.00 ට විකාශනය වන ‘වැලි ඔටුන්න’ සහ එම නාළිකාවේම රාත්‍රී 7.30 ට විකාශනය වන ‘මතු සම්බන්ධයි’ ටෙලි නාට්‍යය ඊට අමතරව ස්වාධීන රූපවාහිනියෙන් රාත්‍රී 8.00 ට විකාශය වන ටී 20 හරහා ද මාගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව දැකබලා ගැනීමට පුළුවන්.
ඊට අමතරව ‘මාර හොරු’ වේදිකා නාට්‍යයත් එක්ක මේ දිනවල රට වටා යනවා.
රංගන ශිල්පිනියක වුණු ඔබ සංගීත ක්ෂේත්‍රය තුළත් නමක් තබන්නට සමත් වුණා.
ඔව්... ඒ ගැන මම බොහොම නිහතමානීව ආඩම්බර වෙනවා. මොකද ලංකාවේ සංගීත් නිපුන් විභාගය සමත් වුණ එකම රංගන ශිල්පිනිය බවට පත්වීමට මට හැකියාව ලැබුණ නිසා. ඉන්දියාවේ පැවැති ඒ විභාගයෙන් මම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් සමත් වුණා.
සංගීතයට නැඹුරු වුණේ කුඩා කාලයේ සිටම ද?
මෙහෙමයි. පවුලේ එකම දරුවා විදිහට මගේ පවුල් පසුබිමත් ඒ සඳහා මූලිකවම බලපෑවා කියලයි මගේ හැඟීම.
මොකද මගේ තාත්තා සංගීත උපදේශකවරයෙක්. අම්මා නර්තන උපදේශිකාවක්. ඒ නිසා ගෙදර තිබුණේ කලාකාමී පරිසරයක්. පුංචි කාලේ සිටම සංගීත භාණ්ඩ දැනහඳුනා ගැනීමට වගේම වාදනය කිරීමටත් මට හැකියාව ලැබුණා. මම සංගීත් නිපුන් විභාගය කළේ ‘වයලීනයෙන්.’
ඔබ ටෙලි නාට්‍ය පසුබිම් වාදනයටත් සම්බන්ධයි.
ඔව්. ඒ ආනන්ද අබේනායක මහතා අධ්‍යක්ෂණය කළ ‘අප්පච්චි’ ටෙලි නාට්‍යය සඳහා.
ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වෙන්නෙ කොහොම ද?
කුඩා කාලයේ සිටම රංගනය හදාරන්නට ආශාවක්, කැමැත්තක්, උනන්දුවක් තිබුණා. ඒ නිසාම පාසල් වේදිකාවට මට සම්බන්ධ වෙන්නට ලැබුණා. මේ අතර තමයි අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින’ පාඨමාලාව හැදෑරුවේ. ඒ හැදෑරීම්වලින් අනතුරුව පසුබිම් වාදනයෙන් වෙළෙඳ දැන්වීම් සඳහා සම්බන්ධ වුණා.
මොනවද ඒ වෙළෙඳ දැන්වීම්...
ඩයලොග්, බීඕසී බැංකුව වගේම කැල්ටෙක්ස් මේ අතර විශේෂයි.
සංගීතය, වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන ක්ෂේත්‍ර තුළින් ඔබ වඩාත් තෘප්තිමත් වෙන්නෙ...
ඒක පිළිතුරක් ලබාදීමට අමාරු පැනයක්. ඇත්තටම මේ සියලු ක්ෂේත්‍රයන්ට මම ආදරෙයි. නමුත් ඒ අතරින් සංගීතය කියන ක්ෂේත්‍රයට මගේ විශේෂ වූ ඇල්මක් තියෙනවා. මෙතෙක් සංගීතය තුළින් මා පැමිණි මාවතේ මගේ පෙරගමන්කරුවා, මගේ ගුරුවරයා වුණේ ‘නුවන් ශ්‍රී මේඝ... ඔහුත් මේ මොහොතේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.
සංගීතය නිසා ඉදිරියේදී ගයා ක්‍රිෂාණි රංගනයෙන් දුරස් වේවි ද?
නෑ... මේ සියල්ල බොහෝම සමබරව කරගෙන යාමයි මගේ එකම අරමුණ.
රංගනයට අමතරව සංගීත ගුරුවරියක ලෙස කටයුතු කරනවා කියලත් ආරංචියි.
ඇත්තටම මගේ වෘත්තිය රංගනය තමයි. නමුත් ඊට අමතරව මා ඉගෙන ගත් දැනුමෙන් සංගීත විශාරද සඳහා හැදෑරීම් කරන සිසුන් හට දැනුම ලබා දෙනවා.
ඉදිරියේදී ඔබ දක්නට ලැබෙන නිර්මාණ මොනවා ද?
ස්වාධීන රූපවාහිනියේ විකාශනය වීමට නියමිත ‘ආදර දඩයම’ ටෙලි නාට්‍යයෙන් සහ ‘හිතුවක්කාරි’ සිනමා පටය තුළින් ද මාගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව දැකබලා ගැනීමට හැකියාව ලැබේවි.