
එදිනෙදා දිවියේ සුපුරුදු සිදුවීම් හැරුණු විට විවිධාකාර වූ අරුම පුදුම පුවත් නිරන්තරයෙන්ම ලෝකයේ සිව් දෙසින් ඇසෙන්නට ලැබෙනවා. අන්තර්ජාලය නිසා පෙරට වඩා දැන් එවැනි පුවත් අපි අතරට පැමිණෙනවා. අරුම පුදුම පුවත් නිරන්තරයෙන් මැවීමට දක්ෂ ප්‍රංශ ජාතික කලා කරුවකුගේ නවතම පුවතක් තමයි අද ඔබ වෙත රැගෙන එන්නේ.
Abraham Poincheval නම් ප්‍රංශ කලාකරුවා මීට සති කිහිපයක සිට Palais de Tokyo නූතන කලා කෞතුකාගාරයේ වීදුරු කුටියක් තුළට වී කුකුළු බිත්තර 10 ක් මත සිට එම බිත්තර රැකීම ආරම්භකර තිබුණා. ඔහු සුළු විවේකයක් ගනු ලැබුවේ මීට දින කිහිපයකට පෙර එක් බිත්තරයක් සාර්ථක ලෙස පුපුරා පැටවකු මෙලොව එළිය දුටුවාට පසුවයි. එම පැටවා ඔහු සිටිනා ආසනයෙන් පිටතට ගෙන නැවතත් සුපුරුදු ඉරියව්වෙන් ඉතිරි බිත්තර වෙත අවධානය යොමු කර ඒවා රැකීම අරඹා තිබේ.
44 හැවිරිදි ඒබ්‍රහම් මීට පෙරද මෙවැනි අසාමාන්‍ය ක්‍රියා කිහිපයකම නිරත වී තිබේ. එනම් මෙම කෞතුකාගාරය තුළදීම හුණුගල් වලින් සකසන ලද ගලක් තුළට වී එක දිගට සතියක් සිටීම, කෘත්‍රිමව මසන ලද විශාල වලසකු තුළට වී සිටීම හා විශාල වීදුරු බෝතලයක් තුළ සිරවී ගංගාවක ගමන් කිරීම වැනි ක්‍රියාවන් ය. ඒ සියල්ලටම වඩා මෙවර ඔහුගේ වික්‍රමය අසීරු එකක් වන්නේ බිත්තර පිපිරීමට අවශ්‍ය උෂ්ණත්වය පවත්වාගෙන යාමයි. අධික රස්නයක් සහිත වීදුරු කුටියක් තුළ එක දිගටම එකම ඉරියව්වෙන් සිටීම ඉතාමත් අභියෝගාත්මක කර්තව්‍යයක් වනවා. මෙම කාලය අතරතුර ඔහු විවේකයක් ලබාගෙන තිබෙන්නේ සෑම පැය 24 කටම මිනිත්තු 30 ක් පමණයි. සෑම විටම බිත්තර සඳහා ලැබිය යුතු උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක පවත්වා ගැනීම සඳහා කොරියාවෙන් ගෙන්වන ලද විශේෂ රෙද්දක් පොරවා ඇති අතර ඊට අමතරව ශරීර උෂ්ණත්වය වැඩි කරනා ඉඟුරු සහිත ආහාර වැඩිපුර ලබාගෙන තිබේ.
මෙලෙසින් මෙලොව එළිය දකිනා කුකුළුපැටවුන් කිසිදිනක ආහාරයට නොගන්නා බව ඒබ්‍රහම් දිවුරා පවසන අතර තම පියාගේ ගොවිපළ තුළ ඔවුනට සැපවත් දිවියක් අත්කරදෙන බව ඔහු වැඩි දුරටත් පවසයි. ඒබ්‍රහම් විසින් ටොන් 12 ක් බරැති හුණුගල් කුට්ටියක් තුළ සතියක් නොනවත්වා කාලය ගත කර තිබෙන්නේ මෙම වසරේ පෙබරවාරි මාසයේ මෙම කෞතුකාගාරය තුළදීමයි. ජලය, සුප් හා වියළි මස් සමඟ ඔහු මෙම හුණු ගල් කුට්ටිය තුළ සිරවී සිටින විට ඔහුට තිබී ඇති විශාලම අර්බුදය වී තිබෙන්නේ අන්ධකාරය නිසා කාලය ගැන කිසිදු අවබෝධයක් නොමැති වීමයි.
ප්‍රංශයේ අත්‍යන්ත කලාකරුවකු ලෙස හඳුන්වනු ලබන ඒබ්‍රහම් විසින් බැරලයක නැග ඇල්පස් කඳු වැටිය තරණය කර තිබේ. මීට අමතරව පැරිස් දුම්රිය ස්ථානය අසළ මීටර 20 ක් උසැති කණුවක් මත සතියක් ගත කර තිබෙන අතර පාංශු සත්ත්වයකු මෙන් දින 20 ක් පොළව අභ්‍යන්තරයේ ජීවත් වී තිබේ. තවත් අවස්ථාවකදී මොහුගේ හොඳම මිතුරා සමඟ මධ්‍යධරණී මුහුදේ ගල් වලින් සෑදී තිබෙන කුඩා දූපතකට වී ගල් යුගයේ මෙන් ජීවත් වී තිබේ. කිසිදු ලෝක වාර්තාවක් අරමුණු කරගෙන ඔහු මෙම ක්‍රියා සිදු නොකරන අතර මොහුගේ පියා ද කලක් මොහු මෙන්ම ප්‍රසිද්ධියට පත් වී තිබෙන්නේ මානව අධෝවාතය සුවඳවත් කළ හැකි පෙති වර්ගයක් හඳුන්වා දීමෙනි. බිත්තර සියල්ලම පුපුරා පැටවුන් එළියට ආ විට විවේකයක් ගෙන තම දරුවන් දෙදෙනා බැලීමට යන බව ඒබ්‍රහම් පවසන අතර ඔහුගේ තවත් විශ්මිත ක්‍රියාවක් නුදුරේදීම අපිට අසන්නට ලැබේවි.